Mon. Jul 8th, 2024
Spread the News

ස්‌වභාවධර්මයේ කෝපය

රටක විනාශයටත්, රටක දියුණුවටත් බලපාන ප්‍රධාන සාධකය වන්නේ දේශපාලකයන්ගේ හැසිරීම්ය. චක්‌කවත්ති සිහනාද සූත්‍රයට අනුව අතීතයේ විසූ දල්හනේමි නම් සක්‌විති රජු සිල්වත්ව ගුණවත්ව දැහැමින් සෙමින් රට පාලනය කළ පාලකයෙක්‌ විය. ඔහුට චක්‍රරත්නය, හස්‌තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්‌ත්‍රි රත්නය, ගෘහපති රත්නය හා පරිනායක රත්නය පහළ වූයේ ඒ අනුවය. ඔහු දඬුවමෙන් හා අවියෙන් තොරව ලෝකය පාලනය කරනු ලැබීය. ඔහු බලකාමයෙන් මත්වුණු උන්මත්තකයකු නොවීය. චක්‍රරත්නය තිබූ තැනින් ඉවතට ගොස්‌ තිබූ විගස රාජ්‍යය සිය වැඩිමහල් පුතුට පවරා තවුස්‌ දම් රැකීමට වනාගත වූයේ ඒ අනුවය. දල්හනේමි රජතුමා දස සක්‌විති වත් නිසි ලෙස රකින ලද නමුදු ඔහුගේ වැඩිමහල් පුතණුවන් රාජ්‍යයට පත්වීමෙන් පසු එම දස වැදැරුම් වත්පිළිවෙත් නොපිරීම නිසා ලෝකය පුරා බලය පතුරවන චක්‍රරත්නය ඔහුගෙන් අතුරුදන් වූ අතර එය පරිහානියේ පළමු පියවර විය. ඒ බව දත් ඔහු රාජ සෘෂිවරයාගේ උපදෙස්‌ පරිදි දස සක්‌විති වත් පිරීම නිසා නැවත චක්‍රරත්නය පහළ විය. දේශපාලකයන්ගේ හැසිරීම් රටේ ලෝකයේ භාග්‍යයට මෙන්ම අභාග්‍යයට ද බලපාන බව මේ සිද්ධියෙන් පෙනේ. අද පාලකයන් මෙම තත්ත්වය තේරුම් නොගැනීම රටේත්, ජාතියේත්, ආගමේත් අභාග්‍යයට හා අවසානයට හේතු වී තිබේ.

සක්‌විති රජවරුන්ට දැහැමින් සෙමින් රට පාලනය කිරීමට හැකි වූයේත්, සෙසු රටවල පාලකයන් පංචශීල ප්‍රතිපදාවෙහි පිහිටුවීමට හැකිවූයේත්, දස සක්‌විතිවත් පිරීමෙන් චක්‍රරත්නය පහළ කර ගැනීමට හැකි වූ නිසාය. දල්හනේමි රජුගේ සිට හත්වැනි සක්‌විති රජු දක්‌වා පාලකයෝ සක්‌විතිවත් නිසි ලෙස පිරීම නිසා ඔවුන්ගේ පාලන කාලයන් තුළ ලෝකයම සෞභාග්‍යයෙන් පිරී ඉතිරී ගියේය. එහෙත්, සක්‌විති රජු දස සක්‌විති වත් ගැන තැකීමක්‌ නොකොට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට පෙළඹීම නිසා රටේ ලෝකයේ අභාග්‍යය, අවාසනාව පරිහානිය ආරම්භ විය. අද දක්‌වා එම අභාග්‍යසම්පන්න තත්ත්වය සිදුවෙමින් පවතී. පාලකයන් සක්‌විතිවත් පුරමින් පාලන කටයුතු මෙහෙයවූ යුගයේ මිනිසුන්ගේ පරමායුෂ වර්ෂ අසූදහසක්‌ වූ අතර පාලක පන්තිය මෙන්ම සාමාන්‍ය ජනතාව ද අදට වඩා බෙහෙවින් වර්ණවත් ප්‍රසන්න පුද්ගලයෝ වූහ. කිසිදු රටක යුද කලකෝලාහල සිදු නොවීය. සොරකම, බොරුව, වංචාව, දූෂණය ආදී දුර්ගුණ ද කිසිවක්‌ එකල නොවීය. ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ ආදිය පිළිබඳ ඡායාමාත්‍රයක්‌ පවා අසන්නට දකින්නට පෙනෙන්නට නොවීය. සියල්ලෝම සාමයෙන් සමගියෙන් සමාදානයෙන් සහයෝගයෙන් ජීවත් වූහ. එහෙත්, පාලකයා සක්‌විතිවත් අතහැරීමත් සමඟ ඒ සියල්ල කණපිට පෙරළිනි. පරමායුෂ හතළිස්‌ දහස, විසිදහස, දසදහස, පන්දහස ආදී වශයෙන් පහළ වැටෙන්නට විය. ශරීර වර්ණය ද ක්‍රමයෙන් පිරිහෙන්නට විය. ආහාරපානවල විවිධ විෂමතා විපරිතතා ඇතිවන්නට විය. කාලගුණය, දේශගුණය බෙහෙවින් විකෘති තත්ත්වයට පත්වන්නට විය. ඒ සියල්ලට බලපෑවේ පාලකයන්ගේ අශීලාචාර අසංවර පාපිෂ්ඨ හැසිරීම්ය. වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ ඒ දූෂිත තත්ත්වය දෙගුණ තෙගුණ වී පවතින බව ඉතා පැහැදිලිව පෙනේ.

ලෝකයේ සෙසු රටවල තත්ත්වය කෙසේ වෙතත්, බෞද්ධ රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ පාලකයන් අවම වශයෙන් පංචශීල ප්‍රතිපත්තිය හෝ රැක්‌කේ නම් දැනට සිදුව ඇති සහ සිදුවන විනාශය වළක්‌වා ගැනීමට ඉඩ තිබුණි. වර්තමානය වන විට පංචශීලය රැකීම වෙනුවට පංච දුශ්චරිතය රැකීමට රටේ පාලකයන් හුරු පුරුදු වී සිටිති. ප්‍රාණඝාත කෙළවරක්‌ නැතිව සිදුවන්නේත්, සොරකම ඉහවහා ගොස්‌ ඇත්තේත්, කාමමිථ්‍යාචාරයට සතර අතින් දොරටු විවර කොට මිනිසුන් කාම උම්මත්තකයන් කර ඇත්තේත්, බොරුවට, වංචාවට දූෂණයට ඔටුනු පළඳවා බොරුව රජකරවා ඇත්තේත්, මත් වතුරේ සහ මත් කුඩුවල අණසක රටේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පතුරුවා ඇත්තේත් ඒ අනුවය. කන්ටේනර් ගණනින් මත්ද්‍රව්‍ය ගෙන්වන රටක පංචශීල ප්‍රතිපත්තිය ගැන අමුතුවෙන් කිවයුතු දෙයක්‌ නැත. කොටින්ම කියතොත්, පාලකයන්ගේ පංචශීල ප්‍රතිපත්තිය ගණිකාවන්ගේ පතිවෘතතාව රැකීම වැනි තත්ත්වයට පත්ව ඇත. පන්සිල් කැඩීමට ජනතාව පොළඹවා තිබේ. දස අකුසල් කිරීමට ජනතාව යොමුකොට තිබේ. එපමණක්‌ නොව, චක්‌කවත්ති සීහනාද සූත්‍රය අනුව රටක තිබිය හැකි අතිශය භයංකර හා පරිහානිකර තත්ත්වයන් වන අධර්ම රාගය, විෂම ලෝභය හා මිථ්‍යා ධර්මය ද රට තුළ ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව සදාචාර පරිහානියේ අන්ත පාතාලයටම වැටී තිබේ.

සදාචාරයක්‌ ගුණධර්ම සංවර්ධනයක්‌ නැති රටකට භෞතික සංවර්ධනයෙන් පලක්‌ නැත. සදාචාරයක්‌ ගුණධර්ම සංවර්ධනයක්‌ නැති රටක භෞතික සංවර්ධනයක්‌ ඇති කිරීමෙන් සිදුවන්නේ සදාචාර පරිහානිය තව තවත් ශීඝ්‍රවීම හා උග්‍ර වීමය. අධිවේගී මාර්ග ආදී නොයෙකුත් භෞතික සංවර්ධනයන් අවශ්‍ය කරන්නේ මානසික දියුණුවක්‌ ඇති ආගමික ශික්‍ෂණයක්‌ ලබා ඇති සමාජයකටය. පංචශීලයවත් නැති රටක, සමාජයක භෞතික සංවර්ධනය ඇතිකිරීම යනු පනින රිළවුන්ට ඉනිමං බැඳීම වැනි වැඩකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වත්මන් පාලකයෝ රූපවාහිනිය, ගුවන් විදුලිය, ජංගම දුරකථන, සුඛෝපභෝගී යානවාහන, අධිවේගී මාර්ග වැනි දේ පාලනයකින් තොරව අයාලේ භාවිතයට යෙදවීම හා යොදාගැනීම මගින් දුරාචාරය, දූෂණය, අසහනය, අශීලාචාරකම හිස සිට දෙපතුළ ළඟටම කැඳවාගෙන තිබේ. එකී සියලු සැපපහසුකම් සමාජ යහපත පිණිස පාවිච්චි කළ හැක්‌කේ ආගමික ශික්‍ෂණයකින් හා ස්‌වයංවිනයකින් යුක්‌ත සමාජයකට පමණි. නමට පමණක්‌ ආගම දහම අදහන, ආගම දහමේ උගන්වන පිළිවෙත් කිසිවක්‌ නොරකින, මළදාන සහ මළ බණට පමණක්‌ ආගම දහම සීමා කරගෙන තිබෙන, අනුසෝතගාමීව දුවන්නන් වාලේ අවිඤ්Æණිකව දුවන රටකට, සමාජයකට භෞතික සංවර්ධනයෙන් විනාශයක්‌ මිස යහපතක්‌ සිදුනොවේ. එහෙත්, ඒ බව වත්මන් පාලකයෝ යන්තමින් හෝ තේරුම් ගෙන නැත. එබැවින් ඔවුන් සමාජය ඇදගෙන යන්නේ තව තවත් පරිහානියටමය. ඔවුන් තවදුරටත් කරගෙන යන භෞතික සංවර්ධන කටයුතු දෙස බලන විට එය ඉතා මැනවින් පැහැදිලි වේ. ඒ අනුව දැනට රට තුළ ඇති වී තිබෙන සදාචාරයේ අන්තපරිහානියට සහ ස්‌වභාවධර්මයේ දැඩි කෝපයට මුළුමනින්ම වගකියුත්තේ රට පාලනය කරන පාලකයෝය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම පංචශීල ප්‍රතිපත්තිය රකින බවට හෝ දස සක්‌විතිවත් පුරණ බවට හෝ දසරාජ ධර්ම ඔස්‌සේ රට පාලනය කරන බවට හෝ සතර සංග්‍රහ වස්‌තු අනුගමනය කරන බවට හෝ සතර අගතියෙන් තොරව රට පාලනය කරන බවට හෝ සප්ත අපරිහානීය ධර්මයන් පිළිපදින බවට ප්‍රතිඥ දී නැත. මෙයින් පෙනෙන්නේ ප්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනාම බෞද්ධ දේශපාලන මූලධර්ම ගැන කිසිදු තැකීමක්‌ නොකොට ඔවුන්ගේ මනස්‌කාන්ත දේශපාලන ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටින බවයි. ඒ අනුව කවුරු බලයට පත්වුවද රට තුළ සදාචාරයක්‌, සෞභාග්‍යයක්‌ ඇති නොවන බවත් ඉදිරියටත් විවිධ පරිහානිකර තත්ත්වයන්ට රට හා සමාජය මුහුණපාන බවත් ඒ අනුව ස්‌වභාවධර්මයේ නොයෙකුත් ආකාරයේ කෙනෙහිලිකම්වලට, පීඩාවන්ට, දඬුවම්වලට රටට හා ජනතාවට මුහුණ පෑමට සිදුවන බවත් ඉතා පැහැදිලිය.

එබැවින් ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේම සිටින නායකයන් සහ අනුගාමිකයන් තම ප්‍රතිපත්ති ප්‍රකාශනවල මොනවා සඳහන් කළද රට සමෘද්ධිය කරා ගෙනයැමට නම්, සදාචාර පරිහානිය වළක්‌වා ගැනීමට නම් අවම වශයෙන් පංචශීල ප්‍රතිපත්තිය රට තුළ ස්‌ථාපිත කිරීමට මුලින්ම ක්‍රියාත්මක විය යුතුය. දසරාජ ධර්ම හා දස සක්‌විතිවත් කෙරෙහි අවධානය යොමුකළ යුතුය. සතර සංග්‍රහ වස්‌තුව අනුගමනය කිරීමත්, සතර අගතියෙන් තොරවීමත් ක්‍රියාවට නැංවිය යුතු අතර සප්ත අපරිහානීය ධර්ම කෙරෙහි ද අවධානය යෙදිය යුතුය. දැනට රට දුරාචාරයට පත්ව ඇත්තේත්, රටේ අස්‌ථාවර තත්ත්වයක්‌ ගොඩනැගී ඇත්තේත්, දරුවන් මවුපියන් මරණ තත්ත්වයට හා මවුපියන් දරුවන් මරණ තත්ත්වයට පවා පත්ව ඇත්තේත්, පාලක පක්‍ෂය එකී කිසිදු බෞද්ධ දේශපාලන මූලධර්මයක්‌ සැලකිල්ලට නොගෙන අත්තනෝමතික ලෙස රට පාලනය කරන නිසාය. එමෙන්ම නිතර නිතර අප රට නොයෙකුත් ස්‌වභාවික ව්‍යසනයන්ට ගොදුරු වෙමින් පවත්නේත්, පාලකයන් අධාර්මික වී ඇති නිසාත්, අත්තනෝමතික පාලනයක්‌ රට තුළ ක්‍රියාත්මක කරන නිසාත්ය. එබැවින්, දැන්වත් සියලු දේශපාලන නායකයන්ගේත්, විශේෂයෙන් පාලක පක්‍ෂයේත්, සෙසු අනුගාමිකයන්ගේත්, විශේෂ අවධානය බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම කෙරෙහි යොමුවිය යුතුය. එසේ නොවුවහොත් ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කළ ද මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළ ද රටට ජාතියට ආගමට අත්වන්නේත් පරාජයක්‌aමය. එබැවින්, ඒ බව සිහියේ තබාගෙන ඉදිරි මැතිවරණයට මුහුණදීම සඳහා ඡන්දය පාවිච්චි කිරීම රටවැසි සියලු ජනතාවගේම යුතුකම හා වගකීම වේ.

ආචාර්ය පරගොඩ විමලවංස හිමි