Mon. Jul 8th, 2024
Spread the News

සිරිකොත ඉදිරිපිට යුද පිටියක්‌
35 දෙනෙක්‌ තුවාල ලබති

අකිත පෙරේරා

ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (24 දා) සිරිකොත එජාප මූලස්‌ථානය ඉදිරිපිට ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයට එජාප පාක්‌ෂිකයින්ද විරෝධය පළ කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ ඇතිවී 35 දෙනෙක්‌ තුවාල ලැබූහ.

සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

“සෝල්හයිම්ට බැරිවූ දේ රනිල් – මෛත්‍රී ඉටු කරයි, යුද අධිකරණ පරීක්‍ෂණයට ඉඩදීම බලු පාවාදීමක්‌” වැනි විවිධ සටන් පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයෝ පිරිසක්‌ විපක්‍ෂයට එරෙහිව ඊයේ සිරිකොත ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ද්‍රෝහී තිස්‌ස රට විකුණයි, මෛත්‍රී සමග නිදහසේ පෙරට ආදී සටන් පාඨ කියමින් සිරිකොතෙහි සිටි පිරිසක්‌ද ආණ්‌ඩුවට සහ පැමිණි පිරිසට එරෙහිව විරෝධය පළ කළහ.

ඒ සමඟ දෙපාර්ශ්වය අතර බහින් බස්‌වීම් සිදු වී එය ගැටුමක්‌ දක්‌වා දුර දිග ගිය අතර දෙපාර්ශ්වයම ගල්, පොලු, බෝතල්, කලුතෙල් ආදිය රැගෙන සටනට අවතීර්ණ වීම නිසා සිරිකොත ඉදිරිපිට යුද පිටියක සිරි ගත්තේය.

ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් විරෝධතා ව්‍යාපාරයට පැමිණෙන විට සිරිකොත තුළ එජාපයට අනුබද්ධ එක්‌සත් අධ්‍යාපන සේවක සංගමයේ සමුළුවක්‌ද පැවැත්වෙමින් තිබිණි. එයට විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වී සිටියේය.

සිද්ධිය මැඬ පැවැත්වීම සඳහා උසස්‌ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද ඇතුළුව පොලිසියේ කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක බවුසර් ද කැඳවා තිබුණි. අවශ්‍ය වුවහොත් කඳුළු ගෑස්‌ ප්‍රහාරයකටද සෙබළු සූදානම් වී සිටියහ.

කෙසේ වෙතත් සිරිකොත පාර්ශ්වයෙන් එල්ලවූ දැඩි ප්‍රහාරය හමුවේ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් ඒ ආසන්නයේ වූ පටු මාර්ගයකට කොටුවු අතර එබැවින් සිරිකොත සිටි පිරිස ඔවුනට වටකොට පහර දෙන අයුරු දක්‌නට ලැබුණි.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාද සිය සාමාජිකයින් සමඟ එහි කොටුවූ අතර ඔහු අත්අඩංගුවට ගන්නැයි සිරිකොත පාර්ශ්වයේ පිරිස්‌ කෑ ගැසූහ.

අනතුරුව පොලිස්‌ ආරක්‍ෂාව සහ හූ හඬ මධ්‍යයේ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් එම ස්‌ථානයෙන් ඉවත්ව ගිය අතර ගැටුම හේතුවෙන් සිරිකොත අවට වාහන ගමනා ගමනයද ඇනහිට දැඩි මාර්ග තදබදයක්‌ද ඇති විය.

සිරිකොත තුළ පිහිටි බුද්ධ ප්‍රතිමාව ඇතුළු ඒ අවට තිබූ වාහන, ගොඩනැඟිලි වලටද සුළු අලාභහානි සිදුවිය. පොලිස්‌ නිලධාරීන් මෙන්ම සිද්ධිය වාර්තා කිරීමට ගොස්‌ සිටි මාධ්‍යවේදීන්ට, කලු තෙල් ප්‍රහාර එල්ල වී තිබුණු අයුරු දැකගත හැකි විය.

බස්‌නාහිර පළාත් සභා එජාප මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ෆයිරුස්‌ හාජියාර්, එක්‌සත් භික්‍ෂූ පෙරමුණේ බෝපිටියේ ධම්මිස්‌සර, තිනියාවල පාලිත යන හිමිවරුන් සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කළහ. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද එම ස්‌ථානයට පැමිණියේය.