Wed. Jul 3rd, 2024
Spread the News

Picture

සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අයුරු. ඡුායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ ඒ. ජේ. ඒ. අබේනායක

Courtesy Divaina:

සිල් රෙදි නඩුවේ අධිචෝදනාවලින් හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් චන්ද්‍රකුමාර් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වන විතාන පැල්පිට කෝරාලාගේ අනූෂ පැල්පිට යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (19දා* නියෝග කළේය.

කුමුදුනි වික‍්‍රමසිංහ හා දේවිකා අබේරත්න යන විනිසුරු ම`ඩුල්ල එම නියෝගය කළහ.

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන පෙත්සම්කරුවන් දෙදෙනා කටයුතු කර ඇත්තේ නීත්‍යනුකූලව ඔවුන් වෙත පැවරී තිබූ බලතල අනුව බැවින් ඔවුන්ට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා පත‍්‍රයේ සඳහන් පරිදි එකී මුදල් සාවi සාපරාධි පරිහරණය කිරීමක් සිදුකර නොමැති බවට ඉදිරිපත් වූ සාක්‍ෂි දැඩිව අධ්‍යයනය කිරීමේදී තම අධිකරණයට පෙනී යන්නේ යැයි පැවසූ සිය විනිසුරු ම`ඩුල්ල මහාධිකරණයේ තීන්දුව බලරහිත කිරීමටද නියෝග කළහ.

2014 ඔක්තෝබර් 30 වැනිදා සහ 2015 ජනවාරි 05 වැනිදා අතර කාලය තුළදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතේ ප‍්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ගිණුමට පේ‍්‍රෂණය කිරීමෙන් වංක ලෙස සාවi පරිහරණය කිරීම හා ඒ සඳහා අනුබලදීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් එම දෙදෙනාට එරෙහිව 2015 අගෝස්තු 28 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

දෙපාර්ශ්වයේ සාක්‍ෂි කැඳවා පැවැත්වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ පූර්වගාමි මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 2017.09.07 වැනිදා නිකුත් කළ තීන්දුව මගින් එකී අධිචෝදනා තුනටම වරදකරුවන් කරනු ලැබූ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට බරපතළ වැඩ සහිත වසර තුන බැගින් වූ සිර දඬුවම්ද, රුපියල් ලක්‍ෂ 20 බැගින් වූ දඩද ඊට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට රුපියල් ලක්‍ෂ 500 බැගින් වූ වන්දි ගෙවීමටද නියම කර තිබිණි.

මහාධිකරණය නියම කළ එකී දඬුවම් නියෝගයට එරෙහිව ගොනු කර තිබූ අභියාචනා පෙත්සම්වලට යටත්ව ඔවුන් දෙදෙනා ඉන් තෙදිනකට පසුව ඇප මත මුදාහැරීමට මහාධිකරණය විසින් නියම කොට තිබිණි.

එකී අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වූ අභියාචනාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කළ ඊයේ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුද ඔවුන්ගේ සමීප ඥාතීන් කිහිපදෙනෙක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

විනිසුරු කුමුදුනි වික‍්‍රමසිංහ හා විනිසුරු දේවිකා අබේරත්න යන මහත්මීන් එම අභියාචනා සම්බන්ධයෙන් වෙන් වෙන්ව තීන්දු ප‍්‍රකාශ දෙකක් නිකුත් කර තිබූ අතර එම තීන්දු ප‍්‍රකාශ කි‍්‍රයාත්මක කිරීම සඳහා වහාම මහාධිකරණය වෙත යොමු කරනා ලෙසද එහිදී අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට විනිසුරු ම`ඩුල්ල විසින් නියෝග කරනු ලැබිණි.

ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න, නීතිඥ පායිසා මාකාර්, ශාන්ත ජයවර්ධන, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා පෙනී සිටි අතර අනූෂ පැල්පිට මහතා වෙනුවෙන් නීතිඥ ජනක රණතුංග මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

————————————-
සිල් රෙදි නඩුවෙන් ලලිත් – අනූෂ නිදොස්‌ කොට නිදහස්‌…. සිල් රෙදි නඩුවෙන් නිදහස ලැබීම සමස්‌ත රාජ්‍ය සේවකයන්ම ලැබූ ජයග්‍රහණයක්‌

ඒ. ජේ. ඒ. අබේනායක

අභියාචනාධිකරණය විසින් සිල් රෙදි නඩුවේ සියලූම අධිචෝදනාවලින් තමන් දෙදෙනාව නිදොස් කොට නිදහස් කිරීම පෞද්ගලිකව ලැබූ ජයග‍්‍රහණයක් නොව සමස්ත රාජ්‍ය සේවකයන්ම ලැබූ ජයග‍්‍රහණයක් ලෙස තමා දකින්නේ යැයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඊයේ (19 දා* උපරිමාධිකරණ සංකීර්ණ භූමියේදී ප‍්‍රකාශ කළේය.

අභියාචනාධිකරණයේ එකී තීන්දුව සම්බන්ධයෙන් තමන් දැඩිව සංතෝෂයට පත්වන බවද හෙතෙම පැවැසීය. තමන් දෙදෙනාට මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කොට රුපියල් මිලියන 52 ක් වැනි විශාල දඩ හා වන්දි මුදලක් නියම කිරීමෙන් පසුව බොහෝ රාජ්‍ය සේවකයන් බියට පත්වී තීන්දු තීරණ ගැනීමට පසුගාමී වූ බව පැවසූ ලලිත් වීරතුංග මහතා රාජ්‍ය නිලධාරින් රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට තීරණ ගැනීමේදී මදක් චක‍්‍රලේඛ හා නීති පොතෙන් බැහැරව ගොස් කටයුතු කළ යුතු බව කීය.

තමන්ට නොව රටේ මහජනතාවට වාසි සහගත වන තීන්දු ගැනීමට කිසිදු රාජ්‍ය නිලධාරියකු බිය නොවිය යුතු බව පැවසූ ලලිත් වීරතුංග මහතා රටේ හා ජනතාවගේ උන්නතිය වෙනුවෙන් නිසි තීන්දු තීරණ ගැනීමේදී රාජ්‍ය නිලධාරින්ට පෞද්ගලිකව යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බව තමා අත්දැකීමෙන්ම දන්නා බවද කියා සිටියේය.

අභියාචනාධිකරණය හමුවේ තමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා මෙන්ම මහාධිකණය හමුවේ එම නඩු කටයුත්ත ආරම්භ වූ මුල් අවධියේ සිටම තමාව මානසිකව දිරිමත් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතාව ද හෙතෙම කෘතවේදීව සිහිපත් කළේය.

එකී නඩුව නිසා 2015 වසරේ සිට නිසි තීරණ ගැනීමට රාජ්‍ය සේවකයන් බියට පත්වූ බවත් රට දියුණුව කරා ගෙන යෑමට හා මහජන හිතකාමී අයුරින් කටයුතු කිරීමට රජය ගන්නා ප‍්‍රතිපත්තිමය තීරණ ඉතා වැදගත් බවත් අනූෂ පැල්පිට මහතා එහිදී පැවසීය.