Mon. Jul 8th, 2024
Spread the News

Link : ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය (BJP) පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ෂා සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාගෙන් විමසීය.

එහිදී ඒ මහතා අවධාරණය කළේ, වෙනත් රටක පක්ෂයකට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වීමේ හෝ මැතිවරණ සඳහා තරග කිරීමේ හැකියාවක් නොමැති බවය.

“ලංකාවේ ඒගොල්ලන්ගේ ශාඛා එහෙම පිහිටුවලා තරග කරන්න පුළුවන්කමක් නෑ. ඒක ලංකාවේ පක්ෂයක් නම් ලංකාවේ ඉන්න පුරවැසියන්ගෙන් පක්ෂයක් හදලා, පහුගිය අවුරුදු 4ක් 5ක් තිස්සේ දිගට ම වැඩ කරලා, තරග කරලා මැතිවරණවලට, එහෙම ගොඩනගා ගත්ත පසුබිමක් තුළ විතරයි පක්ෂයක් ලියාපදිංචි කරලා පිළිගත් පක්ෂයක් හැටියට තරග කරන්න පුළුවන් වෙන්නේ. නැතුව කොයි තරම් ප්‍රබල පක්ෂයක් වුණත් මෙහේ ශාඛා හදාගෙන තරග කරන්න පුළුවන්කමක් නැහැ.”

එමෙන් ම, භාරතීය ජනතා පක්ෂය මෙරට පක්ෂයක් හා සන්ධානගත වී මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ‘මව්බිම’ සභාපතිවරයාගෙන් විමසීය.

එහිදී ඔහු සඳහන් කළේ, නීත්‍යනුකූලව එසේ කිරීමේ හැකියාවක් නොමැති බවය.

“ඒක අපේ නීතියෙන් බෑ. රටේ තියෙන පක්ෂ අතර සන්ධාන හදන්න පුළුවන්. විදේශ පක්ෂත් එක්ක සන්ධානගත වෙලා මේක කරන්න බෑ.”

ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය (BJP) පිහිටුවීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ෂා පක්ෂ රැස්වීමකදී ප්‍රකාශ කළ බව ත්‍රිපුර ප්‍රධාන අමාත්‍ය බිප්ලබ් ඩබේ අනාවරණය කර තිබිණි.

අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර ඇත්තේ, භාරතීය ජනතා පක්ෂයට අවශ්‍ය වූයේ ඉන්දියාවේ සියලු ම ප්‍රාන්ත ජයග්‍රහණය කිරීමෙන් පසු පක්ෂ පිහිටුවා අසල්වැසි රටවල ආණ්ඩු පිහිටුවීමට බවය.

ඒ අනුව, ඉන්දියාවට අසල්වැසි ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පක්ෂ පිහිටුවීමට ඔවුන් සැලසුම් කර තිබේ.