Mon. Jul 8th, 2024
Spread the News

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන්
ජානිපෙ මන්ත්‍රීහු ඉවත් වෙති

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත්වීමේ ලිපිය කතානායකවරයාට භාර දුන් අයුරු.

අජිත් අලහකෝන්, ලසිත දුමින්ද

නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඉදිරිපත් නොකළ යුතු බවට ෙත්‍රෙනිකායික මහා නාහිමිවරුන් ගත් එකඟත්වය හිස මුදුනින් පිළිගනිමින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත්වන බවට ජාතික නිදහස්‌ පෙරමුණ නියෝජනය කරන එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්‌ දෙනා ඊයේ (19 දා) කථානායක කරු ජයසූරිය මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත.මේ සම්බන්ධයෙන් ඊයේ කථානායකවරයා වෙත භාරදී ඇති ලිපියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත්වීමට මුල් වූ හේතු දහයක්‌ මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පද්ම උදයශාන්ත ගුණසේකර සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ අත්සන් සහිතව අදාළ ලිපිය කථානායකවරයා වෙතත්, එහි පිටපත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් මණ්‌ඩල සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතත් ඉදිරිපත් කර ඇත.

තම මන්ත්‍රී කණ්‌ඩායම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වූ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා ඇති මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාව අනුව සමස්‌ත මන්ත්‍රීවරුන්ගෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය සමන්විත විය යුතු බවද කියා සිටිති.

තම කණ්‌ඩායම ඉන් ඉවත් වීම මගින් පෙර කී කොන්දේසිය බිඳවැටෙන නිසාත් තමන්ට ඉල්ලා අස්‌වීමට හේතු වූ කරුණ දහය නිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ වලංගුභාවය අභියෝගයට ලක්‌වී ඇති බවත් පාර්ලිමේන්තුවට දන්වන ලෙසද මන්ත්‍රීවරු පස්‌ දෙනා කථානායකවරයාගෙන් ඉල්ලා සිටිති.

විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පස්‌ දෙනා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වීමට හේතු ලෙස අදාළ ලිපියේ දක්‌වා ඇති කරුණු දහය මෙසේය.

1. ෙත්‍රෙනිකායික මහානායක හිමිවරුන් විසින් 2017-07-04 දින සිදුකරන ලද විශේෂ ප්‍රකාශය මඟින් රජයට, රටේ පොදු මහජනතාව සහ මහජන නියෝජිතයන් වෙත දන්වා ඇති පරිදි නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මේ මොහොතේ ඉදිරිපත් නොකළ යුතු බවට වන උන්වහන්සේලාගේ එකඟතාව සහ නිර්දේශය පක්‍ෂයක්‌ ලෙස මහජන නියෝජිතයන් ලෙස අපි සියලු දෙනා විසින් හිස්‌ මුදුණින් පිළිගන්නා බැවින් ද,

2. අප රටේ ඓතිහාසික සභ්‍යත්ව රාජ්‍යය තුළ රජුට සහ මහජනයාට ඉහළින් සිට සමාජ සම්මතයන් සහ ප්‍රමිතීන් නිර්දේශ කිරීමට සහ රජුට සහ ජනතාවට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමට අදාළ මහා සංඝරත්නය සතු ඓතිහාසික අනුල්ලංඝනීය උරුමය, අප විසින් දෙදණ නමා ගෞරව පූර්වකව පිළිගන්නා බැවින් සහ දිවි නොතකා එම උරුමය සුරැකිය යුතු බැවින් ද,

3. ගෞරවනීය මහා සංඝරත්නය විසින් හේතු සහිතව දක්‌වා ඇති පරිදි වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලිය විවිධ බලවේගවල බලපෑම්වලට යටත් වූ සහ මහජනයාගේ අනුදැනුම සහ සහභාගිත්වය නොමැතිව සිදුවන ක්‍රියාවලියක්‌ වන බැවින් එම ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය සහ සුජාතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක්‌වී ඇති බැවින්ද,

4. විවිධ පාර්ශ්ව විසින් ව්‍යාජ ලෙස සමාජගත කිරීමට උත්සාහ කළත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක සභාවක්‌ පිහිටුවීම, පවත්වාගෙන යැම හෝ එහි නිර්දේශ පිළිගැනීම සඳහා පැහැදිලිs මහජන වරමක්‌ රජයට ලැබී නොමැති බැවින්ද,

5. වර්තමාන ජනාධිපතිවරයා විසින් ජනවරම ලබාගැනීම සඳහා මහජනයා වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශනය අනුව එතුමාට බලය ලැබී ඇත්තේ ජනමත විචාරණයක්‌ අවශ්‍ය නොවන ව්‍යවස්‌ථා සංශෝධන සඳහා පමණක්‌ බැවින් එතුමාට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක සභාවක්‌ පිහිටුවීම, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්මත කිරීම හෝ ජනමත විචාරණයක්‌ අවශ්‍ය වන කිසිදු වගන්තියක්‌ සංශෝධනය කිරීම සඳහා දේශපාලන බලයක්‌ හෝ සදාචාර අයිතියක්‌ නොමැති බැවින්ද,

6. ඒකාබද්ධ විපක්‍ෂයට අයත් මන්ත්‍රීවරුන් 95 දෙනාට ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සඳහා කිසිදු මහජන වරමක්‌ ලැබී නොමැති බැවින් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සඳහා අවශ්‍ය වන විශේෂ බහුතර බලය පාර්ලිමේන්තුව සතුව නොමැති බැවින්ද,

7. සමස්‌ත පාර්ලිමේන්තුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ බවට පරිවර්තනය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාවේ 11 වැනි වගන්තිය ප්‍රකාරව මෙහෙයුම් කමිටුව විසින් පත් කළ උප කමිටු 06 තුළ සිදුවූ සාකච්ඡා ක්‍රියාවලිය මාධ්‍යයට නිරාවරණය නොකළ බැවින් සහ එම ක්‍රියාවලිය තුළ විපක්‍ෂයේ නියෝජිතයන්ට තම අදහස්‌ පළකිරීම සඳහා සාධාරණ අවස්‌ථාවක්‌ ලබාදී නොමැති බැවින්ද,

8. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවීමට අදාළ යෝජනාවේ ප්‍රතිපාදන ඉක්‌මවායමින් මෙහෙයුම් කමිටුව විසින් අමතර කමිටු 2 ක්‌ පත්කිරීම සහ ඒවායේ නිර්දේශ මෙහෙයුම් කමිටු වාර්තාවට ඇතුළු කිරීම මෙන්ම එම වාර්තා සකස්‌ කිරීමේදී දීර්ඝ කාලයක්‌ රට තුළ බෙදුම්වාදී මතවාද ප්‍රචලිත කළ මන්ත්‍රීවරුන් නොවන බාහිර පිරිස්‌වල මතවාදී දායකත්වය ලබා ගැනීම ආදී ක්‍රියාමාර්ග මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය සහ ජනවරම නොසලකා හැර ඇති බැවින් සහ මෙහෙයුම් කමිටුවේදී සාකච්ඡාවට ලක්‌ නොවූ කරුණු වාර්තාවට ඇතුළු කොට ඇති බවට මෙහෙයුම් කමිටුව නියෝජනය කරන විපක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් ලිතව චෝදනා කොට ඇති බැවින්ද,

9. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාව අනුව මෙහෙයුම් කමිටුව විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයට වාර්තාවක්‌ සහ ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ යන ලියවිලි දෙකම එක විට ඉදිරිපත් කළ යුතු වුවත් එම ප්‍රතිපාදන උල්ලංඝනය වන සේ කෙටුම්පත රහසිගතව තබා ගනිමින් වාර්තාවක්‌ පමණක්‌ ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැබෑ තත්ත්වය වසන් කිරීමට සහ ඔවුන් නොමඟ යෑවීමට විවිධ පාර්ශ්ව විසින් ගන්නා වූ පහත් උත්සාහය අනුමත කළ නොහැකි බැවින්ද,

10. මහා සංඝරත්නය විසින් බලපෑමට ලක්‌වූ ක්‍රියාවලියක්‌ ලෙස අවධාරණය කර ඇති පරිදි වර්තමාන ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ රජය බලපෑමට යටත්කොට සම්මත කරනු ලැබූ 2015-30/01 යෝජනාවේ අඩංගු නිර්දේශයන් ප්‍රකාරව ආරම්භ කොට ඇති බැවින් සහ ඊට අදාළව ව්‍යවස්‌ථාවේ අඩංගු විය යුතු ප්‍රතිපාදන මොනවා දැයි නිර්දේශ කිරීමට තරම් මානව හිමිකම් කොමසාරිස්‌වරයා විවිධ විශේෂ නියෝජිතයන් ධෛර්යමත් වී ඇති තත්ත්වයක්‌ තුළ සහ වෙනත් දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග නිරන්තරයෙන් එම ක්‍රියාවලිය තමාට අවශ්‍ය ආකාරයට හැසිරවීම සඳහා විවිධ ආකාරයට බලපෑම් කරන බැවින් සහ මෙම ක්‍රියාවලිය තුළින් රටට සහ සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජනතාවට යහපත් වන ව්‍යවස්‌ථාවක්‌ බිහි නොවන බව සක්‌සුදක්‌සේ පැහැදිලිs බැවින්ද,

අප පක්‍ෂයේ සියලුම නියෝජිත ආයතනවල සහ මහජන නියෝජිතයන්ගේ ඒකමතික තීරණය අනුව ඉහත සඳහන් කළ පරිදි මෙම ලිපිය ඔබතුමා වෙත භාරදෙන අද දින සිට මන්ත්‍රීවරුන් වන අප ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වූ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස අපි ඔබතුමා වෙත ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.