Tue. Jul 9th, 2024
Spread the News

ෆොන්සේකාගේ අසත්‍ය ප්‍රකාශයට එරෙහිව පියවර ගන්නවා
බැසිල්ගේ නීතිඥවරයා නිවේදනයකින් කියයි

හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඉකුත් 2005 වසරේදී එල්.ටී.ටී.ඊ.යට ඩොලර් මිලියන දෙකක මුදලක්‌ ලබාදුන් බව සඳහන් කරමින් එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කළ අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව බැසිල් රාජපක්‍ෂ මහතාගේ නීතිඥවරයා මාධ්‍ය වෙත නිවේදනයක්‌ නිකුත් කර තිබේ.

එහි මෙසේද සඳහන් වෙයි.

එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්‌තුවෙන් පත්කරනු ලැබූ මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා 2016 මාර්තු මස 10 වැනි දින මාගේ සේවාදායක සම්බන්ධව වූ ප්‍රකාශයක්‌ සිදුකර ඇති බව මාධ්‍ය මගින් දැනගැනීමට ලැබී ඇත.

එකී මාධ්‍ය ප්‍රචාර අනුව මාගේ සේවාදායක විසින් ත්‍රස්‌තවාදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන් වෙත දකුණු ආසියානු රටකින් ලබාගත් ඩොලර් මිලියන දෙකක මුදලක්‌ උතුරේ දමිල ජනතාවගේ ඡන්දය 2005 ජනාධිපතිවරණය වෙනුවෙන් පාවිච්චි කිරීම වැළැක්‌වීම සඳහා ලබාදුන් බවට මාගේ සේවාදායක විසින් එම මහතා හට දැනුම් දුන් බවට ඔහු විසින් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රකාශය ඉතාම නිර්ලඡ්ජිත, අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශයක්‌ බවත්, ඕනෑකමින්ම මාගේ සේවාදායකගේ ප්‍රතිරූපය විනාශ කිරීම උදෙසා කරනු ලැබූ ඉතාම පහත් ක්‍රියාවක්‌ බවත් මාගේ සේවාදායක ප්‍රකාශ කර සිටී.

තවද එකී ප්‍රකාශය මඟින් 2005 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේදී මේ රටේ බහුතර ජනතාව දුන් ඓතිහාසික තීන්දුව මෙන්ම සේනාධිනායකවරයා ලෙස 2005 වර්ෂයේ ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයා මේ රටේ වසර 30 ක්‌ පැවැති යුද්ධය නිමාකොට සියලු ජාතීන්ට බියෙන් හා සැකෙන් තොරව අප රට තුළ ජීවත්වීමට ලබාදුන් අනභිභවනීය නිදහස සම්බන්ධව ජනතාව තුළ ඇති ගෞරවය අවතක්‌සේරු කිරීමට උත්සාහ දරා ඇති බව ප්‍රකාශ කර සිටී.

මාගේ සේවාදායක විසින් කිසිදු විටෙක එවැනි දේශෙද්‍රෝහී ක්‍රියාවක්‌ සිදුකොට නොමැති බවත් ත්‍රස්‌තවාදී එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ එකී හිටපු ත්‍රස්‌තවාදී නායක ප්‍රභාකරන් සමඟ කිසිදු ගනුදෙනුවක්‌ සිදුකොට නොමැති බවත් අවධාරණය කර සිටී.