Fri. Jul 5th, 2024

Jun 24, 2013
Spread the News

තමිල්නාඩු ආරක්‌ෂක විදුහලේ සිටින අපේ හමුදා නිලදාරීන් දෙදෙනා වෙනත් ප්‍රාන්තයක ආයතනයකට මාරුකර යෑවීම අසාධාරණයි

– ගෝඨාභය රාජපක්‌ෂ

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

වසරක පුහුණුවක්‌ සඳහා තමිල්නාඩුවේ වෙලින්ටන්හි ආරක්‌ෂක සේවා විදුහලට (Defence Services Staff College) ඇතුළත් වී සිටින හමුදා නිලධාරීන් දෙදෙනකු දැනට ක්‍රියාත්මක වන විරෝධතා නිසා වෙනත් ප්‍රාන්තයක පිහිටා තිබෙන ආයතනයකට මාරුකර යෑවීමට ශ්‍රී ලංකාව කිසිසේත් එකඟ නොවන බව ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසීය.

මෙලෙස මාරුකර යෑවීම බලවත් අසාධාරණයක්‌ බව පැවසූ රාජපක්‌ෂ මහතා තමා දැනටමත් ශ්‍රී ලංකාවේ ස්‌ථාවරය ඉන්දීය බලධාරීන්ට දැනුම් දී ඇති බව පැවසීය.

වින්ග් කොමාන්ඩර් එම්. එස්‌. බණ්‌ඩාර සහ මේජර් සී. එස්‌. හරිස්‌චන්ද්‍ර යන අය පූනෙහි පිහිටා තිබෙන හමුදා ආයතනයකට අනුයුක්‌ත කිරීමට ඉන්දියාව යෝජනා කර ඇති බව පැවසේ.

ආරක්‌ෂක ලේකම්වරයා පැවසුවේ තමාද වෙලින්ටන්හි පුහුණු පාසලේ වසරක අධ්‍යනයක්‌ 82-83 කාලයේ කළ බවයි. එය හමුදා නිලධාරියකුට අත්‍යවශ්‍යම පුහුණුවීමක්‌ බවද ඉන්දියානු බලධාරීන් මෙම තීරණය ගැන නැවත සලකා බැලිය යුතු බවද “දිවයින” නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේය.

දැනට තමිල්නාඩුවේ සිටින හමුදා නිලධාරීන් දෙදෙනාට එම කටයුත්ත කරගෙන යැමට හැකියාවක්‌ නැත්නම් ශ්‍රී ලංකා රජය ඔවුන් නැවත ගෙන්වා ගැනීමට සිදුවිය හැකි බවද, ඉන්දීය දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කීපයක්‌ මෑතකදී වෙලින්ටන් නගරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක්‌ පවත්වා ඇති බවද පැවසූ ආරක්‌ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාව යුද වැදුණේ දමිළ සිවිල් ජනතාව සමග නොව ත්‍රස්‌තවාදීන් සමග බවද අවධාරණය කළේය.

source:http://www.divaina.com/2013/06/24