Mon. Jul 8th, 2024
Spread the News
Picture by – vikalpa.org

මේ රටේ තිබෙන දේශපාලන, ආර්ථික, සමාජීය සියලු අර්බුද වලට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට පාලනය නොකිරීම මිස විධායක ජනාධිපති ධූරය නොවන බව කිව යුතුය. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට හෝ විධායකය නාමික ලෙසට හෝ බලතල අඩු කිරීමට කථා කරන සියලු දෙනා හෘද සාක්ෂියට එකගව සිතා බැලිය යුත්තේ ස්වකීය දේශපාලන දිවිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධායකයන්ට අනුකූලව ක්‍රියාවේ යොදවා ඇතිද යන්නය; තම තමන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර ඉලක්ක කර ගෙන ගන්නා තීන්දු-තීරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමපාත නොවීමෙන් මේ රට මහත් ව්‍යසනයට ඇද දමා ඇත; ජනතාව අන්ත අසරණ තත්වයට පත් කර ඇත. විසදුමක් නොපෙනෙන ප්‍රශ්න වැල් දිනෙන් දින පැන නගී, රටේ බහුතර ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැබුරු දැනමැතියන් නොවෙත්. පක්ෂ දේශපාලනයට නතුවී සිටින ජනතාව පක්ෂ නායකයන් කියන දේ විශ්වාස කරත්. පක්ෂ නායක කාරකාදීන් බලය කේන්ද්‍ර ගතව දේශපාලනය ප්‍රධාන ලෙස හසුරුවනවා මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දේශපාලන කෙළේයැ’යි පිළිගත නොහැක. පක්ෂ දේශපාලනය වටා ගොනුවී සිටින සාමාජික ජනතාව ක්‍රියා කරනුයේ පක්ෂ නායකයාගේ මතය අනුව පක්ෂයට බලය ලබා දීම සදහා වෙත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උචිත ද අනුචි ද යන්න නොසයත්. අවසානයේ ව්‍යවස්ථා විරෝධී කටයුතු තුලින් රට ප්‍රපාතයේය. සරල උදාහරණ දෙකක්; මහ බැංකු බැදුම්කර වංචාව සිදුවූයේ විධායක ජනාධිපති ධුරය නිසා නොව ඊට පහල අත්තනෝමතික දේශපාලකයන්ගේ ව්‍යවස්ථා අනනුකූල ක්‍රියා හේතුවෙනි. අනෙක් කරුණ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධීව 2018 නොවැම්බර් 09 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම; ඒ පිළිබඳව 2018.12.13 ශේෂ්ඨාධිකරණ තීන්දුවෙන් එය පැහැදිලිය. විධායක ජනාධිපති ධූරය එයට වැරදි යැයි ගැනීම මුලාවකි. විධායකයට බලතල හිමිය. එය සිදුවූයේ විධායකය දරණ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකී කරුණ පිළිබඳව අනවබෝධයෙන් ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීමෙනි. එසේ නම් මෙහි ඇත්තේ ද විධායයේ වරද නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව ක්‍රියා කිරීමය. විධායක ජනාධිපති ධූරයේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා සමතුලිත කිරීමට ශේෂ්ඨාධිකරණය ඇත.බලයට කෑදර පටු දේශපාලන බල ලෝභීහු යම් දිනක විධායක ජනාධිපති ධුරය අහෝසි කරත් ද මේ රටට මහත් විනාශයක් ගෙන දෙනවා ඒකාන්තය.