Fri. Jul 5th, 2024
Spread the News

සිවුරට මුවාවුණු දූෂිතයන්ට දඬුවම් දෙන්න
සංඝ සභාවට බැහැ ඒ සඳහා නීති අවශ්‍යයි
– මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි

බද්දේගම – සරත් දහනායක

බුද්ධාගම නිදහස්‌ ආගමකි. ඒක කාටවත් නීති පනවලා බලෙන් පාලනය කිරීමට බැහැ. බුදුන් වහන්සේ බුද්ධ ධර්මය දේශනා කර තිබෙන්නේ නිදහස්‌ ආගමක්‌ ලෙසය. උන්වහන්සේ ඒකට කිසිම නීතියක්‌ පනවලා නැත. කියන්නේ හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙන බවත්, අධර්මයෙන් නරක දේ කළොත් නරක ප්‍රතිඵල විඳින්නට සිදුවන බවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් එම අදහස්‌ දක්‌වා සිටියේ පසුගියදා 17 දා බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රවීණ ලේඛක දිනමිණ පුවත්පතේ හිටපු කර්තෘ බන්දුපාල ගුරුගේ මහතාට උපහාර පිදීමේ උත්සවයේ මුලසුන හොබවමින් විශේෂ අනුශාසනාවක්‌ සිදු කරමින්ය.

මෙම බන්දුපාල ගුරුගේ ලේඛකයාට උපහාර පිදීමේ උළෙල දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම හා යෞවන කටයුතු අමාත්‍ය යූ. ජී. ඩී. ආරියතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයතිස්‌ස නානායක්‌කාර මහතා ඇතුළු වඳුරඹ ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලදී.

එම උත්සව අවස්‌ථාවට දකුණු පළාත් අමාත්‍ය අධිනීතිඥ යූ. ජී. ඩී. ආරියතිලක, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, ප්‍රවීණ ලේඛක මහාචාර්ය කේ. ඩී. පරණවිතාන, බද්දේගම සහකාර ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමා කාරියවසම් යන මහත්ම මහත්මීන් විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්‌වූ අතර, ප්‍රදේශයේ ලේඛකයන්, කලාකරුවන් විද්වතුන් ප්‍රදේශවාසීන් එක්‌ව සිටියහ. එහිදී බන්දුපාල ගුරුගේ උපහාර උළෙල අමතා වැඩිදුරටත් මුලසුනේ අනුශාසනාව සිදුකරමින්, අදහස්‌ දැක්‌වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ

බුද්ධාගම නීතියකින් පත් කළ ආගමක්‌ නොවන අතර. භික්‍ෂූන් වහන්සේලාට ඒ තුළ විනය නීතියක්‌ තිබෙනවා. ඒවා ආරක්‍ෂා කරන්න හාමුදුරුවන්ට නීති දාන්න ආණ්‌ඩුවට බැහැ. ආණ්‌ඩුවට කළ හැක්‌කේ හාමුදුරුවරුන්ගේ ඒ නීති ක්‍රියාත්මක කරවීමට නෛතික බලයක්‌ ලබාදීම පමණයි. සිවුරට මුවාවෙලා තක්‌කඩින්, හොරුන් දූෂිතයන් ඉන්න පුළුවන්. එහෙම වැරදි කරන අයට දඬුවම් ලබා දෙන්න සංඝ සභාවට බැහැ. ඒ සඳහා විධිමත් නීති පද්ධතියක්‌ මහා සංඝරත්නයේ අනුදැනුම මත අවශ්‍ය වනවා.

පැවිදි හිමිවරුන්ට නම් උපහාර අවස්‌ථා දෙකකදී ගිහි පිංවතුන් විසින් සිදුකරනවා. ඒ තමයි නායක පදවියක්‌ ලැබුණු විට පෙරහැර පවත්වා උපහාර දක්‌වනවා වගේම අපවත් වුණාම දවස්‌ ගණන් උපහාර දක්‌වලා පෙරහැර පවත්වා අවසන් කටයුතු කරනවා. ඒත් ගිහි පිංවතුන් තම ජීවිත කාලයේදී රටට සමාජයට ඉටුකරන ලද සේවාවන්ට ඔවුන්ට ජීවිත කාලයේදී උපහාර දැක්‌වීමක්‌ සිදුකරන්නේ නැත. ඒ මනුස්‌සය මැරුණට පස්‌සේ එයා ගැන පොත් ලිපි ලේඛන දහස්‌ ගණන් ලිව්වට වැඩක්‌ නැහැ. මොකද ජීවිත කාලය තූළදී ඔහු කරන ලද යුග මෙහෙවර කුමක්‌ද කියලා වර්තමාන සමාජය දන්නේ නැත. සමාජය යහමගට ගෙන එන සමාජයට කීර්තියක්‌ එක්‌කරන පුද්ගලයන් ඇගයීමට උපහාරයට ලක්‌කළ යුත්තේ ඒ අය ජීවත්ව සිටින කාලය තුළදීයි.

මෙම උපහාර උළෙලේ විශේෂ ආරාධිත දෙසුම සිදුකරමින් අදහස්‌ දැක්‌වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා – සමාජ සාරධර්ම සංස්‌කෘතික උරුමය, මානව ගුණධර්ම, සමාජ පුරුෂාර්ථ ගිලිහී යමින් පවතින යුගයක, ගනේගම සරණංකර හිමි ආචාර්ය ගුණදාස අමරසේකර වැනි ජ්‍යෙෂ්ඨ පඬිවරුන් විද්වතුන් ලේඛකයන් රටට බිහිකළ ඓතිහාසික බද්දේගම ගිං ගඟ මිටියාවතින් රටට බිහිවූ ශ්‍රේෂ්ඨ වියතෙකි බන්දුපාල ගුරුගේ සූරීන්. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් තම ලේඛන කලාවෙන් වසර 20 ක්‌ පමණ රටට ඉටුකරන ලද යුග මෙහෙවර වර්තමානයේ බන්දුපාල ගුරුගේ මහතා අතින් ඉටුවීම සුවිශේෂී යුග මෙහෙවරකි.

ජාතික නිදහසේ පානදුරාවාදයට පෙර බද්දේගම වාදය බිහිවුණා. පානදුරාවාදය බිහිනොවන්න ජාතික සාහිත්‍ය නිදහස්‌ අරගලය බිහිවන්නේ නැහැ.

පුවත්පත් කලාවේදියාට ලේඛකයාට සමාජමය වගකීමක්‌ තිබෙනවා. 19 වන සියවසේ පහළවූ නායකයන් ඒ සමාජ වගකීම ඉටුකළා.

මෙම උපහාර උළෙලේ පිළිගැනීමේ කතාව දකුණු පළාත් අමාත්‍ය යූ. ජී. ඩී. ආරියතිලක මහතා විසින් සිදු කළ අතර, ආරියතිලක මහතා විසින් බන්දුපාල ගුරුගේ මහතා වෙත සමරු තිළිණයක්‌ ද ප්‍රදානය කරන ලදී.

දකුණු පළාත් සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ නර්තනයන්ගෙන් උළෙල වඩාත් අලංකාරවත් විය.