Spread the News

ආරියතිලක
2024.08.02

‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින්  අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින පනවන ලදී. ඒ  පැනවීමත් සමඟ වීසා නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසූ බව මාධ්‍ය වර්තා කර තිබිණි.

එළඹෙන සඳුදා දිනයේ වීසා නිකුත් කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති බවත් එසේ වුවහොත් රටේ කීර්තිනාමයට මෙන්ම ආර්ථිකයට ද දැඩි හානියක් වන බව ආගමන් විගමන පාලක ජනරාල්වරයා වැඩි දුරටත් පවසා ඇති බව ද වාර්ථා කර තිබිණි.

මෙකල ලෝකයේ රාජ්‍ය නායකයයෝ  සහ ඒ ඒ රාජ්‍යවල පාලනය හොබවන උප ජනාධිපතිවරු , අග්‍රාමාත්‍යවරු, අමාත්‍යවරු, මන්ත්‍රීවරු, ඇතුලු රාජ්‍ය පාලනයට සම්බන්ධ දේශපාලන බලාධිකාරියේ බලය ලත් කවරෙකු හෝ වේවා ඒ ඒ රටේ නීතිය සර්ව සම්පූරණයෙන් නො දනිත්. ඇතැම් රටවල,  ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල රාජ්‍ය නායකත්වයට පත් වීමේදී ඒ ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සැළකිය යුතු දැනුමක් ඇති කර ගැනීමට අවශ්‍ය ය. අද ලෝකයේ බොහෝ රටවල රාජ්‍යයේ නීති දැනුම ඇති උදවිය දේශපාලන බල අධිකාරියට පත් වන්නේ නැත. බොහෝ දීයුණු රටවල ඒ අඩුව පිරිමසන්නේ ඒ රටවල් නීති උපදේශකයන් ය. පරිනත දේශපාලන උපදේශකයෝ දේශපාලන තීන්දු තීරණ ගැනීමට දායක වෙත්. ගන්නා දේශපාලන තීන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ තත් කාලයේ රටේ පවතින නීතියට ගැලපෙනවාද ද යන්න සොයා බලා නිර්දේශ කරනු ලබන්නේ ඒ ඒ ඒ රටවල නීති උපදේශකයන්  විසිනි.  දියුණු රටවල දේශපාලන බල අධිකාරිය හිතුමතයේ, නීතිය නො සලකා ක්‍රියා නො කරයි. රටේ සංවර්ධනයට ඇවැසි දේශපාලන තීන්දු රටේ නීතියට පටහැනි වීම වලකා ගැනීම තත් කාර්යයේ අරමුණ ය. එසේ නොවී දේශපාලන බල අධිකාරියේ තීන්දු, රටේ පවත්නා තත්කාල නීතිය සමඟ විසම වීම හේතුවෙන් දේශපාලන බල අධිකාරිය සහ අධිකරණය අතර සමපාත නො වීමෙන් මහත් අර්බුද ඇති වීම නො වැලැක්විය හැකි ය. එය රටේ උන්නතියට සුභදායක නොවේ.

මෙරට රාජ්‍ය පාලනයට නීති උපදෙස් සලසා ගැනීමට ඇති ආයතන අතර නීතිපති දෙපාර්මේන්තුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාව අර්ථ නිරූපනය කිරීම සහ පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර පනත් කෙටුම් පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට එකඟ් දැයි බැලීමෙන්  ශේෂ්ඨාධිකරණය ප්‍රධාන වේ. දේශපාලන බල අධිකාරීන් තම හිතුමතයට,  රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියා කිරීම නො කට, නීති උපදේශකයන්ගේ උපදෙස් මත ක්‍රියා කෙළේ නම් මෙවැනි අර්බුද පැන නගින්නේ නැත. මෙයින් තේරුම් ගත යුත්තේ අත්තනෝමතික දේශපාලන බල අධිකාරි තීන්දු මත යැපීම රටේ දියුණුවට මහත් බාධා ඇති කරන  බව ය.