Spread the News

ආරියතිලක
2024.07.29

ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බව මාධ්‍ය වාර්තා කර ඇත.


21 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41එ ව්‍යවස්ථා ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය අවසානාත්මක භාවය පිළිබඳව කිසිදු අධිකරණයක ප්‍රශ්න කිරීමකට නොහැක්කේ 126 ව්‍යවස්ථාවට යටත්ව බව දක්වා ඇත්තේ ය. 126 වන ව්‍යස්ථා ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි III වන සහ  IV වන පරිච්ඡේදන්හි සඳහන්, යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කර ඇති බවට හෝ කඩකිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින්ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන් එතැන් පටන් මාසයක් ඇතුලත,එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට හැකියාව ලැබෙන බව පැහැදිලි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41එ ව්‍යවස්ථාවෙහි පැනවීම නම්:-

“126 වන ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, සභාවේ යම් තීරණයක් හෝ සභාව විසින් කරන ලද යම් අනුමත කිරීමක් හෝ නිර්දේශයක් භාර ගැනීමට, විභාහ කිරීමට හෝ ඒ පිළිබඳ තීරණයක් දීමට හෝ කවර වූ හේතුවක් මත හෝ කවර වූ ආකාරයකින් ප්‍රශ්න කිරීමට කිසිදු අධිකරණයකට බලය හෝ අධිකරණ බලය නොමැති විය යුත්තේ ය. එකී තීරණය, අනුමැතිය හෝ නිර්දේශය සියලු කාර්ය සඳහා අවසානාත්මක හා තීරණාත්මක විය යුත්තේ ය.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාවෙහි (1) අනුව්‍යවස්ථාවෙහි සහ (2) අනුව්‍යවස්ථාවෙහි


“ (1) III වන පරිචචේදයෙන් හෝ IV වන පරිච්ඡේදයෙන් හෝ ප්‍රකාශ කොට පිළිගන්නා ලද යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කිරීමට ආසන්නව පැවතීම හාසම්බන්ධ කවර වූ හෝ ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශේෂ්ඨාධිකරණයට ඇත්තේ ය.


(2) තමාට සම්බන්ධ එවැනි යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කොට ඇති බවට හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තෙකු විසින්   දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින් ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකුගේ මාර්ගයෙන්, එතැන් පටන් මාසයක් ඇතුලත,එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබා දෙන ලෙස ශේෂ්ඨාධිකරණයෙන් ඇයැද සිටින ඉල්ලීමක්, තත් කාලයේ බලපවත්නා අධිකරණ රීතිවලට අනුකූලව ශේෂ්ඨාධිකරණය අමතා ඉදිරිපත් කරන ලිඛිත පෙත්සමක් මගින් කළ හැක්කේ ය. එවැනි ඉල්ලීමක් සම්බන්ධව ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ව අවසරයක් ලබා ගැනීමෙන් පසුව පමණක් එවනි ඉල්ලීක් පිළිබඳව ක්‍රියා කර ගෙන යා හැක්කේ ය. එසේ අවසර ඉල්ලා සිටි විට අවස්ථාවෝචිත පරිදිඒ අවසරය ප්‍රදානය කිරීම හෝ අවසරය  දීම  ප්‍රතික්ෂේප කිරීම හෝ විනිශ්චයකාරවරයන් දෙදෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් කළ හැක්කේ ය.”

යනුවෙන් ව්‍යවස්ථා කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  III වන පරිචචේදයෙහි මුලික අයිතිවාසිකම් ද
IV වන පරිච්ඡේදයෙන්  භාෂාව (භාෂා අයිතිවාසිකම්) ද පනවා තිබේ.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි III පරිචචේදයෙහි 10, 11, 12, 13, 14, 15, 16, යන ව්‍යවස්ථා මූලික අයිතිවාසිකම් වන අතර 17 වන ව්‍යවස්ථාවෙන් විධායක ක්‍රියා මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ප්‍රතිකර්ම ද පනවා ඇත.

මේ සියලු මූලික අයිතිවාසිකම්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථාවලින් තහවුරු කළ  ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත පිහිටා ඇත.

පොලිස්පතිවරයා පත් කිරීමේ කාර්යය ද 21 වන ව්‍යවස්ථා සශෝධනය අනුව, අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් ම කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවෙහි ව්‍යවස්ථා කර  ඇත. එනම්:-

“41ඇ(1). ජනාධිපතිවරයා විසින් සභවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේ ය.”

මෙම ව්‍යවස්ථාවේ කියවෙන උප ලේඛනය කොටස් දෙකකින් යුතුව 41ඇ ව්‍යවස්ථාවේ (4) අනුව්‍යවස්ථාවෙහි දක්වා ඇත.

එම උපලේඛනයේ
I වන කොටස

(අ) අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවර‍යන්.

(ආ) අභියාචනාධිඅකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්.

(ඇ) අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්.

II වන කොටස

(අ) නීතිපතිවරයා.
(ආ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා.
(ඇ) විගණකාධිපතිවරයා.
(ඈ) පොලිස්පතිවරයා.
(ඉ) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්).
(ඊ) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා.

මේ ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන ලද නිර්දේශයක් අනුව ඉහත ධූර සඳහා සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, එකී  ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තෙකු පත් කිරීම නො කළ යුතු බව පැහැදිලි ය.

2024 02.24 දින දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි. ජනාධිපතිවරයා විසින් 2024.02.26 දින  පොලිස්පතිවරයාගේ පත්කිරීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී.
පොලිස්පතිවරයාගේ පත් කිරීම නීත්‍යානුකූලභාවය අනනකූල බවක් පෙනී යන් විට එය විමසා බැලීමට ශේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට හැකියාව ඇති බව පැහැදිලි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය නීත්‍යානුකූල බව ද පෙත්සම් කරුවන් අභියෝහයට ලක් කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතාට  පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි. ඒ සමඟ වැඩ බලන පොලිස්පති වරයෙක් පත් කිරීමට  ද නියෝග කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ (2)  අනුව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව බාධකයක් නැති බව පැහැදිලිය.
41ඇ (2)  ව්‍යවස්ථාවෙහි
“මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ විධි විධාන, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති යම් ධූරයක දින දහහතරකට වැඩි කාලයක් වැඩ බැලීම සඳහා පත් කරනු ලබන යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් අදාළ විය යුත්තේ ය.
එසේ වුව ද, දින දහහතරක් නොඉක්මවන අනුක්‍රමික කාල සීමා සදහා එවැනි කවර හෝ ධූරයක වැඩ බැලීමට යම් තැනැත්තෙකු පත් කිරීම ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශයක් මත සභාව විසින් අනුමත කරනු ලැබ ඇත්නම් මිස නොකළ යුත්තේ ය.”
යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.
මේ ව්‍යවස්‍ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට දිනදහතරකට වැඩියෙන් කාල සීමාවකට හෝ දින දහහතර නොයික්මවන අනුක්‍රමික  කාල සීමාවකට හෝ පොලිස්පතිවරයෙකු පත් කිරීමට බාදාවක් නැති බව පැහැදිලි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 12(1) ව්‍යවස්ථාව

“නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරිම ද නීතියේ රෑකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය” 

යන වගන්ති ප්‍රකාරව කටයුතු නොවේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පිහිට පැතීම වැරැදි යයි කාට නම් කිව හැකි ද?