Fri. Jul 5th, 2024
Spread the News

ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ

කීර්ති වර්ණකුලසූරිය හා හේමන්ත රන්දුණු

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී ඇත.

අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක්‌ වී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්‌ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක්‌ මේ වනවිට අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමග එක්‌ව සිටින බවයි.

ගලේවෙල පදේශයෙන් ගොස්‌ අයි. එස්‌. අයි. එස්‌ සංවිධානයට බැඳුණු පුද්ගලයකු පසුගියදා හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්‌විය.

අයි. එස්‌. සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් සෙවීම සඳහා ක්‍රමවත් විමර්ශනයක්‌ ආරම්භ නොකිරීමෙන් ඉදිරියේදී ජාතික ආරක්‍ෂාවට ද විශාල තර්ජනයක්‌ එල්ල විය හැකි බව ත්‍රස්‌ත මර්දන විශේෂඥයෝ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී ත්‍රස්‌තවාදය මර්දනය සම්බන්ධයෙන් විශේෂ දැනුමක්‌ ලබා සිටිනා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ මෙසේ කියා සිටියේය.

“අයි එස්‌ අයි එස්‌” ත්‍රස්‌ත සංවිධානය ශ්‍රී ලංකාවටත් විශාල තර්ජනයක්‌ වන සංවිධානයක්‌ බවට පත්වෙමින් තිබෙනවා.

මේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් ගැන සෙවීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී. අයි. ඩී.) හෝ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය (ටී. අයි. ඩී.) වෙත භාර දිය යුතුයි.

ඒ වගේ ම මේ සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක්‌ බවට පත් කළ යුතුයි. විවිධ රැකියා සඳහා යෑයි කියමින් මැද පෙරදිග බලා ගිය ශ්‍රී ලාංකිකයන් ගැන පුළුල් විමර්ශනයක්‌ කිරීම ඉතාම වැදගත්. මැදපෙරදිග රටවල රැකියාවන්ට ගිය පුද්ගලයන් ඒ රටවල අදාළ ස්‌ථානවල රැකියා කරනවාද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. ඒ මගින් අපට තොරතුරු ලබාගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිගට ගිය පුද්ගලයන් නිවැරැදිව එම ස්‌ථානවල සිටිනවාද යන්න පිළිබඳව.

ඒ වගේම විවිධ රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් පිළිබඳව ගුවන් තොටුපළේ සිට සොයා බැලීම කළ යුතුයි.

මේ සැක කටයුතු පුද්ගලයන් රට තුළට ඇතුළු වී ක්‍රියා කරන ආකාරයන් පිළිබඳව දැඩි විමර්ශනය කිරීම වැදගත් යෑයි ත්‍රස්‌ත මර්දන විශේෂඥයා වැඩි දුරටත් කියා සිටියේය.

අයිඑස්‌ ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ වෙබ් අඩවි 60 ක්‌ තහනමට ලක්‌ වී නැති අතර එම වෙබ් අඩවි වෙත තවදුරටත් ප්‍රවිෂ්aටවීමට මෙරට අයි එස්‌ අනුගාමිකයන්ට හැකි බව ඉහළ පෙළේ හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.

මේ හැර මාලදිවයිනේ සිට රෙදි මිලයට ගැනීමේ වේශයෙන් පැමිණෙන පිරිස්‌ ගැන ද අවධානය යොමු වී ඇත.

මාලදිවයින රජය මේ වනවිට අයිඑස්‌ ක්‍රියාකාරීන් රැසක්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ හරහා විදේශගත වීමට සැලසුම් කර තිබූ බව හෙළි විය.

බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වන්නේ කොලන්නාව, සාලමුල්ල, දෙහිවල, කුරුණෑගල සහ නැගෙනහිර පළාතේ ද අයිඑස්‌ අනුගාමිකයන් සිටින බවයි. අයිඑස්‌ අනුගාමිකයන් ශ්‍රී ලංකාව තුළ සිටින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් පසුගියදා විමර්ශන වාර්තාවක්‌ රජයට ඉදිරිපත් කරමින් අනතුරු අඟවා තිබිණි.

මේ අතර සිරියාවේ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට සම්බන්ධ වී මෙරට අනුගාමිකයන් 45 ක්‌ සිටින බවට වාර්තා වී ඇත.