Fri. Jul 5th, 2024
Spread the News

ශ්‍රීලනිපයෙ අයම තමයි අද පොදු පෙරමුණ ලෙස පෙනී සිටිමින් පාර්ලිමේන්තුවේ බලය තමන්ට දිගටම තබාගන්න උත්සාහ කරන්නේ.

අම්බලමක් කියන්නේ දුර ගමන් යන අය තාවකාලිකව ලැගුම් ගන්නා තැනක් මිස හැම දින ම පදිංචි වෙන්න පුළුවන් තැනක් නෙවෙයි. (කෝට්ටේ හන්දියේ තියෙන අම්බලම පසුකර යන විට එය හිඟන්නන්ගේ නවාතැනක් වී තිබෙන අයුරු ඕනෑම කෙනෙකුට දැකගත හැකියි).
සමහර දේශපාලන පක්ෂත් හිඟන්නන් ලගින අම්බලම් තත්වයට පත් වී තිබෙන බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතුයි.

මගේ දෙමව්පියන් ඇතුළු මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනපු අය. මගේ සමීපතම යාළුවන්වී සිටි මහින්ද ගෝඨාභය හා බැසිල් ඉතිහාසයට එකතු වන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ ද්‍රෝහීන් ලෙස.

දූෂිත දක්ෂිණාංශික එජාපයත් සමග එකතු වී ඔවුන් එසේ කිරීමට පෙළඹුන එක් ප්‍රධාන හේතුවක් වන්නේ දූෂණයෙන් තොර බුද්ධිමත් දක්ෂ පිරිසක් අනාගතයේ දී බලයට පැමිණියහොත් ඒ පිරිස තමන්ව දේශපාලන වශයෙන් නිරුවත් කරනවා පමණක් නොව සොරා ගත් මුදල් ද ආපසු දී හිරගෙවල්වල කූරු ගණින්නටත් ඔවුන්ට සිදුවන බව දන්නා නිසයි.

සාම්ප්‍රදායික පක්ෂවල දූෂිතයින් නිරුවත් කිරීමට කියා වේදිකා දෙවනත් කරන “රතු”
සොහොයුරන් ද වේදිකා වලට ගොඩ වන්නේ නිරුවතින් බව ඔවුන්ට නොදැනීමත් ඔවුන් කෙරේ අති මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි ජනතාවත් ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගෙන් ඈත් වීම ට හේතුවක් වී ඇති බවත් රහසක් නොවෙයි.

රටට දැවැන්ත මෙහෙයක් ඉටුකළ බණ්ඩාරනායක මහතාගේ සහ මැතිණියගේ බාල දුව වන චන්ද්‍රිකා කුමාරතුංගත් පක්ෂයට කළේ ඒ දෙයමයි.

මෛත්‍රිපාල, දයාසිරි, දුමින්ද ජාතික වීරයන් සේ “අපි තමයි නියම ශ්‍රීලංකා” කියමින් එය විනාශ කරමින් සිටිති. හෙට අනිද්දා වෙනවිට කුළල් කා ගැනීම තව තවත් උග්‍ර වෙනවා. ශ්‍රීලංනිපයත් එදාට වලකජ්ජ ගහනවා.
තනිවම නොවෙයි පොහොට්ටුවෙත් බෙල්ල මිරිකාගෙනම.

සොබාදහමට පටහැනි කිසිම දෙයකට පවතින්න බැහැ.

වෙල්ගම ල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

පැරණි වාමාංශය වළලපු තැන් හොයා ගන්නත් බැහැ. කාර්යාලත් බෝඩ් ළෑලිවලට පමණක් සීමා වෙළා.

මේ තත්ත්වය අප හඳුන්වන්නේ “මස්ත බාල්දු” දේශපාලනය කියායි.

නවීන පන්නයේ අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන පුද්ගලයා එම ස්ථානයේ තිබුණු පරණ ගොඩනැඟිලිවල අත්තිවාරම් පවා උදුරා දමනවා.

ගතානුගතික දේශපාලනය හරසුන් පක්ෂ ක්‍රමය තුළ ක්‍රමක්‍රමයෙන් දිය වෙමින් පවතිනවා.

මිනී නොදිරණ අන්දමට සකස් කර
( Mummy ) අනාගත පරම්පරාවට ඒ පුද්ගලයින් ඉටුකළ මෙහෙවර පිළිබඳව දැනගැනීම සඳහා විවිධ සංස්කෘතීන් විසින් එම දේහයන් ආරක්ෂා කරගෙන තබාගෙන සිටිනවා.

අප යෝජනා කරනවා රට මෙන්ම ජනතාවගේ හෙටද විනාශ කළ
“දේශපාළුවන්” ගේ ශරීර ද බෙහෙත් ගැල්වූ මමි ලෙස සකස් කර අනාගත පරම්පරාවට දැක ගැනීම සඳහා කටුගෙයි තැන්පත් කළ යුතුයි කියා.

යුග අවසන් කළ යුතු නැහැ. පැවතීමේ නොහැකියාව නිසා ඒවාත් කාලය සමඟම වැළලී යනවා.

– තෙවෙනි ඇස-
12.05.2023