Sat. Aug 24th, 2024
Spread the News

හිටපු ජනපති ආර්යාවට එරෙහිව
වාස්‌ගේ බිරිඳගෙන් පැමිණිල්ලක්‌

සිරිමන්ත රත්නසේකර

රත්‍රං කිලෝ සියයක්‌ වංචනික ලෙස අලෙවි කළේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලී පෙරේරා මහත්මිය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට එරෙහිව ඊයේ (26 වැනිදා) අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත.

සිය සැමියා කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය මහා භාණ්‌ඩාගාරය සතු රත්‍රං කිලෝ 100 ක්‌ වංචනික ලෙස අලෙවි කර ඇති බවට රාජ්‍ය බුද්ධි අංශය සැමියා වෙත වාර්තා කර තිබූ බව ශ්‍යාමලී පෙරේරා මහත්මිය සඳහන් කළාය.

එම තොරතුරු මත සිය සැමියා පරීක්‍ෂණ කටයුතු සිදු කර කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බවත් ජනාධිපති ආර්යාව එම වංචාවට හවුල්වී යෑයි කියන නිසා එම පරීක්‍ෂණ කටයුතු නවතා දමන ලෙස දැඩි බලපෑම් එල්ල වූ බවත් ඇය කියා සිටියාය.

මේ සිද්ධියත් සමඟ තම සැමියා වන වාස්‌ ගුණවර්ධන මහතා සහ පුත්‍රයා අසත්‍ය චෝදනා එල්ල කර අත්අඩංගුවට ගැනීමට එවකට රජය කටයුතු කළ බවත් කියා සිටි ශ්‍යාමලී පෙරේරා මහත්මිය මේ සිදුවීම් නිසා තම පවුලට ජීවිත තර්ජන එල්ලවූ බවත් මාධ්‍ය හමුවේ කියා සිsටියාය.

දැනට සේවයේ නියුතු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු සහ විද්යුත් මාධ්‍ය ආයතනයක සභාපතිවරයකු තම නිවසට පැමිණ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය මීට සම්බන්ධ නොමැති බව ප්‍රකාශ කරන මෙන් සිය සැමියාට බලකර සිටි බවත් ඇය අනාවරණය කළාය.

තර්ජන පැවැතීම හේතුවෙන් මීට පෙර මේ සිද්ධිය හෙළි නොකළ බව පැවැසූ ශ්‍යාමලී පෙරේරා මහත්මිය මේ පිළිබඳව වහා පරීක්‍ෂණයක්‌ සිදුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

One thought on “හිටපු ජනපති ආර්යාවට එරෙහිව වාස්‌ගේ බිරිඳගෙන් පැමිණිල්ලක්‌”

Comments are closed.