Wed. Jul 3rd, 2024
Spread the News

ආරියතිලක
2023.11.11

ලංකා භූමිය සම්බුදු රදුන් සන්තක බවට සාක්ෂි.

ලංකා භූමිය ජීවමාන සම්බුදු රදුන්ට පූජා කර ඇත. එසෙම පූජාව සම්බුදු රජුන් විසින් එකී පූජාව පිළිගැනීම් වශයෙන් ඉවසා වදාරා ඇත. මහා වංශයේ පළමුවෙනි පරිච්ඡේදය 26, 27, 28 ගාථා මෙකී පූජාවට සාක්ෂි වෙනවා ඇත.

දෙවනුව දේවානම් පියතිස්ස මහීපාලයන් විසින් බුද්ධගයා මහ බොධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ලංකාද්වීපයට වැඩමවා වදාළ දින, ලංකා රාජ්‍යයෙන් දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ පුදන ලදී. එකී පූජව මහා වංශයේ 19 වෙනි පරිචේදයේ 30,31,ගාථා මෙකී පූජාවට සාක්ෂි වනවා ඇත.

තෙවනුව දේවානම් පියතිස්ස නිරිඳුන් විසින් අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා විෂයෙහි ද රාජ්‍ය සේසතෙන් පුදා ඇත.
මහා වංශ 19 පරිච්ඡේද්‍ය 58වෙනි ගාථාව මෙකී පූජාවට සාක්ෂි වනවා ඇත. සමන්ත්තපාසාදිකා විනය අටුවාවෙහි ද මෙකී පූජාව පිළිබදව සඳහන් වේ.

මේ සම්බන්ධව අප විසින් ලියන ලද ලිපියක කොටසක් පහතින් උපුටා දක්වමු.


“ලංකා භූමියේ, ලංකා රාජ්‍යයයේ හිමිකම බුදු රදුන් සන්තක යි. එම හිමි කම දෙයාකාරයකින් සිදු වී ඇත. තථාගත බුදු රදුන්ගේ පළමුවන ලංකාගමනය යක්ෂයන් දමනය කිරීමට,
මහියංගනයට වැඩි අවස්‍ථාවේ බුදු රදුන් විසින් “යක්ෂයෙනි ඔබගේ භය සහ දුක් මම පහ කරන්නෙමි. තොපි සමඟිවව. මෙතැන්හි මට හිඳිනා තැනක් දෙන්නහු ද? නො දෙන්නහු ද?” යි යක්ෂයන්ගෙන් විමසා වදාරන ලදී.”

“එවිට එම යක්ෂයෝ ” නිදුකානෙනි නුඹ වහන්සේට මෙම සියලු ම ලක් දිව දෙම්හ.අපට අභය දුන මැනවැ” යි ඒ යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ. බුදුරදානෝ එකී පිදීම පිළිගෙන මහියංගන චේතිය බිමෙහි වැඩ වදාළ සේක. ඒ ප්‍රථමයෙන් ම ලංකා භූමිය සම්බුදු රදුන්ට පූජා වූ අවස්ථාව සහ
ආකාරය ය. (මහා වංශය පළමුවෙනි පරිච්ඡේදය 26, 27, 28 ගාථා)”

“තථාගත බුදු රදුන් පිරිනිවන් පෑමෙන් වසර දෙසිය සතිසක් ඉකුත් වූ තැනේදී අනුබුදු මහ මිහිඳු මහ අරහතුන් වහන්සේ ප්‍රධාන කොට මහ අරහත් සඟ පිරිස විසින් ලංකාද්වීපයේ බුදු සසුන පිහිටවා වදාළහ. අනතුරුව මහ මිහිඳු මහ අරහතුන් වහන්සේගේ ඇරයුම පරිදි සඟමිත් මහරහත් මෙහෙණින් වහන්සේ විසින්, තථාගත බුදුරදුන් පිට දී වදාරන ලද, ජය ශ්‍රී මහ බොධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කොට වදාරන ලදහ. ඒ අවස්‍ථාවෙහි දේවානම් පියතිස්ස නරේන්ද්‍රයානන් විසින් ලංකා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ පුදන ලදී. ඒ බැව් මහාවංශයේ 19 වෙනි පරිචේදයේ 30,31,ගාථාවන්හි දක්වත්.
” සමුද්දතීරේ මහාබෝධිං ඨපෙත්වා තීනි දිවසානි සකලතම්බපණ්ණිදීපෙ රජ්ජේන පූජේසි” යනුවෙන් ද සමන්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි ද කීහු.
එය ලංකා රාජ්‍ය දෙවන වරට බුදු රදුනට පිදුනු අවස්ථව ය.”

එකී පූජාව බල සහිත ය. දේව, යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, දිව්‍ය නාග, සුපර්ණ, රාක්ෂ, අසුර,මාර ,භූතාදී කිසිම අයෙක් මෙම පූජාවට, ලංකා රාජ්‍යයේ අයිතිවාසිකම් කියා විරෝධීව පෙනී
නො සිටියහ.

මෙයට අමතරව ද යමක් කිව යුතු ය. ලංකා භූමියේ දෙවියන්ගෙ අඩවි තිබනවාලු; අසවල් අසවල් දෙවියන් උදෙසා මේ මේ සීමාවෙන් සීමාවට ඒ ඒ දෙවියන්ට අයිතිලු, අනේ අපොයි ! බුදු රදුන් සන්තකව පූජා වී ඇති ලංකා භූමියේ කෙසේ නම් දෙවියන් උදෙසා තෝම්බු අයිතිවාසිකම් තියෙනවා කියන්නේ! මේ ලංකා භූමියේ කිසිදු දෙවියෙකුට දේවාලයකට, කෝවිලකට අඩවි අයිතිවාසිකම් නැත; හිමි කම් නැත.

අනුරාධපුර මහමෙවුනාවෙහි වැඩ වසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, බුදු රදුන් උදෙසා වූ ලංකා රාජ්‍ය පිදූ පූජාවට කාය ශාක්ෂි වශයෙන් ශාක්ෂි දරන්නාහ.
මේ ලංකා රාජ්‍යයේ සියලු අයිතිවාසිකම් බුදු රදුන් සන්තකව සම්බුද්ධ ශාසන සන්තකව දරන්නා හ.

දේවානම් පියතිස්ස නිරිඳුන් විසින් අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා විෂයෙහි ද රාජ්‍ය සේසතෙන් පුදා ඇත.
මහා වංශ 19 පරිච්ඡේද්‍ය 58වෙනි ගාථාව සහ සමන්ත්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි ” රාජා තං අච්ඡරියං දිස්වා අට්ඨ තරුණබෝධිරුක්ඛෙ සේතච්ඡත්තේන පූජෙත්වා අභිසේකං අදාසි” ” දේවානම් පියයතිස්ස නිරිඳු තරුණ බෝරුක් අටෙහි ඓශ්චර්‍ය්‍ය් දැක සේසතින් අභිසේඛ කොට පූජා කෙළේ ය.”යනුවෙන් දක්වත්.

ලංකාද්වීපය නිරවුල් ලෙස සම්බුද්ධ ශාසනය පූජා වී ඇති බැවින් රට වැසියන්ගේ කුශලාර්ථය සුරැකෙන ලෙස රටේ පාලනය පැවතිය යුතුය. මෙකී අයිතිය උල්ලංඝනය කිරීමට කිසිවෙකුටත් ම හිමි කමක් නැත; පාලනය කරන පුද්ගලයාට හෝ පිරිසට මේ රටේ අත්තනෝමතියක් කළ නො හැක. හිමිකම බුදු රදුන් සන්තක බැවිනි.”

Picture Courtesy freepik