Mon. Jul 8th, 2024
Spread the News

එක්තරා විද්‍යුත් නාළිකාවක් විසින් විකාශනය කළ සංවාද වැඩසටහනකට සහභාගීවූ ආරාධිත විද්වතුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා ප්‍රබුද්ධ සංගීතවේදී නවරත්න ගමගේත් ඉදිරිපත් කළ අදහස් අනුව එම දෙපළ වෙසෙසින් කැපී පෙනුනා.

හඳුන්නෙත්ති කිව් එක් අදහසක් තදින් මා සිත් ගත්තා.

එනම්, ජීවිතය කියන්නෙ ආර්ථිකය පමණක් නොවෙයි කියන දේ.

රැඩිකල් වාමාංශික දේශපාලනයේ මන්ත්‍රීවරයෙක් ලෙසත් සේවය කළ පුද්ගලයෙක් හැටියට මාක්ස්වාදී න්‍යායටම බර නොවී නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට ඇති අයිතිය ඔහු උපරිමයෙන් ම ප්‍රයෝජනය ගත් බවක් පෙණුනා.

හදුන්නෙත්ති ගේ අදහස යල් පැනපු මාක්ස් වාදයෙන් මොළ තෙම්පරාදු කරගත් ජවිපේ වර්තමාන නායකත්වයට දුන් අතුල් පහරක්යැයි මට සිතෙනවා.
ආර්ථිකය පමණක් බදාගත් මිනිස්සුන්ට ධනවාදයද මාක්ස්වාදය ද කියා වෙනසක් නැහැ.

එම දෙපාර්ශවයටම උපරිමයෙන්ම කළ හැක්කේ ජීවිතයට ද්‍රව්‍යවාදී පදනමක් එකතු කිරීමයි. මෙම දේශපාලන න්‍යායන් දෙකම උත්සහ කරන්නේ ශ්‍රමයේ නාමයෙන් හෝ ප්‍රාග්ධනයේ නාමයෙන් මිනිසෙකුගේ වටිනාකම මැනීමටයි.

සමහරවිට හඳුන්නෙත්තිගේ මෙම අදහස, එනම් ජීවිතයේ අරමුණු ආර්ථික සාධක මතම ගොඩනංවනවා වෙනුවට කලාව සාහිත්‍යය, නිර්මාණශීලී බව, මනුෂ්‍යත්වය හා සහජීවනය වැනි සාධක ගණනාවක් ඔස්සේ වර්ධනය විය යුතු බව විශ්ව ව්‍යාප්ත ප්‍රකාශන යක් ලෙස සටහන් විය යුතුයි.

ජවිපෙ හොඳම බුද්ධිමතා ලෙස ජනතාව පිළිගන්නා හඳුන්නෙත්ති අවාසනාවකට මෙන් පක්ෂයේ නායකත්වය පුන පුනා කියන ජාතිවාදී කතාව මෙම සාකච්ඡාවේදීත් මතු කරන්නට යෙදුනා.

ශ්‍රී ලංකාවේ වාසය කරන්නේ විවිධ ජාතීන් නොව විවිධ ජන කොටස් බව අප විසින් වසර 50ක් තිස්සේ ලංකාවාසීන්ට පහදා දුන්නත්, උගතාගේ පටන් නූගතා දක්වා කතා කරන්නේ ජාතිවාදය පරාජය කළ යුතු බවයි.

ඒකත් හරියට නැති මහසෝනෙක් එළවීමට ගමේ කට්ටඩියට කියා තොවිලයක් කර ගන්නවා වැනි වැඩක්.

මෙන්න මේ සන්දර්භය තුළ අප මිත්‍ර නවරත්න ගමගේ පෙන්වා දීමට උත්සාහ කළ ගෝත්‍රවාදී ආකල්ප පිළිබඳව සමස්ත සමාජයම විවෘත සංවාදයකට එළඹිය යුතුයි.

සමාජයක ගෝත්‍රවාදී ආකල්ප රජ කරන තාක්, හිතන පතන බොහෝ දේ පටු වීම වැළැක්විය නොහැකියි. බොහෝ විට මෙම ආකල්පමය දිළිඳු බව නිසාම උගතුන් යැයි කියාගන්නා ආචාර්ය මහාචාර්ය වරු පවා ජාතිවාදී ගැටුම් පිලිබඳ මිත්‍යා කතා පතුරුවා හරිමින් සිටිනවා.

ඔවුන් ගේ උගත්කම් වලට මෙම සාවද්‍ය ප්‍රචාරයේ ඇති බරපතළකම නොවැටහීම ඇත්තෙන්ම අවාසනාවක්.

මෙම ප්‍රශ්නයේ දී පමණක් නොව දේශපාලනය හා ආගම අතර ඇති අනිසි සම්බන්ධතාවය මෙන්ම ව්සංවාදය පිළිබඳ වත් ගෝත්‍රීය ආකල්ප මත හිඳිමින්
සාකච්ඡා කිරීම තුළින් ප්‍රශ්නය තව තවත් අවුල් කිරීම මෙන්ම එය තිරසාර විසඳුමක් කරා යන ගමනටද විශාල බාධාවක් වී ඇත.

– තෙවැනි ඇස –

22.05.2023