Fri. Jul 5th, 2024
Ranil Wikramasinghe
Spread the News

ආරියතිලක
2024.06.02

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු යැයිද එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන්නේ යැයිද
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව ත්, ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කොට පැවසා ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර ඇත..

රාජ්‍යයක හිමිකම තීරණය කිරීමේදී
යම් භූමියක් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අන්තර් ජාතික ව පිළිගත් සම්මුති හතරකි.

1.භූමිය, 2.ජනතාව. 3.ආණ්ඩුව සහ 4. ස්වාධිපත්‍ය යන සම්මුති සතර ය.
මෙහි ස්වාධිපත්‍ය යන කරුණ අතිශයි ම වැදගත් ය.
භූමියක වෙසෙන ජනතාවට එකී භූමියට ඇති හිමිකම, ඒ භූමිය වෙනම පාලනය කිරීමට, භුක්ති විදීමට ඇති උරුමය, එසේත් නැතිනම් ඒ භූමිය අතීතයේ සිට පාලනය කිරීමෙන් ලත් උරුමය, හිමිකම හෝ ස්වාධිපත්‍ය වේ.

ලංකා භූමියේ වෙසෙන බෞද්ධාගම්කා‍රයන්ටද විශේෂ වූ උරුමයකි. එය නො බිඳිය හැකි උරුමයකි. ස්වාධිපත්‍යයකි. එය බෞද්ධවූවන්ට ම වූ වරයකි.
ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වීමට ත් පෙර පටන් ම, කිසිවෙකුටත් ම අභියෝග කළ නො හැකි, ප්‍රශ්න කළ නො හැකි උරුමයකි. ඒ උරුමය ලැබුණු හැටි සලකා බැලීම වටී.

ලංකා භූමියේ, ලංකා රාජ්‍යයයේ හිමිකම බුදු රදුන් සන්තක පූජා වී ඇත. එයට ශාක්ෂි තිබේ ද?

එම හිමි කම දෙයාකාරයකින් සිදු වී ඇත.
ලංකා භූමිය ජීවමාන සම්බුදු රදුන්ට පූජා කර ඇත. එසෙම පූජාව සම්බුදු රජුන් විසින් එකී පූජාව පිළිගැනීම් වශයෙන් ඉවසා වදාරා ඇත. මහා වංශයේ පළමුවෙනි පරිච්ඡේදය 27,28,29 ගාථා මෙකී පූජාවට සාක්ෂි වෙනවා ඇත.
තථාගත බුදු රදුන්ගේ පළමුවන ලංකාගමනය යක්ෂයන් දමනය කිරීමට,
මහියංගනයට වැඩි අවස්‍ථාවේ බුදු රදුන් විසින්

“යක්ෂයෙනි ඔබගේ භය සහ දුක් මම පහ කරන්නෙමි. තොපි සමඟිවව. මෙතැන්හි මට හිඳිනා තැනක් දෙන්නහු ද? නො දෙන්නහු ද?” යි යක්ෂයන්ගෙන් විමසා වදාරන ලදී.”,

“එවිට එම යක්ෂයෝ ” නිදුකානෙනි නුඹ වහන්සේට මෙම සියලු ම ලක් දිව දෙම්හ.අපට අභය දුන මැනවැ” යි ඒ යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ. බුදුරදානෝ එකී පිදීම පිළිගෙන මහියංගන චේතිය බිමෙහි වැඩ වදාළ සේක. ඒ ප්‍රථමයෙන් ම ලංකා භූමිය සම්බුදු රදුන්ට පූජා වූ අවස්ථාව සහ
ආකාරය ය. (මහා වංශය පළමුවෙනි පරිච්ඡේදය 26, 27, 28 ගාථා)”

“තථාගත බුදු රදුන් පිරිනිවන් පෑමෙන් වසර දෙසිය සතිසක් ඉකුත් වූ තැනේදී අනුබුදු මහ මිහිඳු මහ අරහතුන් වහන්සේ ප්‍රධාන කොට මහ අරහත් සඟ පිරිස විසින් ලංකාද්වීපයේ බුදු සසුන පිහිටවා වදාළහ. අනතුරුව මහ මිහිඳු මහ අරහතුන් වහන්සේගේ ඇරයුම පරිදි සඟමිත් මහරහත් මෙහෙණින් වහන්සේ විසින්, තථාගත බුදුරදුන් පිට දී වදාරන ලද, ජය ශ්‍රී මහ බොධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කොට වදාරන ලදහ. ඒ අවස්‍ථාවෙහි දේවානම් පියතිස්ස නරේන්ද්‍රයානන් විසින් ලංකා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ පුදන ලදී. ඒ බැව් මහා වංශයේ 19 වෙනි පරිචේදයේ 30,31,ගාථා මෙකී පූජාවට සාක්ෂි වනවා ඇත.

1837 දී ප්‍රකාශයට පත් කරන ලද, ඉතිහාසඥයෙකු සහ ලංකා සිවිල් නිලධාරියෙකු වූ ජෝර්ජ් ටර්නර් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තයෙහි දක්වා ඇත්තේ මෙසේ ය.

“The ruler of the earth, who had caused the great Bodhi-tree to be placed on the shore of the great ocean, worshipped it once more by (bestowing upon it) the great kingship.”

එකී පූජාව සමන්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි දක්වා ඇත්තේ මෙසේ ය.
” සමුද්දතීරේ මහාබෝධිං ඨපෙත්වා තීනි දිවසානි සකලතම්බපණ්ණිදීපෙ රජ්ජේන පූජේසි”

සිංහල තේරුම නම්:-

මහ බෝධීන් වහන්සේ සමුද්‍ර තීරයෙහි වඩා හිදුවා තෙදිනක් සකල තම්බපණ්ණි දීපය හෙවත් ලංකා රාජ්‍යයෙන් මහ බෝධීන වහන්සේ පිදී ය. “
එය ලංකා රාජ්‍ය දෙවන වරට බුදු රදුනට පිදුනු අවස්ථව ය.”

තෙවනුව දේවානම් පියතිස්ස නිරිඳුන් විසින් අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා විෂයෙහි ද රාජ්‍ය සේසතෙන් පුදා ඇත.
මහා වංශ 19 පරිච්ඡේද්‍ය 58වෙනි ගාථාව මෙකී පූජාවට සාක්ෂි වනවා ඇත. දේවානම් පියතිස්ස නිරිඳුන් විසින් අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා විෂයෙහි ද රාජ්‍ය සේසතෙන් පුදා ඇත.
සමන්ත්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි ” රාජා තං අච්ඡරියං දිස්වා අට්ඨ තරුණබෝධිරුක්ඛෙ සේතච්ඡත්තේන පූජෙත්වා අභිසේකං අදාසි” ” දේවානම් පියයතිස්ස නිරිඳු තරුණ බෝරුක් අටෙහි ඓශ්චර්‍ය්‍ය් දැක සේසතින් අභිසේඛ කොට පූජා කෙළේ ය.”යනුවෙන් දක්වත්.

ලංකාද්වීපය නිරවුල් ලෙස සම්බුද්ධ ශාසනය පූජා වී ඇති බැවින් රට වැසියන්ගේ කුශලාර්ථය සුරැකෙන ලෙස රටේ පාලනය පැවතිය යුතුය. මෙකී අයිතිය උල්ලංඝනය කිරීමට කිසිවෙකුටත් ම හිමි කමක් නැත; පාලනය කරන පුද්ගලයාට හෝ පිරිසට මේ රටේ අත්තනෝමතියක් කළ නො හැක. හිමිකම බුදු රදුන් සන්තක බැවිනි.