Fri. Jul 5th, 2024
Spread the News

විදේශීය විශාරදයන් අධිකරණ
වැඩ මෙහෙයවීම නීතියට පටහැනියි


ලසිත දුමින්ද

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක්‌ හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්‌ථාවක විදේශීය නීති විශාරදයන්ගේ සේවය ලබානොගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.විදේශීය නීති විශාරදයන් අධිකරණමය කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්‌ථාවට ද පටහැනි බව ද මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (21 වැනිදා) පැවති හමුවකදී මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

හිටපු රජය සමයේ අතුරුදන්වූවන්ගේ කොමිසමට උපදෙස්‌ ලබාදීමට ආරාධනා කිරීම ගැන නොගුචි මහතා මහින්ද රාජපක්‍ෂ මහතාට සිය ස්‌තූතිය පුද කර ඇත.

එම කොමිසමේ සභාපති වූ මැක්‌ස්‌වල් පරණගම මහතා තමාට ඉදිරිපත් කළ ලිත ඉල්ලීමක්‌ පරිදි එම කොමිසමට ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුද නීතිය) හා ජාතත්‍යන්තර මානව අයිතීන් නීතිය පිළිබඳව අදහස්‌ දැක්‌වීමට පමණක්‌ ජාත්‍යන්තර නීති විශාරදයන් කිහිප දෙනෙකු ගෙන්වා ගත් බව ද, අදහස්‌ දැක්‌වීමෙන් ඔබ්බට ගිය කාර්යයක්‌ ඔවුන්ට නොතිබුණු බවද එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

විදේශීය නීති විශාරදයන් මෙරට අධිකරණමය කටයුතු මෙහෙයවීම සමස්‌ත ජනතාවම විරුද්ධ බව ද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක්‌ සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක්‌ තිබීම බවට නොගුචි මහතා ද එහිදී එකඟ වී තිබේ.