Mon. Jul 8th, 2024
Spread the News

හැකිනම් බ්‍රිතාන්‍ය සහ ඇමරිකා
සෙබළුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරනු

– රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම්
කොමසාරිස්‌ට අභියෝග කරයි


ගෝලීය ශ්‍රී ලංකා සංසදය මෙහෙයවූ රැස්‌වීම අමතමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර කරුණු දැක්‌වූ අයුරු සහ එම සංසදයේ සම සභාපතිවරුන් වූ වසන්ත කීර්තිරත්න සහ චන්ද්‍රකුමාර ඊට සම්බන්ධ වෙමින්.

35 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ සිදුවූ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාකාරකම් රැසකි. පසුගිය ජුනි 06 දා ආරම්භ වූ මෙම සමුළුව අමතා ඊළාම්වාදී සංවිධාන 10 කට අධික සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කරද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට අපේ තානාපති කාර්යාල බලධාරීන් ක්‍රියාකළේ නැත. මෙය පුදුමයක්‌ නොවේ. කොටි ඩයස්‌පෝරාව අපට එරෙහිව ද්‍රවිඩ වැසියන් 10,0000 කට අධික පිරිසක්‌ මරා තවත් 14,6000 ක්‌ පමණ පිරිසක්‌ අතුරුදන් කර ඇති බවට චෝදනා එල්ල කරන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ සිට 22 ක පිරිසක්‌ ජාත්‍යන්තර කම්කරු සමුළුව වෙත පැමිණ සිටියහ. මානව හිමිකම් කවුන්සිලය පිහිටි එක්‌සත් ජාතීන්ගේ ගොඩනැඟිල්ලේම ශාලාවක පැවැති එම කම්කරු සමුළුවට පැමිණි ශ්‍රී ලාංකික පිරිස ඔබමොබ සැරිසරන අයුරු අපට දැකගත හැකිවිය. කොටි ක්‍රියාකාරීන් සිනාසෙමින් ශ්‍රී ලංකාවට සාවද්‍ය චෝදනා එල්ල කරන රැස්‌වීම් මානව හිමිකම් කවුන්සිලයේ පවත්වන අවස්‌ථාවේ කම්කරු සමුළුවට පැමිණි පිරිස ඒ ගැන උනන්දුවක්‌ දැක්‌වූයේ නැත.


කොටි ඩයස්‌පෝරා
ක්‍රියාකාරිකයකු වූ පෝල් නිවුමන්

පිරිමි හෙදි සමන් රත්නප්‍රිය සහ ජාතික සේවක සංගමයේ ප්‍රධානියකු වූ සුනිල් නමැත්තාද ජිනීවා නුවරට පැමිණ සිටියහ.

එහෙත් ඒ වන විට කොටි ඩයස්‌පෝරාවට එරෙහිව ගෝලීය ශ්‍රී ලංකා සංසදය මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්‌වීමක්‌ පවත්වමින් වීඩියෝ චිත්‍රපටයක්‌ද පෙන්නුම් කිරීමට ක්‍රියාකරනු ලැබීය.

මෙම රැස්‌වීමේදී කියන්නේ කුමක්‌ද යෑයි සටහන් කරලීමට ජිනීවා තානාපති කාර්යාලයේ සිට පරිගණකයක්‌ සහිත කාන්තාවක්‌ පැමිණ සිටියේය. ඊට අමතරව වත්මන් රජය විසින් දේශපාලන පත්වීමක්‌ ලබාදුන් වතු ක්‌ෂේත්‍රයේ නිලධාරියකු ද පැමිණ නිරීක්‍ෂණයේ යෙදී සිටියේය.

ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් ජිනීවා යෝජනාවට එරෙහිව සහ කොටි ඩයස්‌පෝරාවට එරෙහිව පැවැත්වූ එම රැස්‌වීමට කිසිදු සහයක්‌ දුන්නේ නැත. එම රැස්‌වීමට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් පැමිණ සිටියහ. එසේම තමා සම්බන්ධයෙන් මෙම රැස්‌වීමේ කියන්නේ කුමක්‌ද යන්න විමර්ශන කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ද නිලධාරියකු ඒවා තිබුණි. 2009 වසරේදී වන්නි මෙහෙයුම ජය ගැනීමෙන් පසු කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලය අරක්‌ගනිද්දී අපේ රාජ්‍ය යාන්ත්‍රණයට ඊට එරෙහිව ක්‍රියාකිරීමට නොහැකි විය. විදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධව සිටි දේශපාලන බලවතෙක්‌ කොටි ඩයස්‌පෝරාවට එරෙහිව ක්‍රියාකිරීම පසෙක දමා ඇමරිකානු මහජන සබඳතා ආයතනවලට ඩොලර් මිලියන ගණනක්‌ ගෙවා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නංවාලීමට ගත් උත්සාහය මුළුමණින්ම අසාර්ථක විය.

එහි ප්‍රතිඵලය මානව හිමිකම් කවුන්සිලය තුළ දක්‌නට ලැබේ.

මෙය පුදුමයක්‌ නොවේ. මෑතකදී ජිනීවා නුවරට පැමිණ මෙරට දේශපාලකයෙක්‌ ජිනීවාහි නතරව සිටියේ ඉහළම මිලක්‌ ගෙවිය යුතු කෙම්ප්‍රික්‌ස්‌කි හෝටලයේයි.

එහෙත් කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් වතුර බෝතලය අතැතිව මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළහ.

මේ තත්ත්වය මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන දූෂිත ක්‍රියා ගැන පැමිණිලි කිරීමට රජයේ යාන්ත්‍රණය ක්‍රියාකළේ නැත.

එසේම මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන ඒකාබද්ධ විපක්‍ෂයේ බලධාරීන් පවා නිරීක්‍ෂණය කළේ නැත. කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් වූ පෝල් නියුමන් සහ මරියදාස්‌ බොස්‌කෝ ඇතුළු ඊළාම්වාදීන් නැගූ අභූත චෝදනාවලට රියර් අද්මිරාල් සරත් වීරසේකර, ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ චන්ද්‍රකුමාර, එම සංසදයේ නියෝජිත ජනිත් විමල, සුරිච් නුවර පදිංචිකරුවකු වූ බ්‍රයන් බස්‌නායක, ඉතාලියේ නියෝජිත වසන්ත කීර්තිරත්න වැනි දේශප්‍රේමීන් නිසි ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියාකළහ.

එසේ වුවත් ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවෙක්‌ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ බලධාරීන් අමතා සිදුවන්නේ කුමක්‌ද සහ දියත් කළ මෙහෙයුම ගැන ඇසුවේ නැත.

මේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ දේශප්‍රේමීහු කොටි ඩයස්‌පෝරාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළ සාමාන්‍ය රැස්‌වීමක්‌ පැවැත්වීමට වැයකළේ ඔවුන් දුක්‌ මහන්සියෙන් උපයාගත් මුදල්ය.

අපි මේ දේ කළේ මව්බිම රැකගැනීමටයි යෑයි ඔවුහු “දිවයින”ට කියා සිටියහ.

එහෙත් ශ්‍රී ලංකාවේ වැල්ලවත්තේ සහ යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ ද ජිනීවා පැමිණ සිටියහ.

ඔවුන් සංහිඳියාවට එරෙහිව ක්‍රියාකරන අයුරු අපේ තානාපති කාර්යාල බලධාරීන් විමර්ශනය කළේ නැත.

වසර අටකට පසු විදේශගත දේශප්‍රේමීන් පිරිසක්‌ විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ පැවැත්වූ සමාන්තර රැස්‌වීම අතිශයින්ම සාර්ථක විය.

මේ සමාන්තර රැස්‌වීමේදී ගැටුමක්‌ ඇතිවනු ඇති බවට සැකකළ මානව හිමිකම් කවුන්සිලයේ බලධාරීන් ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු පවා එවා තිබුණි. මේ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට අභියෝගයක්‌ කරමින් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය සෙබළුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නැයි කියා සිටියේය.

ජිනීවා මානව හිමිකම් සමුළුව දෙවැනි වරටත් අමතමින් ඔහු ඒ බව පවසනු ලැබීය.

* කීර්ති වර්ණකුලසූරිය