Mon. Jul 8th, 2024
Spread the News
Picture Courtesy dreams time

System Change කළ හැක්කේ ඉංග්‍රීසි දැනුමෙන් පමණිද?

මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ඉංග්‍රීසි භාෂාව හෙළා දැකීම නොවේ. ශ්‍රී ලංකාවේ වාසය කරන හැම කෙනෙක්ම ඉංග්‍රීසි හෝ වෙනත් ලෝක භාෂාවන් දැන සිටීම
දැනුම වර්ධනය ඔස්සේ සමාජ ආර්ථික ප්‍රගතියකට මං පෑදෙන බව රහසක් නොවෙයි.

එහෙත් එය එංගලන්තයේ කිරීටයට හෝ ඇමරිකාවේ ධවල මන්දිරයට වන්දනාමාන කිරීමට අවශ්‍ය කරන ගාථාවක් නොවන බව ද සිහි තබා ගත යුතුයි.

පසුගියදා පළාත් පාලන ඡන්දය ඉල්ලා මහ පාර දිගේ ජනතාව දක්කා ගෙන ගිය හරිනි අමරසූරිය වැනි අය, ඒ මැතිවරණය දින නියමයක් නැතිව කල් දැමීම ගැන කළ ප්‍රකාශය
ඇගේ දේශපාලන පරිණත බව මනාව පෙන්නුම් කරනවා. මැතිවරණය කල් දැමීම ගැන ඇය කීවේ, ඒ ගැන ආණ්ඩුවට ස්තූති වන බවයි. මන්ද මැතිවරණය සඳහා පක්ෂය හොඳින් සංවිධානය කර ගන්න ම්න් කාලය ලැබුණා කියායි.

ගඟ දිය මැදදී ඔරුව පෙරලුන විට පෙරලුනු ඔරුවේ එල්ලී ඒ පැත්තත් නරක නැහැ කියන්න පුළුවන් ආචාර්ය මහාචාර්ය පදවි ලත් පුද්ගලයෙන් ශ්‍රී ලාංකික දේශපාලනයේ ඉන්නා බව අමතක නොකළ යුතුයි.

ආචාර්ය හරිනි අමරසූරිය ඉතාමත් දක්ෂ අන්දමෙන් ඉංග්‍රීසී භාෂාව හසුරුවනවා. තාර්කිකව අදහස් ඉදිරිපත් කරන්නත් අතිදක්ෂයි. පාර්ලිමේන්තුවට කෙසේ වෙතත් අධිකරණයේ නඩුවලට පෙනී සිටින්න ඉතාමත් සුදුසුයි.

මේ දැනුමම තියෙන එහෙත් ඉංග්‍රීසි කතා නොකරන පුද්ගලයින් ලක්ෂ ගණනින් ශ්‍රී ලංකාවේ ජීවත් වුණත් ජවිපෙ හෝ ජාතික ජන බලවේගය තුළ ඔවුන්ට කවදාවත් ඉඩක් ලැබෙන්නේ නෑ. හේතුව ජවිපෙ නායකත්වය තුළ තිබෙන ඉංග්‍රීසි බැරිකම පිළිබඳ හීනමානයයි.

මෙම දුර්වලතාවෙන් ප්‍රයෝජනය ගෙන, ජවිපෙ නූතන නායකත්වයට ගුරුහරුකම් දෙන්න ජාතියේ හතුරන්ගේ මිතුරන්ටත් අවස්ථා ලැබුණා.

පරගැති “සිංහලයින්” සුද්දාට වශී උනෙත්, ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ දැනුම හා බුද්ධිය ඇති මිනිසුන්ගේ භාෂාව කියා රැවටුණු නිසයි.

ලක්ෂ්මන් කදිරගාමර්, වරක් සඳහන් කර තිබුණා ජවිපෙ තරුණයින්ට ඉංග්‍රීසි බැරිවීම ඔවුන්ගේ දේශපාලන ඉදිරි ගමනට බාධාවක් කියා.

මේ හේතුව මත ඇතැම් ජේවීපී නායකයන් ඉංග්‍රීසි වැඩි දියුණු කර ගැනීම සඳහා කදිරගාමර්ගේ උදව් උපකාර පැතුවා.

මා දන්නා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් දෙදෙනෙක්ම මගෙන් උපකාර ඉල්ලා සිටියා ඔවුන්ගේ දූපුතුන්ට එංගලන්තයේ ඉගෙන ගැනීමට හැකිනම් අවස්ථාවක් ලබා දෙන්න කියා.

අධිරාජ්‍යවාදය භංගවේවා කියමින් පෙළපාලි යන්න දුප්පත් කම්කරු පන්තියට ඉගැන්නූ මාක්ස්වාදී නායකයින්, ඉංග්‍රීසි කතා කරන ධනේශ්වර පන්තියේ පංති සගයන් සමග විස්කි පානය කරමින් එකම කෑම මේසයේ ආහාර ගත්තා.

ජවිපෙ නායකයින් එදා කදිරගාමර්ට ළං වූ ආකාරයෙන්ම හරිනි අමරසූරිය ගේ මධුර වූ ඉංග්‍රීසි භාෂණයට වශීවී ඇයව ඉදිරියට දමා තිබෙනවා. ගිලෙන්න යන මොහොතක එල්ලී සිටීම සඳහා ඇය පිදුරු ගහකට වඩා ශක්තිමත් බව
ජවිපෙ සහෝදරයන් තේරුම් ගෙන තිබෙන බව පේනවා.

නිර්ධන පංතියට පාන් නැති වූ විටක කේක් කවන්න ඉදිරිපත් වෙන මාරි ඇන්ටනට් වර්ගයේ කොළඹ හතේ නෝනලා NPP එකට බැඳෙන්න පක්ෂ කාර්යාලය ඉදිරියේ පෝලිම් නොගැසූනොත් ලොකු පුදුමයක්.

ලංකාවේ වර්තමාන ප්‍රශ්නයට මූලික හේතුව කුඹුරු හාන ගොවියාට මීහරකුන්ට ඉංග්‍රීසියෙන් විධාන දීමට නොහැකි කම නිසා යයි අලුත් නිර්ධන පන්ති උගතුන් දවසක නොකියා සිටීවිද?

ජවිපෙ සහෝදරයින්ගේ නහය විදගෙන දක්කන්නේත් අධිරාජ්‍යවාදී රටවල් නියෝජනය කරන නෝනලා බව සාමාන්‍ය ජනතාවට තවම තේරී නැහැ.

තේරෙන දවස එන විට පෙරහැර ගොස් අවසන්.

-එඩ්වර්ඩ් –

30.04.2023