Fri. Jul 5th, 2024
Spread the News

හැම පාර්ශවයකම අදහස් දැක්වීම පුංචි පහේ දුර්වලකම් සහිතව හෝ බොහෝ දෙනෙකුට එකඟවන්න පුළුවන් අන්දමින් ඉදිරියට ගෙන ගොස් තිබීම සතුටට කරුණක්.

දුර්වලකම් යනුවෙන් මා හැඳින්වූයේ සටහන තබන ලියුම්කරුටවත් නොතේරෙන අදහස් ජනගත කිරීමට ගත් උත්සාහයන්.
උදාහරණයක් ලෙස:

“වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලන වාතාවරණය තුළ ධනපති ක්‍රමයට ප්‍රතිවිරුද්ධ මතවාදයක සිටිනවා යයි සිතිය හැක්කේ ජාතික ජන බලවේගය පමණකි”

ලේඛකයා බොහෝ වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කරන අතර මෙවැනි සාවද්‍ය මතයක් ජනගත කිරීමට කර ඇති උත්සාහය, නව දේශපාලන පර්යායක් ගොඩනැගීමට අවංකවම කැපවී සිටින පිරිසට කරන මදි පුංචි කමක් කියා මා හට සිතෙනවා.

පසුගිය දින කිහිපය තුළ මා හමුවීමට පැමිණි (පසුගිය රජයන් තුළ ප්‍රබල තනතුරු දැරූ ආරක්ෂක අංශවල අය මෙන්ම අමාත්‍යංශ ලේකම් තනතුරු දැරූ අයත් පැමිණි වාහන දෙස බැලූ විට NPP එක බලයට පැමිණ සියලුම ආර්ථික ප්‍රශ්න විසඳන බවට කැටකඩමින් කළ ප්‍රකාශ එක අතකින් ව්‍යාජයි. නැතිනම් සුරංගනා කතා පමණයි.

ඉතාමත් දුබල අන්දමින් ඔවුන් උත්සාහ කළේ ඔවුන්ගේ දරුමුණුපුරන්ට දිගින් දිගටම දැනට ඇති වරප්‍රසාද හා සමාජ සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමේ සිහිනය මුදාහැරීමක්.

වර්තමාන දේශපාලන අර්බුදය නිසා වැඩියෙන්ම කලබල වී ඇත්තේ ඊනියා වාම වාදින් හෝ නිර්ධන පංතිකයින් නොව යහතින් මුදල් අතපත ගෑ පිරිස් බව පැහැදිලියි. හෙට පිළිබඳ දැඩි අවිනිශ්චිත භාවයකින් ඔවුන් පෙළෙන බව පැහැදිලි වුනා.

NPP එකට ආවඩන පිරිස කලක් මහින්ද පිටුපස ගිය බවත්, ගෝඨාභයට චන්දය දුන් හැට නම ලක්ෂයට අයත්ව සිටි බවත් මා පෞද්ගලික දන්නවා.

මෙතැන සිදුවී ඇතේ රාජපක්ෂ පවුල ඇතුළු දූෂිත ධනේෂ්වර කල්ලියේ අනාරක්ෂිතභාවය ඔවුන් යටතේ සේවය කළ අන්තේවාසිකයින්ටත් කාන්දු වීමක්.

“හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” කීවාක් මෙන් ඇතාගේ වළිගයේ එල්ළී දිව්‍යලෝකෙට යාමට උත්සාහ කළ මෝඩ ගමයා ඇතුළු පිරිසට අත්වූ ඉරණම අපට සිහිගන්වන බොහෝ දේවල් ඉදිරි දිනවල අත්දකින්න ලැබේවි.

අනාරක්ෂිත භාවයෙන් මිදීම සඳහා අනාරක්ෂිතභාවයටම ගොදුරුවන මිනිසුන් ලංකාවේ හැර වෙනත් රටකත් සිටීද යන්න විමසා බැලුවහොත් එය පලදායි උත්සාහයක් වනු ඇත.

-තෙවැනි ඇස-
09.01.2024