Mon. Jul 8th, 2024
Spread the News

සාකච්ඡා බිඳවැටේ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට ශ්‍රීලනිප විරුද්ධයි

පියසේන දිසානායක

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ජාතික සභාව නියෝජනය කරන පක්‍ෂ අතර ඊයේ (26 දා) එළැඹි සාකච්ඡා අසාර්ථක වී අතරමග නවතා දමා ඇත.

නව ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකඟත්වය පළ නොකීරීම නිසා මෙම සාකච්ඡා අසාර්ථක වී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ දහවල් පැවති මෙම සාකච්ඡාවට ශ්‍රීලනිප නියෝජනය කරමින් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, මහාචාර්ය ජී. එල්. පීරිස්‌ යන මහත්වරුන්ද, එජාපය නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක රාවුµa හකීම් සහ ඇමැති රිෂාඩ් බදියුදීන්, ද්‍රවිඩ ජාතික සංධානයේ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු මීට සහභාගි වී සිටියහ.

රැස්‌වීමට සහභාගි වීමට දින කීපයකට පෙර යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයේ දළ කෙටුම්පත සියලු පක්‍ෂවලට ලබාදී තිබෙන අතර එහි සඳහන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රීලනිප සාකච්ඡාව ආරම්භයේ සිටම විරෝධත්වය ප්‍රකාශ කර ඇත.

මෙහිදී ඔවුන් කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය එකවර අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක්‌ යටතේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවයි. එහිදී සෙසු පක්‍ෂ නායකයන් පෙන්වා දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දේශපාලන පක්‍ෂ පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි දින සියයේ වැඩසටහන යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවය. මැතිවරණ ක්‍රමය අහෝසි කරන බව හෝ නව මැතිවරණ ක්‍රමයක්‌ ඔස්‌සේ මැතිවරණයක්‌ පවත්වන බවට දින සියය වැඩසටහන තුළ පොරොන්දුවක්‌ දී නැති බවද ඔවුන් පෙන්වා දී ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ධුර කාලය තුළ එහි බලතල ප්‍රමාණයක්‌ තබාගෙන ඔහුගෙන් පසු පත්වන ජනාධිපතිවරයාගේ සිට විධායක බලය සම්පූර්ණයෙන්ම අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක්‌ ඔස්‌සේ ඡන්දයක්‌ පැවැත්විය යුතු බව මෙහිදී ඔවුහු අවධාරණය කර ඇත.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එකඟවිය නොහැකි නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද, එහිදී ද ඒ පිළිබඳ එකඟතාවකට නොපැමිණියොත් එය ජනතාව හමුවට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.