Mon. Jul 8th, 2024
Spread the News

විජයග්‍රහණය සුරකින්නට නැඟී සිටිමු

source link:

අප පරාජයට පත් කළ ත්‍රස්තවාදයට නැවත පණ පොවන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව තිබේ. මෙය දැවැන්ත කැප කිරීමකින් හා ඉවසීමකින් ත්‍රස්තවාදය පරදවා ජනතාව ලද ජයග්‍රහණය උදුරා ගැනීමකි. ඒ විජයග්‍රහණය ආරක්ෂා කැර ගැනීමට වැඩ කරන ජනතාව දැඩි වගකීමකින් නැඟී සිටින බව සහතික බව ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවසයි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වෙයි. දකුණු ආසියාතික රටවල් අතර අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සම්මුතින් ඉතා ඉහළ මට්ටමෙන් ක්‍රියාත්මක කළ රටක් වශයෙන් අප ලබා තිබෙන පිළිගැනීම ජාත්‍යන්තර කම්කරු දිනයේ දී සිහිපත් කරන්නේ ආඩම්බරයෙන් යුතුව ය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු වැඩ කරන ජනතාවට අයිතීන් ලබාදීම අප වේගවත් කොට ඇත්තෙමු.

වැඩ කරන ජනතාවගේ අභිප්‍රායයන් හඳුනාගත් රජයක් ලෙස පෞද්ගලික අංශයට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට හැකිවීම සමස්ත ජනතාව ලද තවත් දැවැන්ත ජයග්‍රහණයකි. එමගින් සේවක අර්ථසාධක අරමුදලට දායක වන ජනතාවට වඩා යහපත් අනාගතයක් උරුම වෙයි. අනතුරුවලට ගොදුරු වන සේවක සේවිකාවන්ට ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගෙන ඇත. එසේ ම කම්කරු වන්දි ආඥා පනත ද කාලානුරූපව සංශෝධනය කර තිබේ. ළමා ශ්‍රමය ද මුළුමනින් ම ඉවත් කිරීමට අවශ්‍ය නීති රීති ද සකස් කොට අවසන් ය. කාන්තා අයිතිවාසිකම් හා වරප්‍රසාද සම්බන්ධයෙන් අණපනත් සවිමත් කිරීම පිළිබඳව රජය දැඩි අවධානයක් යොමු කර ඇත.

තවද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ශ්‍රමය ඵලදායි කිරීමට අවශ්‍ය පරිපාලන හා කළමනාකරණ ක්‍රමවේද සම්පාදනය කිරීමට පියවර ගෙන තිබේ. සංවර්ධිත රටවල වැඩ කරන ජනතාව අත් විඳින ප්‍රතිලාභ මෙරට ජනතාවට ද ලබාදීම අප රජයේ අපේක්ෂාවය.

මේ රටේ වැඩ කරන ජනතාව හමුවේ වූ බලවත්ම අභියෝගය වූයේ ත්‍රස්තවාදය යි. ත්‍රස්තවාදය පරාජය කිරීමට අප පියවර තබද්දී රටේ වැඩ කරන ජනතාවගෙන් ලැබුණු සහයෝගය පෙන්නුම් කළේ ඒ පිළිබඳ අපේ රටේ කම්කරු ජනතාව තුළ වූ සවිඥානක බව ය. ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් අපේ රටේ වැඩ කරන ජනතාව පෙන්නුම් කළ කැපකිරීම, ඉවසීම ලෝක කම්කරු ජනතාවට ම මහත් වූ ගෞරවයකි. අතීතයේ සිට වෘත්තීය සමිති හා එහි නායකයින්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් ලබාගත් සේවක අයිතිවාසිකම් හා වෘත්තීය සමිති ජයග්‍රහණ රැකදීමට, උපන් බිමට දා බිඳුවක්, රට සුරකින ජන පවුරක්’ යන තේමාව සමඟින් මෙවර සියලු වැඩ කරන ජනතාව එක්වනු ඇතැයි මම අපේක්ෂා කරමි