Fri. Jul 5th, 2024
Spread the News

දේශපාලන ව්‍යාපාරයක් යනුවෙන් ඔබ අදහස් කළේ කුමක්ද කියා මා දන්නේ නැහැ.

ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන සාධක දෙකක් තිබෙනවා.

  1. දේශපාලන පක්ෂ
  2. පක්ෂ හා සම්බන්ධ වෘත්තීය සමිති

ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය තුළ බෙදීම් වශයෙන් මිනිසුන් විසින් හඳුනාගෙන ඇති සිංහල දෙමළ මුස්ලිම් වැනි ජනවාර්ගික කොටස් හෝ කුල වශයෙන් ඇති බෙදීම නොවෙයි සැබෑ බෙදීම.

ශ්‍රී ලංකාවේ මිනිසුන් බෙදී සිටින්නේ පක්ෂ ක්‍රමයට අනුවයි.

උදාහරණයක් ලෙස:
එජාපය ගතහොත්, එහි කෝටිපති ව්‍යාපාරිකයින් මෙන්ම එම කෝටිපතියන්ට බැල මෙහෙවරකම් කරන දිළිඳන්ද සිටිනවා.
එම පක්ෂය තුළ, හැම ජනවාර්ගික කොටසක් මෙන්ම හැම කුලයකටම හැම ආගමකටම අයත් මිනිසුන්ද පොදි ගැසී සිටිනවා.

නිර්ධන පන්ති සංවිධානයක් යැයි කියන ජනතාව විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බල වේගය තුළත් කෝටිපතියන් මෙන්ම හිඟන්නන්ද සිටිනවා. හැම කුලයක් මෙන්ම ජනවර්ගයක්ද ඒ තුළ නියෝජනය වෙනවා.

අනෙක් සියලුම පක්ෂ තුළත් ඇත්තේ මේ කියන සංකීර්ණ ව්‍යුහයමයි.

සත්‍යය මේ නම්, ශ්‍රී ලංකාව තුළ කිසිම දිනක කොමියුනිස්ට් වාදී විප්ලවයක් සිදු නොවන්නේ “සාදුකින් පෙළෙනවුන්” වැටෙන්න යන දුබල කෝටිපතියන්ට කණවැල සපයන නිසයි.

ඊනියා නිදහස ලැබූ දා සිට අද වෙනුත් රට කළ එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයේ මහා ධන කුවේරයින් වාරු නැති වීමක් වැනි අවස්ථාවලට මුහුණ දුන් විට, මැයි දින පෙළපාලි පවා පවත්වා සහයෝගය ලබාදුන්නේ “උගුර තෙමා ගන්න යමක් ලැබුණොත්” ඇතැයි යන්න තහවුරු කරමින්.

අලුත් මුහුණුවරකින් අලුත් බලවේගයක් ලෙස පෙන්වමින් ජවිපෙ හා ජා ජන බලවේගය නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් ලෙසින් තමන්ගේ කන්‍යාභාවය සහ සුජාත බව රැකුණු බව
පෑගුණු මිරිකුණු ජනතාවට ඒත්තු ගැන්වීමට තවම පහළට නොදැම්මේ යට ඇඳුම පමණයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සන්දර්භය තුළ කාන්තාවකගේ කන්‍යාභාවය විවාහ දිනය දක්වා රැකුණාද නැද්ද යන්න ප්‍රශ්නයක් වූයේ අතීතයේදී පමණයි. අද කන්‍යාභාවය එක කුඩා සැත්කමකින් නැවත ලබා දෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ දිනකට තරුණියන් දහසක් ගබ්සා කරගනු ලබනවා.

සංස්කෘතික උරුමය තුළින් පැහැදිලිව නිර්වචනය වී තිබුණු අපේ ජාතිකත්වය යනු
හැදිච්චකම පිළිබඳ සංකේතයක්.

“වි” යන්න සඟවා “ජාතික” බව මවා පෙන්වීමට සෑම පක්ෂයක්ම දුබල උත්සාහයක් ගනිමින් සිටිති.

අද අපේ සංස්කෘතියත්, භාෂාවත් ආගමත් එදිනෙදා දිවිපැවැත්මත් 75%කින් පමණ විජාතිකයි.

මීළඟ මහ මැතිවරණයට කලින්, ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් වහාම කළ යුතු ක්‍රියාව වන්නේ පක්ෂ අනන්‍යතාවය ඔස්සේ ඡන්දය ඉල්ලන අපේක්ෂකයින්ට නව රට හදන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බලය නැති නමුත් මොළේ ඇති වචනයේ පරිසමාප්තියෙන්ම අවංක ස්වාධීන පිරිසකට ආණ්ඩු බලය ලබාදීමයි.

එය කරන්න තවම ප්‍රමාද නැහැ.
වසර 40කටත් වඩා කාලයක් තිස්සේ අප විසින් දිගින් දිගටම උත්සාහ කරනු ලැබුවේ මේ කියන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමටයි.

දූෂණය නැති කරන්න යමෙක් අවංකවම කතා කරන්නේ නම්, ඔහු හෝ ඇය වහාම තමන් දැනට සිටිනා පක්ෂවලින් ඉවත් විය යුතුයි.

පක්ෂ ලේබලය, පක්ෂ පාට, පක්ෂ අනන්‍යතාවය අළුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමිය යුතුයි.

සර්පයින් පවා තමන්ගේ හැව නිතිපතා ඉවත් කරද්දී
අමන මිනිසුන් හැළුණු හැව නැවත ඇඟ දවටා ගනිමින් වයිරම් වල ඇති රටා අලංකාරය මාර්කට් කරමින් සිටිති.

මෙතෙක් පැවති හැම මැතිවරණයකදීම ප්‍රධාන පක්ෂ තමන්ගේ ඡන්දදායකයින්ට විකුණුවේ දිරා යන මෙම හැවයි.

මේ අවස්ථාවේදී අපට කීමට ඇත්තේ ” එව බලව “(එහි පස්සිකෝ)
කියා පමණයි.
තීරණය ඔබ අතයි.

(මහාචාර්ය එඩ්ව‍ර්ඩ් එම් පෙරේරා)

21.03.2024