Sat. Aug 24th, 2024
Spread the News

සැපත- විපත, අඳුර-එළිය, ජය-පරාජය, කන්ද-පල්ලම, ශීතය- උෂ්ණය, ගින්දර-වතුර, තද- මෘදු, කාරුණික- අකාරුණික, හොඳ-
නරක, දෙව්ලොව අපාය- දෙවියන් හා යක්ෂයා
මේ ආදී වශයෙන් මිනිසුන් සකල පැවැත්මම එකිනෙකට ප්‍රතිවිරුද්ධ සංසිද්ධීන් ලෙස සංජානනය කරනු ලබනවා.

මේ සියලුම තත්ත්වයන් අයත් වන්නේ ද්වීමානමය අනුභූතින්ටය.

එහෙත් මීට එහා ගිය මානයන් හරහා මෙතෙක් අප විසින් අවබෝධ කර නොගත් අත් නොදුටු සංසිද්ධීන් කොතෙක්දැයි කිව හැක්කේ බුදුවරයකුට හෝ Albert Einstein වැනි අසමාන්‍ය ගණයේ බුද්ධියක් ඇති සුවිශේෂ ගණයේ මනුෂ්‍යයින්ට පමණයි.

එසේ යයි කියා සාමාන්‍ය මිනිසෙක් අධෛර්යයට පත් විය යුතු නැහැ.

බුදු වූයෙත් මනුෂ්‍යයෙක්. Einstein කියන්නෙත් මනුෂ්‍යයෙක්.

කෙසේ නමුත් සාමාන්‍ය සහ අසමාන්‍ය ගණයේ මිනිසුන්ද සත්ත්වයින්ද ගහකොළද පැවතුණ බව හා පවතින්නට හැකි බව රහසක් නොවේ.

නැවත ඉපදීම පිළිබඳ ප්‍රශ්නයේදී බුදුන් වහන්සේ පැහැදිලි කළේ නැවත උපදින තැනැත්තා හෝ තැනැත්තිය “න ච සෝ – න ච අඤ්ඤෝ”
(ඔහුත් නොවෙයි වෙන කෙනෙකුත් නොවෙයි) කියායි.

සාමාන්‍ය පුද්ගලයින් සම්බන්ධයෙන් මෙය සත්‍යයක් විය හැකි නමුත් බුදුන් වහන්සේ වැනි විරල ගණයේ පුද්ගලයකු “ඔහුත් නොවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි” කියන තර්කයට ඇතුළත් කිරීම අස්වාභාවික බවයි අපගේ පෞද්ගලික මතය.

මන්ද බුදු වරයකු පහළ වන්නේ පාරමිතා පිරීමේ අපරිමිත දිගුකාලීන ක්‍රියාවලියක උත්කෘෂ්ට ප්‍රතිඵලයක් ලෙස පැවැත්ම විසින්ම තීරණය කර ඇති නිසයි.

අත්දැකීමෙන් තොර පරිණාමයක් නැත. පරිණාමයෙන් තොර ජානමය වෙනසක් එසේත් නැතිනම් ජානමය වෙනස්කමකින් තොරව පරිණාමයක් සිදුවිය නොහැක.

පාරමිතා පිරීම අරමුණක් අරභයා සිදුවන අඛණ්ඩ ක්‍රියාවලියකි.
එම ක්‍රියාවලියෙන් තොරව බුදු කෙනෙක් පහළවන්නේ නැත.

විශ්ව ශක්තිය යනු කුමක්දැයි නිශ්චිතව හඳුනාගෙන නැති නමුත් එවැනි දෙයක් තිබෙන බව පෙරදිග මෙන්ම අපරදිග වැසියන් ද පිළිගනිති.

බුදුදහමේ විශ්ව ශක්තිය කියා දෙයක් පැහැදිලි නොකළ ද බුදුන් වහන්සේ යනු විශ්ව ශක්තියේ ඍජු ප්‍රකාශනයක් ලෙස හැඳින්වුවහොත් එහි වරදක් නැතැයි මම සිතමි.

ඒ සමඟම විශ්ව ශක්තියට මිනිසා තුළ මෙන්ම ගහකොළ හා සකල සත්ව සංහතියටම බලපාන ජානමය වෙනස්කම් ඇති කිරීමේ හැකියාවක් ඇති බවද උපකල්පනය කිරීම අවිද්‍යාත්මක නොවේ.

ලෝකයා බුදුන් වහන්සේ හඳුනාගන්නේ බුදු දහම තුළින්.
“මා දකිනු රිසි කෙනෙක් මාගේ දහම දකින්න” කියා බුදුන් වහන්සේ පැවසුවේ ඒ නිසයි.

බුදුදහම නොමැති තැන්වල සර්වබලධාරී දෙවිවරුන්ගේ සිට දෙවි දේවතාවුන් හා භූමාටයින් දක්වා විවිධ වූ දේව පැලැන්තීන් බලයේ සිටිනවා නොව විශ්වාසය හා ඇදහීම තුළින් කෘතිම අන්දමින් බලයට පත්කර තිබෙනවා.

අපි අලුත් ලෝකයක් සඳහා විවෘත වීමට නම් අපි අපගේම මනංකල්පිත ලෝකය විසින් නිර්මාණය කරන ලද බැඳීම් හා සීමාවන් වලින් තොරව ස්වාධීන චින්තනයකින් ප්‍රශ්නවලට සංවේදී මනසකින් යුතුව සෑම ආකාරයකම ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි.

සෑම ප්‍රශ්නයක් හා සමගම පිළිතුරක් ද සබැඳී ඇති බව අප විසින් අමතක නොකළ යුතුයි.

-තෙවැනි ඇස-
11.07.2024