Wed. Jul 3rd, 2024
Spread the News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා 2023 අගෝස්තු 10 පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මතු සඳහන් පරිදි වේ:—

(1) පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරය සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්තිවල ආයුර්වේද භෛසජ්ජක සහ භෛසජ්ජක යන වචන ඉවත් කිරීමෙන් සංශෝධනය කළහොත් අනනුකූලතාවය අවසන් වනු ඇති බව නිවේදනයේ සඳහන් වේ.

(2) පනත් කෙටුම්පතේ 46(4) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 53 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත;

(3) පනත් කෙටුම්පතේ 11(3) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි බවද නිවේදනයේ දැක්වේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 54 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත;

(4) ප්‍රධාන පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරනු ලබන වෙනත් කරුණු අතර, ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් කරනු ලබන පනත් කෙටුම්පතේ 13 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් නොකිරීමෙන් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත;

(5) පනත් කෙටුම්පතේ 24(1)(අ), 25 සහ 46(2) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. එම වගන්ති ඉවත් කිරීමෙන් අනනුකූලතාවය අවසන් වනු ඇත; සහ

(6) පනත් කෙටුම්පතේ 46(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 55 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින සභාවේ වැඩකටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද නියෝජ්‍ය කථානායකවරයා නියෝග කළේය.
(මූලාශ්‍රය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්)

ඒ අනුව එකී සංශෝධන සිදුකර සාමාන්‍ය බහුතර ඡන්දයෙන් ආයුර්වේද සංශෝධනය සම්මත කර ගැනීමට හැකිය.

මෙකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා සිටියහොත් එකී තීරණය මැනවින් කියවා බැලීමට ජනතාවට අවස්ථාව සැළසේ.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3, 9 වගන්ති සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 13, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12,14.1අ, 14.1ඇ, 14.1ඉ,18,19, 20*, 23 ව්‍යවස්ථා අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ සිංහල භාෂාවෙන් හැන්සාඩ් ගත කරන ලෙස කතානායකගෙන් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතිය, වරප්‍රසාද ඇත.

http://neethiyalk.blogspot.com/2023/08/2023-6.html?m=1


“නීතියේ සිංහල නුගමුල”
ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0342256066, 0712063394