Mon. Jul 8th, 2024
Spread the News

Divaina :කටුනායක – ටී. කේ. ජී. කපිල

canadවෙනත් අයකු සතු, කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත‍්‍රයක් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හරහා කැනඩාව වෙත පැන යෑමට තැත් කළ ශ‍්‍රී ලාංකික තරුණියක් ඊයේ (25 දා* දින අලූයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය යාපනය නගරයේම පදිංචි 22 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණියකි. ඇය ඊයේ (25 දා* දින අලූයම

2.45 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ.- 649 දරන ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එහිදී ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි ඇය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත‍්‍රය පිළිබඳව සැක සිතූ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන්, එම ලියකියවිලි වැඩිදුර විමර්ශන කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙම තරුණිය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත‍්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි, මෙම නිලධාරීන් විසින් තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කරන අතරතුර ඇයගෙන් මේ පිළිබඳව වැඩිදුර ප‍්‍රශ්න කිරීම් ද සිදු කර තිබේ.

මෙසේ සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්වලදී ඇය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත‍්‍රය, වෙනත් අයකු සතු එකක් බවත්, එම ගුවන් ගමන් බලපත‍්‍රයට මෙම තරුණියගේ ජායාරූපය යොදා කූඨ ලෙස සකස් කර ඇති බවත් අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙම ගුවන් ගමන් බලපත‍්‍රයෙහි යොදා තිබූ ශ‍්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු මුද්‍රා, ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවත් තහවුරු කර ගැනීමට ද ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි. ඉන්පසුව මෙම තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ