Wed. Jul 3rd, 2024
Spread the News

අනුර මහත්මයා විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉවත දාන්න බැහැ.

1981 සිට මා උත්සාහ කළේ සමාජ දර්ශනයක් ලෙස අනාරක්ෂිත භාවයෙන් මිදීමේ න්‍යාය ඉදිරියට ගෙන යාමටයි.සිද්ධාර්ථ කුමාරයට බුදු වෙන්න මොහොතක් තිබියදී මාර සේනාව වට කරගෙන කළ කලබගෑනිය වැනි ප්‍රබල විරෝධතාවයන්ට මට දිගින් දිගටම මුහුණ දීමට සිදුවුණා.

සිද්ධාර්ථට කුමාරයට බුදු වීමේ ඉලක්කයක් තිබුණත් මා හට අඩු වශයෙන් රටේ පාලකයා වීමේ ඉලක්කයක් තබා සිහිනයක්වත් තිබුණේ නැහැ.අදටත් මා ජීවතුන් අතර සිටින්නේ එවැනි බලකාමයකින් මා නොපෙළුනු නිසයි.බලය කියන්නේ එක දෙයක් න්‍යාය කියන්නේ තවත් දෙයක්. ප්‍රායෝගික බව ඊටත් එහා ගිය දෙයක්.මුවහතක් නැති කඩුවකින් යුද්ධ කරනවා තබා කොස් ගෙඩියක් දෙපළු කරන්නවත් බැහැ.පරිණත බව කඩුවට ලැබෙන මුවහතක්. කඩුව මොන තරම් මුවහත් වුණත් අසිපත දරන්නාට කඩු හරඹය පිළිබඳ දැනුමක් නැත්නම්, කඩුව අඩු වශයෙන් කොපුවෙන් එළියට ගැනීමේ තේරුමක්ද නැහැ.

මාර්ක්ස් සම්බන්ධයෙන් මා හට කීමට ඇත්තේ 19 වන සියවසේ සමාජ විද්‍යාඥයකු ලෙස ඔටුනු පැළඳ සිටි ජර්මන් ජාතික මැක්ස් වේබර්ගේ ධනවාදී සංකල්ප මියැදුණු ආකාරයෙන්ම මාක්ස්වාදයත් ජනතාව විසින්ම විශ්‍රාම ගන්වා තිබෙනවා.එසේ වූයේ ජනතාව ඔවුන්ට පෞද්ගලිකව විරුද්ධ වීම නිසා නොව, වෙනස් වන ලෝකයක ඔවුන්ගේ න්‍යායවල ප්‍රායෝගික වටිනාකමක් ඉතිරි නොවුනු නිසයි. ඔහුගේ ආර්ථික න්‍යාය ආසියාවට නොගැලපෙන බව පිළිගත්තේ කාර්ල් මා‍ර්ක්ස්මයි.

එය බුදු දහම හෝ අන් හැම ආගමික ඉගැන්වීමකට වඩා ඉහළින් තැබීමට වළි කෑවේත් අපේම මාක්ස්වාදීන්ය.මා සිංහලයෙක් හෝ බෞද්ධයෙක් වීම මා හට කවදාවත් පීඩාවක් ගෙන දුන්නේ නැහැ. මට උපතින් ලැබුණු ඒ අනන්‍යතාවයට මගේ මව් රට තුළදී ලැබුණු පිළිගැනීමට වඩා පිළිගැනීමක් මා හට විදේශයන්හිදී ලැබුණා. මා විශ්වාස කරන දහම තුළ ආගම්වාදයක් හෝ ජාතිවාදයක් හෝ වර්ගවාදයක් නැත.

ශිෂ්‍ය අවධියේ මා මාක්ස්වාදියෙක් වූයේත්, සමාජ සාධාරණත්වයක් ගැන විශ්වාසය තැබුවේ බුදු දහමින් ලැබුණු පෝෂණය නිසයි. උතුරේ හෝ දකුණේ ජීවත් වන දමිළ ජනතාව සමග සහජීවනයෙන් ජීවත් වීමට කුඩා කල සිට මා හට කියා දුන්නේ මගේ සිංහල දෙමව්පියන් සහ සිංහල ගුරුවරුයි. කිසියම් දිනෙක ඔවුන් වර්ගවාදීන් හෝ ජාතිවාදීන් වූයේ නම්, මා අනිවාර්යයෙන්ම මාගේ විරෝධය පාන්නෙමි. මාගේ දමිළ මිතුරන් මා පිළිගත්තේ හොඳ සිංහලයෙක් කියායි.බාධක දිවිමේ තරඟයකදී මට ජයග්‍රහි කුසලාන ලැබුණේ නම්, ඒ කුසලාන ලබාදීමට මට උපකාර වුණේ එම බාධක කඩුලුයි.ජීවිතය ජය ගැනීමට මම යොදාගත්තෙත් නිරන්තරවම එළඹුණු බාධකයි.මොන බාධකයක් ඉදිරියේ හෝ මිනිස්කම අත් නොහැර සිටීමට අධිෂ්ඨාන කර ගතහොත් ජයග්‍රහණය එහිම සටහන් වනවා ඇත.

එඩ්වර්ඩ් එම් පෙරේරා 09.01.2024