Mon. Jul 8th, 2024
Spread the News

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

සිය මාමාවූ, මියගිය කාලෝ ෆොන්සේකා මහතා විසින් වරක්, <ලංකාවේ හැරල්ඩ් ලැස්කි> යයි නම්කල, ලංකාවේ 13-ඒ ප්ල්ස් කතාවේ පියා ලෙස නම්දරණ, ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රකාශයක් දඩමීමා කර ගනිමින් (1) 2020 ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදන කමිටුවේ සංයුතිය හා ඔවුන්ගේ සුදුසුකම් ගැන ප්‍රශ්ණ කර ඇත. මෙය 2011 දී සංහිඳියා කොමිෂමට, මහාවංශ විරෝධීන් එල්ලකල චෝදනාවමය. ඔහුගේ (2) දෙවන භීතිය නම් එම කමිටුව විසින්, දැනට ලංකාවේ ගොඩ නැඟෙමින් තිබෙනා ලිබරල්, ප්ලූරල්, බහු-භාර්‌යා, බහු-ආගමික (ඉන්ටර් ෆේත්) බහු-ජාතික, සංක්‍රාන්ති ලිංගික, සමලිංගික, ධනවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස්-වානිජ, ග්ලෝබල් කෝපරේට් සමාජයට එරෙහිව අසිපත් අමෝරමින් සිටිනා, බෞද්‌ධ අන්තවාදයක හා මිලිටරිවාදයක එකතුවට, එම කමිටුව විසින් අත්වැලක් සපයාවිද යන්නය. මෙම භයානක තර්‍ජනය ගැන ඔහු විසින් දේශපාලන විද්‍යාත්මක යයි කියනා ප්‍රහාරයක් එල්ල කරමින් සිටී (ඩේලි එෆ්.ටී, ඔක්තෝබර් 15, 26 & 28).

මෙය 1815 ගිවිසුමෙන් ඇරඹුණ, සිංහල කළුසුද්දන් විසින්, සිංහලේ රට හා සිංහල ජාතිය පාවාදීමේ, ශතවර්‌ෂ දෙකක ව්‍යපෘතියක්, 2019 අගදී සිට අඩපණවීමට ඇති ඉඩප්‍රස්ථාවට එරෙහිව, නොයෙක් මහාවංශ විරෝධී බලවේග විසින් 19 සංශොධනයට විරුද්‌ධව චන්දය දුන් එකම මන්ත්‍රීවූ සරත් වීරසේකර නමැති මුව හමට කරණා තඩිබෑමකි. මෙම බලවේග වල ඉදිරියෙන් ඉන්නේ ක්‍රිස්තියානී මාක්ස්වාදීන් වන දයාන් හා කුමාර් ඩේවිඩ් (දමිළ ඊළම්?) යන දෙන්නා ඇතුළු ජේවීපී මාක්ස්වාදීන්, පෙරටුගාමීන් වීම එහි එක් විශේෂත්‌වයකි. අන්තිමේදී රනිල් ලඟට ගිය ඊළම් නියෝජිත වික්‍රමබාහු නම් දැන් හතිවැටී නිහඬව සිටී. අනිත් අතට සජිත්ගේ සමඟි බලවේගයේ මහළු හා තරුණ මන්ත්‍රී පංචස්කන්‌ධවල න්‍යායාචාරියා දයාන්‌ය.

ජයදේව උයන්ගොඩ නම් මේ අඩියට වැටී නැතිබව ඔහුගේ ලිබරල් බණ වලින් පෙනේ (කලම්බු ටෙලිග්‍රාෆ්, නොවැම්බර් 1). වික්ටර් අයිවන් දැන් කරන්නේ යහපාලනයට දොස් දෙවොල් නැගීමය.
දයාන්ගේ භීතිය (ඉහත අංක 2) රට කැඩීමේ ව්‍යාපාරය කොට උඩ ගිය නිසාවෙන් හඬනා අයවළුන්ගේ භීතියමය. එයට වෙනම දිග ලිපියකින් පිළිතුරු දිය යුතුය. මේ කෙටි ලිපියෙන් සළකා බලන්නේ විද්‌වත් කොමිටියේ සුදුසුකම් ගැන ඔහු නගන චෝදනාවය. කුමණ හේතුවක් හෝ නිසා 1972 ව්‍යවස්ථාවේදී කොල්වින්ටත් (ෆීලික්ස් නැතුව), 1978 ව්‍යවස්ථාවේදී ජේ.ආර් ටත් (ජේ. ආර් සහොදරයාට හා ඒ. ජේ. විල්සන් නැතුව) විද්‌වත්කමක් ආරූඪ කරයි. එහෙත් ඒවාත්, 2020 මෙම කොමිටියේත් අතර ඇති වෙනස දයාන් අමතක කර ඇත. ඒවා දේශපාලක වැඩවූ අතර, මෙය දේශපාලකයින් නොවන අයගේ කොමිටියකි. යහපාලන කාලයේදී නොයෙක් කොමිටුවලට පත් කල අය සුදුසුකම් තිබූ අයද නැද්ද යන්න මේ වනවිට රටේ ජනතාව හොඳින්ම දනී.

මෙම විද්‌වත් කොමිටියට පත්කල 9 දෙනාගෙන් 5 දෙනෙක් නීතීඥයින්‌ය. 2 නෙක් මහාචාර්ය වරුය. 1 නෙක් විශ්‍රාමික මහාචාර්යවරයෙකි. 1 ක් ඒ. ස්‍ර්වේශ්වරන්‌ය. රටේ දේශපාලනය ගැන විමසිල්ලෙන් සිටිනා අයෙක් වශයෙන් මේ අය අතරින් මා දන්නේ නීතීඥ මනෝහර ද සිල්වා හා විශ්‍රාමික භූගෝලවිද්‍යා මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් යන දෙන්නා පමණය. ඔවුන් පුවත් පත් වලට ලිපි ලියූ, රටේ දේශපාලනය ගැන පොත් ලියූ ප්‍රසිද්‌ධ අයය. මේ හැර ඉතිරි 7 දෙනාට, රටේ ව්‍යවස්ථාවක් ගැන කතාකිරීමට ඇති සුදුසුකම් මොනවාද? ඔවුන්ව මේ සඳහා පත්කල බලධාරීයා එය දන්නවා වියහැකිය. මා දන්නා දෙන්නා අනුව සිතනවිට එය බලධාරීන් විසින් රට ගැන සිතා සද්භාවයෙන් කර ඇති බවට සැකයක් නැත. එසේ නමුත් අධිකරණ අමාත්‍යාංශයේ වගකීමක් නම් මේ අයගේ සුදුසුකම් ගැන ඔවුන්ගේ අතීත අත්දැකීම්, ක්‍රියාකාරකම් ගැන කෙටි හැඳින්‌වීමක්වත් රටේ ජනයාට දැනගන්නට සැලැස්වීමය. එසේ නැත්නම් අප හැම ඉන්නේ අඳුරේය. අඩුතරමින් යමෙක් රක්‍ෂාවක් සඳහා යවන <රෙසුමේ> වැන්නක් වත් අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැමිය යුතුව ඇත. පරණතාලයටම වැඩකරගෙන යාමෙන් ඉවත්‌විය යුතු නැද්ද?

මීට පෙර මෙවැනි වැඩවලට සම්බන්‌ධව සිටි දෙන්නෙක්ම උසස් විභාගවලදී කොපිකර අසුවූ අයවිය. ඒ දෙන්නාගේ < පොදු වැඩවල> අවංක භාවයක් නොතිබූ බව මම දනිමි. යමෙකුගේ උප්පැන්නේ සිට විස්තර සෙවීමත්, මෙසේ ව්‍යවස්ථා සැදීම වැනි උතුම් කාර්යයක් භාරදෙන අයගැන අවශ්‍ය විස්තර එලිකිරීමත් අතර විශාල වෙනසක් තිබේ. මහජනයාට සර්‌වාධිපත්‍ය තිබේ යයි කියන්නේ, නිලධාරීන් විසින් මෙවැනි තොරතුරු සැඟවීමට නොවේය කියා සිතෙන්නේ, මේ කරුණ මෙම සාමාජිකයින්ට දැන්‌වුවහොත් ඔවුන් ඒ විස්තර නොපමාවම ඉදිරිපත් කරණ බව නිසැක හෙයිනි.

උදාහරණයක් වශයෙන්, 2019 දී රට කැබලිකිරීමේ ඔරුමිත්තනාඩු රනිල්-සුමන්තිරන්-ජයම්පති කෙටුම්පතටද අත්‌උදව්වක්‌වූ, 2007 තිස්ස විතාරණ මැජෝරිටි කොමිටි වාර්‌තාවට අත්සන් කල දෙන්නෙක් අඹු-සැමි යුවලක් විය! එකම පවුලේ දෙන්නෙක් හැර වෙන සුදුසු අයෙක් රටේ සිටියේ නැද්ද?