Mon. Jul 8th, 2024
Spread the News

p1 2 2 1මියන්මාරයේ (බුරුමය) බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ.

එරට නායිකා අවුන් සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් ඊයේ අලූයම් කාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රටේ බලය එරට හමුදාව මගින් තහවුරු කර ගෙන තිබේ.

තමන් රටේ බලය තහවුරු කරගෙන ඇති බව එරට හමුදා රූපවාහිනිය මගින් නිවේදනය කර ඇති අතර රට තුළ වසරක කාලයක් පුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කර ඇත.

අනපේක්ෂිත අන්දමින් මෙසේ මියන්මාරය හමුදා පාලනයට නතු වී තිබෙන්නේ විවාදාත්මක මැතිවරණයක් සමග රජය සහ හමුදාව අතර හටගත් ඝට්ටනයන්ගේ ප‍්‍රතිඵලයක් මතය. එරට ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවුන් සාන් සූ කී උත්සහ කිරීම හමුදාවේ බලවත් කෝපයට හේතු විය.

හමුදාව විසින් සිදු කළ නිවේදනයකට අනුව, මියන්මාර හමුදාපති මින් අන්ග් හ්ලෙයින්ග් ගේ අණදීම යටතේ රට ඉදිරියට පාලනය වේ.

මියන්මාරයේ අගනුවර වන නේපිටෝ සහ යැන්ගොන් ප‍්‍රධාන නගරය තුළ හමුදා භට කාණ්ඩ ගමන් කරන අයුරු මේ වන විට දැක ගත හැකි බව විදෙස් මාධ්‍ය කියයි. එසේම එරට රජයේ රූපවාහිනි ඊයේ සියලූ වැඩසටහන් අත්හිටුවා ඇති අතර එයට හමුදා සෙබළුන් ආරක්ෂාව ස`දහා යොදා තිබිණි

ඉකුත් නොවැම්බර් මස පැවැත්වූ මියන්මාර මැතිවරණයෙන් අවුන් සාන් සුකී ප‍්‍රමුඛ නැෂනල් ලීග් ෆෝ ඩිමොක‍්‍රසි පක්ෂය ජයග‍්‍රහණය කර තිබිණි. එහෙත් මියන්මාර හමුදාව පැවසුවේ මෙම මැතිවරණ ජයග‍්‍රහණය වංචනික අන්දමින් ලබා ගන්නා ලද්දක් බවයි.

මියන්මාරයේ පාලන බලය බොහෝ කලක් පැවතියේ හමුදාව යටතේය. එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඇතිවීම ආරම්භ වූයේ 2011 වර්ෂයේය. 1962 සිට 2011 දක්වාම මියන්මාරය පැවතියේ හමුදා පාලනයට නතුවය.

හමුදා කුමන්ත‍්‍රණය හෙළා දකිමින් එක්සත් ජනපදය, ඔස්ටේ‍්‍රලියාව ඇතුළු රාජ්‍යයන් කිහිපයක් නිවේදන නිකුත් කර තිබේ. කෙසේ නමුත් හමුදාව එරට බලය ඇල්ලීම පිටුපස චීනයේ පූර්ණ ආශිර්වාදය ඇති බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.

ඉකුත් නොවැම්බර් 08 වැනිදා පැවැත්වූ මැතිවරණයෙන් සුකී මහත්මියගේ පක්ෂය 83% ක ජයග‍්‍රහණයක් ලබා ගත් අතර, එය මියන්මාරය 2011 වර්ෂයේදී හමුදා පාලනයෙන් ඉවත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට පත් වූ දින සිට මේ දක්වා පැවති දෙවන මැතිවරණයයි.

චතුර පමුණුව, ඒමන්ති මාරඹේ