Mon. Jul 8th, 2024
Spread the News

* අභියාචනාධිකරණය හලාවත මහාධිකරණයට නියෝග කරයි

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ විත්තිකරුවකු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇපමත මුදාහැරීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට නියෝග කළේය.

හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතිඥවරුන් විසින් ගොනුකර තිබූ ප‍්‍රතිශෝධන අයැදුම්පතක් සලකා බැලූ මේනකා විජේසුන්දර හා නීල් ඉද්දවෙල යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය. සිය අධිකරණයේ නියෝගය වහාම හලාවත මහාධිකරණය වෙත යොමු කිරීමටද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

පුත්තලම මහාධිකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට අධිචෝදනා ගොනුකර ඇති බැවින් විත්තිකරු ඇප මත මුදාහැරීමට බලයක් නොමැති බව පෙන්වා දෙමින් මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය විසින් දෙවරක්ම ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර තිබිණි. රුපියල් ලක්‍ෂයක මුදල් හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙසටත් එහිදී මහාධිකරණයට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය මහාධිකරණයට භාරදෙන ලෙසත් සෑම සති දෙකකට වරක් ඉරිදා දිනවල පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය හෝ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙසටත් විත්තිකාර නීතිඥවරයාට කොන්දේසියක් පනවනු ලැබීය.

ඒ. ජේ. ඒ. අබේනායක Divaina