Fri. Jul 5th, 2024
Spread the News

ආචාර්ය ප්‍රශාන්ත පෙරේරාවිදෙස්-silumina

2004 ඇමරිකානු අත්අඩංගුවට පත්වුණත් නිදහස් වෙලා

ප්‍රහාර සැලසුමට cia එකට නිශ්චිතවම ඔත්තු දුන්නේ කවුරුද?

අන්තවාදියකු වුණේ බැග්ඩෑඩ්

සරසවියේ ඉස්ලාම් ආගම ගැන ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා පරීක්ෂණ කරද්දී  ලිංගික විකෘතිකයෙක්… කයිලා මියුලර් නැමැති 26 හැවිරිදි මාධ්‍යවේදිනිය මරා දමන්නේ අවස්ථා ගණනාවකදි දූෂණය කරලා මේ නිසා ඔහු විනාශ කිරීමේ මෙහෙයුම නම් කළේ කයිලා මියුලර් නමින්.

2019 ඔක්තෝ­්බර් 27 දින ලෝකයේ සියලු රටවල සියලු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ සුවිශේෂ පුවතක් විය. එනම් අද්‍යතන මානව සමාජයේ අති අමානුෂික මිනිස් ඝාතකයා ලෙස ප්‍රකටව සිටි අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඇමෙරිකානු හමුදාවකට කොටු වී සිය දිවි තොර කොටගත් බවය.

මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායක­‍යෝ මැද පෙරදිග කලාපයටත්, පොදුවේ සමස්ත ලෝකයේ සාමකාමී පැවැත්මටත් මහා ව්‍යසනයක් වූ මෙම ක්‍රෑර අන්තවාදී මහා ත්‍රස්තවාදියාගේ අභාවය පිළිබඳ සතුටට පත්වූහ. ඇතැම් රාජ්‍ය නායකයෝ තම සතුට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටද මැළි නොවූහ. සිරියාවට හා ඉරාකයට අයත් භූමියේ ශුද්ධ ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණින් 2014 වසරේ සිට සටන් වදින අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා වූයේ පසුගිය සති අන්තයේ දී ඇමෙරිකානු හමුදාවට කොටු වී ආත්ම ඝාතනය සිදුකොට ගත් අබු බකර් අල් බැග්ඩෑඩිය. ගෙවී ගිය වසර කිහිපය තුළ ඉරාකයේ හා සිරියාවේ සිදු වූ බිහිසුණු රාජ්‍ය විරෝධී ප්‍රහාර මාලාවේ සැලසුම්කරුවා මෙන් ම සංවිධායකයා වූයේ ද අබු බකර් අල් බැග්ඩෑඩි යන ව්‍යාජ නාමයෙන් පෙනී සිටි මෙම වියරු ම්ලේච්ඡ මානව ඝාතකයාය.

අමානුෂික ඝාතකයාගේ වියරු ආශා

තම සංවිධානයේ සැකයට භාජනය වූ ඕනෑම අයකු අමානුෂික අයුරින් මරාදැමීමටත්, එම මරාදැමීම් නැරඹීමෙන් තෘප්තියට පත්වීමටත් මෙම උන්මත්තකයා තුළ වූයේ අස්වාභාවික වියරු ආශාවකි. තම සංවිධානයේ සැකයට භාජනය වූ විදේශ මාධ්‍යවේදීන්, සහන සේවකයන් මෙන් ම සමාජ ක්‍රියාකාරීන් ද එක පෙළට සිටුවා එකම මොහොතක හිස් සිඳ ඝාතනය කිරීමට අණදුන් මෙම අමානුෂික ත්‍රස්තවාදියා එම සැහැසි ක්‍රියා වීඩියෝ පට මඟින් මුළු මහත් ලෝකයටම ප්‍රදර්ශනය කළේය. මෙවැනි ක්‍රියා තම සංවිධානය ක්‍රියාත්මක කළේ තමන්ගේ අණසක පවතින ප්‍රදේශවලට පිටස්තරයන්ගේ පැමිණීම අධෛර්යයට පත්කිරීමටත් තම සංවිධානය කෙරෙහි ලෝක අවධානය දිනාගැනීමටත් බව මෙම ත්‍රස්තවාදී නායකයා වරෙක පවසා තිබිණි.

ඇතැම් සැකකාර විදේශිකයන් උල් ආයුධවලින් ඇන මරාදැමූ මෙම ත්‍රස්තවාදී සංවිධානය, සමහරුන් මරා දැම්මේ පණ පිටින් පුලුස්සා දමමිනි. තවත් සැකකරුවන් පිරිසකට මරණය ගෙන දුන්නේ ගල් ගැසීමෙනි. මෙම සියලු සහාසික ක්‍රියා පටිගත කොට අන්තර් ජාතික මාධ්‍ය ආයතනවලට මුදා හැරීමට අල් බැග්ඩෑඩි පියවර ගත්තේ තම සංවිධානයේ දැඩි බව ලොවට පෙන්වීමටය. අස්වාභාවික ලිංගික ක්‍රියාවන්ට දැඩිව ලොල් වූ අල් බැග්ඩෑඩි ඇමෙරිකානු මාධ්‍යවේදිනියක් වූ කයිලා මියුලර් නම් වූ 26 හැවිරිදි වූ තරුණියගේ මරණයට පෙර ඇයව සැලකිය යුතු වාර ගණනක් දූෂණය කොට තිබිණි. ඇමරිකාව අවසානයේ දී අල් බැග්ඩෑඩි විනාශ කිරීම සඳහා සැලසුම් කළ හමුදා ක්‍රියාන්විතය නම් කළේ ද කයිලා මියුලර් නමිනි.

තරුණ කාලයේ ආගමට ළැදි නිහඬ පුද්ගලයෙක්

1971 වසරේ ජුනි මස 28 දින ඉරාකයේ සැල්ඩින් ප්‍රාන්ත ප්‍රදේශයේ උපත ලැබූ අල් බැග්ඩෑඩිගේ සත්‍ය නාමය වූයේ ඊබ්‍රහිම් අල් සමරා ය. ඇතැම් අවස්ථාවල දී ඊබ්‍රහිම් අල් බඩ්රි යන නමින් ද ඔහු පෙනී සිටියේ ය. ඉතාමත් අහිංසක ආගමට ළැදි ගෝත්‍රික පවුල් පරිසරයක හැදී වැඩුණු බැග්ඩෑඩි ද තරුණ කාලයේ දී ආගමට ලැදි නිහඬ පුද්ගල­‌ෙයක් වූයේ ය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉරාකයේ බැග්්ඩෑඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ හෙතෙම එහි දී ඉස්ලාම් නීතිය, කුරාණය හා ආගමික අධ්‍යාපනය යන විෂය ත්‍රිත්වය උගත්තේ ය. ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති හා පසුව දර්ශන විශාරද (Ph.D) යන උපාධිය ද දිනාගත් බැග්ඩෑඩි තුළ අන්තවාදී ආගමික අදහස් වර්ධනය වූයේ ඔහු ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ පවත්වමින් සිටි අවධියේ දී ය. 1999 වසරේ දී ජෝර්දාන ජාතික අබු නුසබ් අල් සාකුවි විසින් පිහිටුවා ගනු ලැබූ අයි. එස්. අයි. (Islam Start of Iraq) සංවිධානයට බැඳුණු අල් බැග්ඩෑඩි එම සංවිධානයේ විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගී වෙමින් සිටි අවස්ථාවක 2004 වසරේ පෙබරවාරි 4 වන දින පලුජා නගරයේ දී ඇමරිකානු හමුදාවේ අත්අඩංගුවට පත්වූයේ ය. එහෙත් එකට ඔහුට විරුද්ධව ප්‍රබල ත්‍රස්තවාදී චෝදනා නොවූ බැවින් එම වසරේම දෙසැම්බර් 08 දින බුකා නගරයේ වූ ඇමෙරිකානු හමුදා කඳවුරෙන් නිදහස් ලබා යළි සාමාන්‍ය ජීවිතයට ප්‍රවේශ වූයේය. යළිත් කෙටි කාලයකදී අයි. එස්. අයි. සංවිධානයේ ක්‍රියාවලට නැඹුරු වූ අල් බැග්ඩෑඩි ක්‍රමයෙන් එම සංවිධානය තුළ විශාල බලයක් ගොඩනගා ගත්තේය.

2010 වසරේදි නායකත්වයට

2010 මැයි මස 16 දින අයි. එස්. අයි. සංවිධානයේ එවකට නායකත්වය හෙබවූ අබු ඕමරේ අල් බැග්ඩෑඩි මරණයට පත් වූයේ ය. එම මරණයෙන් අනතුරුව එම සංවිධානයේ නැගී එන තරුණ නායකයකු වූ අල් බැග්ඩෑඩි අයි. එස්. අයි. සංවිධානයේ නායකත්වයට බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙන් පත් වූයේ ය. බැග්ඩෑඩි අයි. එස්. අයි. සංවිධානයේ නායකයා වීමෙන් පසු 2011 වසරේ අප්‍රේල් මාසයේ දී බැග්ඩෑඩ් නගරය කේන්ද්‍ර කොටගෙන ප්‍රහාර 23ක් එල්ල කළ අතර එම ප්‍රහාරවලදී හමුදා සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මෙන් ම සිවිල් වැසියෝ රැසක් ද ජීවිතක්ෂයට පත්වූහ. නැවතත් එම වසරේම බැඩ්ඩෑඩ් නගරයේ උම්-අල්-කුරා දේවස්ථානයේ සිදුකළ බෝම්බ පිපිරවීමෙන් ද බැග්ඩෑඩි මහා මිනිස් සංහාරයක් සිදු කළේය. උග්‍ර ඇමෙරිකානු විරෝධී ත්‍රස්ත ව්‍යාපාරයක් වූ අයි. එස්. අයි. සංවිධානය ඇමෙරිකාවේ ඉරාක ආක්‍රමණය ප්‍රසිද්ධියේ හෙළා දැක්කේ ය.

2012 වසරේ දී ඇමෙරිකාව අබු බකර් අල් බැග්ඩෑඩි අල්ලා ගැනීමට අවශ්‍ය බුද්ධි තොරතුරු සපයන්නකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් ප්‍රදානය කරන බව ප්‍රකාශයට පත් කළේය. එහෙත් බැග්ඩෑඩි සොයාගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය. 2013 වසරේ දී අයි. එස්. අයි සංවිධානය සිරියාව ද තම ශුද්ධ සිහින ඉස්ලාම් රාජ්‍යයට එක් කොටගත් අතර එතැන් පටන් එම සංවිධානය අයි. එස්. අයි. එස්. නමින් ප්‍රකට වූයේය. සිරියාවේ සහ ඉරාකයේ පැවැති දුර්වල රාජ්‍ය පාලනයට ප්‍රබලම තර්ජනයක් වූ අයි. එස්. අයි. එස්. සංවිධානය 2015 පමණ වන විට මෙම දෙරටේ විශාල භූමි ප්‍රදේශයක තම බලය පිහිටුවා ගැනීමට සමත් වූයේ ය.

මුස්ලිම් අන්තවාදීන් අතර අනුහාසාත්මක නායකයෙක්

‍ෙම් ව්‍යායාමයේ දී දේශීය හමුදා සමඟ මෙන්ම ඇමෙරිකානු හමුදා සමඟ ද අයි. එස්. අයි. එස්. සටන්කාමීන් විටින් විට ගැටිණි. මෙම කාලය වන විට මුස්ලිම් අන්තවාදීන් අතර අල් බැග්ඩෑඩි ප්‍රබල අනුහාසාත්මක නායකයකු බවට පත්ව සිටියේ ය. එම නිසාම අයි. එස්. අයි. එස්. සංවිධානයේ ව්‍යාප්තිය සීඝ්‍ර වූයේ ය. මුස්ලිම් නොවන රටවල තරුණ තරුණියන් ද අයි. එස්. අයි. එස්. සංවිධානයට බැඳී එම සංවිධානයේ අරමුණු වෙනුවෙන් සටනට පිවිසියේ ය. 2015 පමණ පටන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් උතුරු සිරියාවේ අයි. එස්. අයි. එස්. ඉලක්කවලට අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය. මෙම ප්‍රහාරවලින් අයි. එස්. අයි. එස්. සංවිධානයේ සටන්කාමීහු විශාල ප්‍රමාණයක් මරණයට පත් වූහ.

ඔවුන්ගේ පාලනය යටතේ පැවැති භූමි ප්‍රදේශ විශාල ප්‍රමාණයක් ද යළි සිරියානු ආරක්ෂක හමුදා අතට පත්වූයේය. රුසියානු ප්‍රහාර නිසා ද අයි. එස්. අයි. එස්. සංවිධානයට විශාල පසුබෑමකට මුහුණ පෑමට සිදුවිය. 2017 පමණ වනවිට අයි. එස්. අයි. එස්. සංවිධානයේ බලය බෙහෙවින් පිරිහී තිබූ අතර ඔවුන්ගේ පාලනයේ පැවැති ප්‍රදේශවලින් 90% පමණ යළි ඉරාක හා සිරියානු හමුදා පාලනයට නතුවීම නිසා එම සංවිධානයේ ක්‍රියාකාරකම් ද බෙහෙවින් සීමාවිය.

මෙකල පටන්ම අල් බැග්ඩෑඩි තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතාරක්ෂාව ගැන බෙහෙවින් උනන්දු වූ අතර සැඟවී සිටින ස්ථාන නිරතුරුව වෙනස් කළේය. සිරියානු ඉරාක දේශසීමා ඔස්සේ මායිම් ගම්මාන හරහා විටින් විට ඉරාක භූමියටත්, සිරියානු භූමියටත් පය තැබීම බැග්ඩෑඩිගේ එක් උපක්‍රමයක් විය. ඔහුගේ ලැගුම් ස්ථාන පිළිබඳ අයි. එස්. අයි. එස්. සංවිධානයේ ඉහළ පෙළේ නායකයන් තුළ පවා කිසිදු අවබෝධයක් නොවීය.

ඇමරිකානු බුද්ධි අංශවලට රහස් තොරතුරු

මීට අවුරුද්දකට පමණ පෙර සිට ඇමරිකානු සී. අයි. ඒ. රහස් ඔත්තුසේවය සිරියානු කුර්දි ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ සහාය ද ඇතිව අල් බැග්ඩෑඩිගේ හැසිරීම් රටාව පිළිබඳව සියුම් අධ්‍යයනයක නිරත වූයේය. උතුරු දිග සිරියාවේ රඛා නගරය අයි. එස්. අයි එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රබල බලකොටුවක් වූ බැවින් අල් බැග්ඩෑඩි මෙම නගරයේ වෙසෙතැයි ඉරාක හමුදා බුද්ධි අංශ දැඩිව විශ්වාස කළේය. එහෙත් ඇමෙරිකාව ඒ පිළිබඳව එතරම් විශ්වාසයක් නොතැබීය. මෙලෙස අල් බැග්ඩෑඩි ගැන ඉව අල්ලමින් සිටි ඇමෙරිකානු බුද්ධි අංශවලට වසරකට පමණ පෙර බැග්ඩෑඩි සහ පවුල අවසන් වරට ඉරාකයෙන් පිටමං කිරීමට අවශ්‍ය පසුබිම සැකැසූ පුද්ගලයා අල්ලා ගැනීමට හැකිවිය. එයින් පසුව ඇමෙරිකානු හමුදාවලට අල් බැග්ඩෑඩිගේ ආරක්ෂක ස්ථාන පිළිබඳව වඩා නිවැරදි තොරතුරු සපයාගැනීම අපහසු නොවීය. මේ ව්‍යායාමයේ දී සිරියානු කුර්දි ප්‍රජාතාන්ත්‍රික හමුදාවේ බුද්ධි අංශවලින් ලද තොරතුරු ද බෙහෙවින් තීරණාත්මක වූයේ ය. පසුගිය මාස පහක පමණ කාලය පුරා සී. අයි. ඒ. සංවිධානය සපයා දුන් තොරතුරු මත අවස්ථා තුනක දී අල් බැග්ඩෑඩි අල්ලා ගැනීමට සැලසුම් සම්පාදනය වුව ද විවිධ හේතු නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. විටින් විට අල් බැග්ඩෑඩි තමා රැඳී සිටින ස්ථාන වෙනස් කිරීම මෙයට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේය. එහෙත් පසුගිය දෙමසක කාලය තුළ සිරියානු කුර්දි හමුදාව අල් බැග්ඩෑඩිගේ සමීපතමයකුගේ මාර්ගයෙන් ඔහුගේ සියලු සැලසුම් පිළිබඳවත් ගැවසෙන ස්ථාන පිළිබඳවත් වටිනා බුද්ධි තොරතුරු රාශියක් එක්රැස් කොට ගත්තේ ය.

අවසන් මෙහෙයුම

පසුගිය සතිය ආරම්භ වන විට අල් බැග්ඩෑඩි සැඟවී සිටින ස්ථානය පිළිබඳව ඉතාමත් නිවැරදි තොරතුරු සපයා ගැනීමට ඇමෙරිකානු බුද්ධි අංශවලට හැකි වූ අතර, එම තොරතුරු තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කොට ගැනීමෙන් යළි තහවුරු කරගන්නා ලද්දේ ය. පසුව මෙම තොරතුරු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඉදිරිපත් කළ රාජ්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන් අල් බැග්ඩෑඩි විනාශ කිරීම සඳහා ඔහුගේ අනුමැතිය ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා, ආරක්ෂක මංණ්ඩල ප්‍රධානීන් සමඟ සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් පසුව යෝජිත ප්‍රහාරය සඳහා සුදුසු ක්‍රියාන්විතයක් සැලසුම් කොට ඉදිරිපත් කිරීමට හමුදා ප්‍රධානීන්ට අවසර දෙනු ලැබීය. ප්‍රධාන හමුදා මෙහෙයුම් නිලධාරී මාක් මිලේ (Mark Milley) ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් ඉතා කෙටි කාලයක දී ප්‍රහාරක සැලස්ම සකසා ප්‍රහාරයට සම්බන්ධ වන ඇමරිකානු ඩෙල්ටා ප්‍රහාරක සේනාංකයේ සුවිශේෂ සෙබළුන් කණ්ඩායමට පෙරහුරු ප්‍රහාර කීපයකට සහභාගීවීමේ අවස්ථාව ද ලබා දෙනු ලැබීය. 2019.10.26 දින උදෑසන ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රහාරය දියත් කිරීමට අවශ්‍ය අවසන් අනුමැතිය දීමෙන් පසුව ක්‍රියාන්විත‌ෙය් සියලු පූර්ව සැලසුම් වහ වහා ක්‍රියාත්මක වූයේය.

ඇමෙරිකානු බුද්ධි අංශ සොයාගෙන තුබුණේ එදින අල් බැග්ඩෑඩි සිය පවුලේ සාමාජිකයන් සමග නැගෙනහිර සිරියාවේ ඉඩ්ලිබ් (Idlib) පරිපාලන ප්‍රාන්තයේ බරීෂා නම් වූ ගම්මානයක වූ නි‌ෙවසක රැඳී සිටිනා බවයි. මෙම ප්‍රදේශය සිරියානු හමුදා පාලනයෙන් පරිබාහිර ප්‍රදේශයක් වූ අතර ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් බහුලව සිදු වූ ප්‍රදේශයක් ද වූයේ ය.

ප්‍රහාරයට ඩෙල්ටා සුපිරි හමුදා කණ්ඩායමේ සෙබළු

ප්‍රහාරයට සම්බන්ධ වන ඩෙල්ටා සුපිරි හමුදා කණ්ඩායමේ සෙබළු ඉරාකයේ ඉබිල් (Eibil) නම් ස්ථානයේ පිහිටි ගුවන් අංගනයකින් CH-475 ද්විත්ව රෝටර හෙලිකොප්ටර් යානා අටකින් ක්‍රියාන්විතය සඳහා ගුවන්ගත වූහ. මෙම හෙලිකොප්ටරවලට සහාය සඳහා ඉරාකයේ මෙතෙක් හෙළිදරව් නොකළ ස්ථාන කිහිපයකින් ද ප්‍රහාරක ගුවන්යානා කණ්ඩායම් ගුවන් ගත වූ අතර, ඔවුන්ට තම ඉලක්කය කරා ඉතාම පහළින් හා ඉතාම වේගයෙන් පියාඹා යෑමට සිදුවූයේ ය. සිරියානු තුර්කි දේශසීමාවට කිලෝ මීටර් 5ක් පමණ දකුණින් පිහිටි මෙම ගම්මානයට ළඟා වීමට ඇමරිකානු ප්‍රහාරක සේනාංකයට පැයකුත් විනාඩි දහයක පමණ කාලයක් ගුවනේ ගත කිරීමට සිදු වූයේ ය.

මෙම ප්‍රහාරයට පිටත්ව යන තම ප්‍රහාරක යානාවලට තුර්කි හා රුසියානු පාලනය යටතේ වූ ගුවන් කලාප හරහා පියාසර කිරීමට සිදු වූ බැවින් එම රාජ්‍යයන්ට පූර්ව දැනුම්දීමක් සිදුකොට ඔවුන්ගේ අනුමැතිය ඒ සඳහා ලබාගැනීමට ඇමෙරිකාව ක්‍රියාකොට තිබිණි. එහෙත් කිසිම අවස්ථාවක තමන්ගේ ඉලක්කය පිළිබඳව කවර හෝ තොරතුරක් මෙම රාජ්‍ය දෙකේ බුද්ධි අංශ නිලධාරීන් අතට පත් නොවීමට අවශ්‍ය පියවර ගැනීමට ද ඇමෙරිකාව කටයුතු කොට තිබිණි.

ඇමරිකානු ජනාධිපති ‘සිටුවේෂන් රූම්’ මැදිරියට

පසුගිය සෙනසුරාදා සවස පහ පමණ වනවිට ඇමරිකාවේ ධවල මන්දිරයේ “සිටුවේෂන් රූම්” නම් වූ මැදිරියට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාත්, උප ජනාධිපතිවරයාත් මෙම ක්‍රියාන්විතය සිදුවන ආකාරය සජීවීව නැරඹීමට හමුදා ප්‍රධානීන් සමඟ එක් වූයේය. ප්‍රහාරයට එක්වන ගුවන් යානාවලට අතිරේකව ප්‍රහාරක නෞකා රාශියක් ද මෙතෙක් හෙළිදරව් නොකළ වෙනත් ස්ථානයක රඳවා තිබුණේ හදිසි තත්ත්වයක් මතුවුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහාය. ඇමෙරිකානු හෙලිකොප්ටර් යානා බරීෂා ගම්මානයේ අල් බැග්ඩෑඩිගේ ආරක්ෂක ස්ථානයට ළඟා වන විට භූමියේ සිට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවකට මුහුණ දීමට සිදුවූයේ ය. පැය බාගයක් පමණ පැවැති මෙම ප්‍රහාරයට ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කළ ඇමෙරිකානු ප්‍රහාරක යානා අවසානයේ තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රහාර අඩපණ කිරීමට සමත් වූයේය.

භූමියේ තත්ත්වය යහපත් වූ වහාම ප්‍රහාරක සේනාංකය හෙලිකොප්ටර් යානාවලින් ඉවතට පැමිණ අයි. එස්. අයි. එස්. සටන්කාමීන් හට දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. එහි දී අල් බැග්ඩෑඩිගේ ගෙමිදුලේ සිදු වූ සටන්වල දී ත්‍රස්තවාදීන් විශාල පිරිසක් සහ අල් බැග්ඩෑඩිගේ බිරින්දෑවරු දෙදෙනාම ද ජීවිතක්ෂයට පත් වූහ. ආත්මඝාතක බෝම්බ කබා මෙම ස්ත්‍රීන් දෙදෙනාම පැළඳ සිටිය ද එහි කාර්මික දෝෂයක් නිසා ඒවා ක්‍රියා නොකළේය. මෙම ආරක්ෂක ස්ථානයේ සිටි ළමයින් එකොළොස් දෙනෙකු හා ත්‍රස්තවාදීන් දෙදෙනෙක් ද නොමරා අල්ලාගැනීමට ඇමෙරිකානු හමුදා සෙබලුන් සමත් වූයේය. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී අල් බැග්ඩෑඩි තම දරුවන් තිදෙනකු ද සමඟ ගෙමිදුලෙහි වූ භූගත ආරක්ෂක උමං පද්ධතියකට රිංගා ගත්තේ ආත්මාරක්ෂාව සඳහාය.

එහෙත් ඇමෙරිකානු ආරක්ෂකයන් හා ඔවුන්ගේ පුහුණු සුනඛයන්ගේ අවධානයයෙන් ගැලවීමට බැග්ඩෑඩි සමත් නොවූයේය. බැග්ඩෑඩි පසුපස සුනඛයෙක් හඹා ගිය අතර එම සුනඛයා පසු පස ඇමෙරිකානු ප්‍රහාරකයෝ ද වූහ. බැග්ඩෑඩිගේ අවසානය උදාවූයේ උමගේ අවසානයට ඔහු පැමිණි අවස්ථාවේදී ය. මින් ඉදිරියට තමන්ට ගැලවී යාමට මඟක් නොවූබව වටහාගත් මෙම අමානුෂික මහා ත්‍රස්තවාදියා තමන්ගේ ආත්මඝාතක බෝම්බ කබාය සක්‍රීය කළේය. නිමේෂයකින් ඇති වූ පිපිරීමෙන් බැග්ඩෑඩි සහ ඔහුගේ දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත් වූ අතර භූගත උමඟ ද කඩා වැටුණි.

මෙහි දී ඇමරිකානු හමුදාවේ සුනඛයා ද අනතුරකට මුහුණ පෑවේය. පසුව හාරන ලද වෙනත් උමඟකින් බැග්ඩෑඩිගේ සිරුරු කොටස් මතුකොට ගත් අතර විනාඩි 15ක කාලයක් ඇතුළත ඩී. එන්. ඒ. පරීක්ෂාව සිදුකොට මියගිය පුද්ගලයා අයි. එස්. අයි. එස්. සංවිධානයේ නායක බැග්ඩෑඩි බව තහවුරු කොට ගන්නා ලද්දේය. රාත්‍රී 7.15 පමණ ක්ෂේත්‍ර හමුදා ප්‍රධානියා සිටුවේෂන් රූම් අමතා ජැක්පොට්, ජැක්පොට් යන දෙවදන පවසා සිටියේ ය. එය මෙම ක්‍රියාන්විතයේ දී අල් බැග්ඩෑඩි විනාශ කළ බව දැන්වීම සඳහා යොදාගනු ලැබූ රහස්‍ය සංකේත නාමය විය.

මෙම ප්‍රහාරයෙන් පසුව අල් බැග්ඩෑඩි සැඟවී සිටි නි‍ෙවස දැඩි පරීක්ෂාවට ලක්කළ ඇමරිකානු හමුදාව එහි තිබී අයි. එස්. අයි. එස්. සංවිධානයේ රහස්‍ය ලිපි ලේඛන, අනාගත ත්‍රස්ත සැලැසුම් ආදී වටිනා තොරතුරු සම්භාරයක් අත්පත් කොට ගනු ලැබීය. අවසානයේ දී යළි ගුවන් ගත වූ ඇමෙරිකානු ප්‍රහාරක සෙබළුන් ගුවනේ සිට එල්ල කළ එක් මිසයිල් ප්‍රහාරයකින් අල් බැග්ඩෑඩිගේ නි‍ෙවස පො‍ෙළාවට සමතලා විය.

මෙම ක්‍රියාන්විතයේ දී අයි. එස්. අයි. එස්. සංවිධානයේ අමානුෂික ඝාතනවලට ඍජුවම දායක වූ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකු ද අත් අඩංගුවට ගනු ලැබූහ. රාත්‍රී 9.23 ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ යම් විශාල දෙයක් සිදු වී ඇතැයි යන සටහනක් පළ වුවද ලෝක බේස්බෝල් ශූරතාවලියේ තරග නරඹමින් සිටි වොෂින්ටන් වැසියන්ගේ අවධානයට එය ලක් නොවූයේය.

නිල ප්‍රකාශය 27 වැනිදා

මෙම ප්‍රහාරය පිළිබඳව ඇමෙරිකානු ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කළේ 2019.10.27 දිනය. ඉරාකයට, සිරියානු කුර්දි හමුදාවට, තුර්කියට මෙන් ම රුසියාවට ද ස්තූති කළ ජනාධිපතිවරයා තම හමුදා ප්‍රධානීන්ට ද ප්‍රහාරක හමුදා කණ්ඩායමට ද එහිදී සිය ස්තූතිය පළකොට සිටියේ අල් බැග්ඩෑඩි තම හමුදාවට කොටු වී සිය දිවි තොර කොටගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමිනි.

2019 අප්‍රේල් 21 දින ශ්‍රී ලංකාවේ සිදු වූ අහිංසක මනුෂ්‍ය ඝාතන මාලාවට ද ඍජුවම වගකිය යුතු මේ කුරිරු මිනිසා එම මස අගභාගයේ දී ඒ පිළිබඳව සඳහන් කොට තිබූ බව ද පසුව වාර්තා වූයේ ය.

දහස් ගණනකගේ ජීවිත ආගම් අන්තවාදයට මුල් වී විනාශ කළ මෙම පාපතරයාගේ අවසානය සිදු වූයේ ඇදහිය නොහැකි ලෙස එක් නිමේෂයකිනි. අල් බැග්ඩෑඩිගේ සිරුරු කොටස් ද බින් ලාඩන්ගේ සිරුර මෙන් සයුරේ භූමදාන කිරීමට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ. අයි. එස්. අයි. එස්. සංවිධානය මෙතෙක් තම නායකයාගේ ඝාතනය පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකොට නොමැත.

බින් ලාඩන් මෙන්ම අල් බැග්ඩෑඩි ද දැන් අතීතයට එක් වී හමාරය. එහෙත් ඔවුන් විසින් මානව සමාජයට දායාද කළ කුරිරු අන්තවාදී ආගමික චින්තනය මෙන්ම අමානුෂික ත්‍රස්තවාදය ද තව බොහෝ කාලයක් විවිධ වේශයෙන් මෙලොව පවතිනු ඇත. යළි යළිත් අහිංසක මිනිසුන්ගේ ජීවිත ද බිලිගනු ඇත.