Mon. Jul 8th, 2024
Spread the News

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය “අදොa වාතයකට” තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.

පෙරේදා (16 දා) වවුනියාව ඊටම්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබේ. පසුගිය වසරේ ද මෙම පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ හිටපු උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා මහතා ද ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබිණි. රටක අධ්‍යාපන බලධාරීන් මෙලෙස හැසිරීම අපි කෙසේවත් අනුමත නොකරමු. මන්ද මේ අධ්‍යාපන ඇමැතිවරුන්ගේ චින්තනය රටක අනාගත පැවැත්මට ඉතා හානිදායක බැවිනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් ජාතික කොඩිය පිළිනොගැනීමෙන් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිනොගැනීම ය. රටක රාජ්‍යය පිළිනොගන්නා අධ්‍යාපන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද? හරි නම් සිදුවිය යුතුව තිබුණේ සිද්ධිය වූ දිනට පසු දිනම උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් අදාළ ඇමැතිවරයා කැඳවා විනය පරීක්‌ෂණයක්‌ සිදුකර අධ්‍යාපන ඇමැති තනතුරෙන් ඔහු ඉවත් කිරීමය. එලෙස විනය පියවර ගැනීමට ව්‍යවස්‌ථාපිත බලයක්‌ නොමැති නම් කළ යුත්තේ ආණ්‌ඩුව විසින් සකස්‌ කරගෙන යන නව ව්‍යවස්‌ථා කෙටුම්පතට එම ව්‍යවස්‌ථාපිත බලතල ඇතුළු කිරීමය. මෙම ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීමෙන් සිදුවන්නේ නුදුරේදීම උතුරු පළාතම රටේ ජාතික කොඩිය ප්‍රතික්‌ෂේප කිරීමය. පෑනෙන් කළ යුතු වැඩේ මල්ටි බැරල් වලින් කළ යුතු තැනට කටයුතු සිදු නොකර ගැනීමේ වගකීමක්‌ ආණ්‌ඩුවට තිබේ. ආණ්‌ඩුව එය සිහියේ තබාගැනීම රටේ අනාගතයට වඩාත් හිතකරය.

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය තවමත් නන්දිකඩාල් කලපුවෙන් ගොඩට පැමිණ නැත. ආණ්‌ඩුව පැය විසිහතර පුරාම සංහිඳියා මන්තරය ජප කළත් මේ කුම්භාණ්‌ඩයන් මට්‌ටු කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් තවමත් ජීවත් වන්නේ සිහින ඊළාම් රාජ්‍යයේ වීමය. ඔවුන්ගේ සිහින අයිති ඔවුන්ට ය. ඒ සිහිනවල නිදන්නට ඔවුන්ට අයිතියක්‌ තිබේ. නමුත් ඊළාම් සිහින දිගේ ඇවිද යමින් රටේ අනාගතය මංමුලා කිරීමට ඔවුන්ට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන්ගෙන් පාඩමක්‌ ඉගෙන නොගත් ආණ්‌ඩුව සර්වේශ්වරන්ගෙන්වත් පාඩමක්‌ ඉගෙනගනු ඇතැයි අපි බලා සිටිමු.