Mon. Jul 8th, 2024
Spread the News

රාජ්‍ය තාන්ත්‍රික නොවන මට්‌ටමෙන් මෙරටට පැමිණි
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ
හතර දෙනකුට එජාපයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු
රටට එරෙහි ගතු කියනවා

– වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

අකිත පෙරේරා source:

රාජ්‍ය තාන්ත්‍රික නොවන මට්‌ටමින් මෙරටට පැමිණ සිටින එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනාට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් රටට එරෙහිව ගතු කියන බව වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (15 දා) පැවැසීය.

මෙහිදී මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් එම දේශපාලනඥයන් කවුදැයි කියා දිගින් දිගටම ප්‍රශ්න කළ නමුත් ඇමැතිවරයා කියා සිටියේ ඔවුන්ගේ නම් සඳහන් කළ නොහැකි බවත් ඔවුන් විපක්‍ෂයේ දේශපාලනඥයන් කියා පමණක්‌ කිවහැකි බවය.

අදාළ විපක්‍ෂ දේශපාලනඥයන් දෙදෙනා මෙම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ නියෝජිතයන් වෙත රට පිළිබඳ වැරැදි තොරතුරු ලබා දෙමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

අදාළ විදේශ නියෝජිතයන් අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුන් පිළිබඳ ක්‍රියාමාර්ගයක්‌ ගත හැකි දැයි මාධ්‍ය ප්‍රශ්න කළ විට ඇමැතිවරයා කියා සිටියේ ඔවුන් සංචාරකයන් ලෙස මෙරටට පැමිණ සිටින බැවින් ඔවුන්ට එරෙහිව ක්‍රියා කළ නොහැකි බවය.

කෙසේවෙතත් මොවුන් පිළිබඳ සැලකිල්ලෙන් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

එහිදී ප්‍රකාශ කෙරුණු කැබිනට්‌ තීරණ මෙසේය(

කුකුළු මස්‌ සහ බිත්තර නිෂ්පාදනවලින් 2016 වනවිට ස්‌වයංපෝෂිත තත්ත්වයක්‌ ඇති කිරීම පිණිස එම ක්‍ෂේත්‍රයේ නියෑළී සිටින්නන් දිරි ගැන්වීම සඳහා ඔවුන්ට රුපියල් මිලියන 90 ක්‌ වෙන් කිරීමට රජය තීරණය කර ඇත.

එම ඉලක්‌ක සපුරා ගැනීම සඳහා එය දිවි නැඟුම වැඩසටහන සමඟ ඒකාබද්ධව සිදු කිරීමටද එම ක්‍ෂේත්‍රයේ ප්‍රතිලාභීන් සඳහා 50% ක ප්‍රාග්ධන ආයෝජනයක්‌ ආධාර වශයෙන් ලබාදීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර තිබේ.

අදාළ යෝජනාව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කළ බව කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (15 දා) පැවැසීය.

අලි-මිනිස්‌ ගැටුම වළක්‌වාලීම සඳහා වල් අලි රැඳවුම් මධ්‍යස්‌ථානයක්‌ හොරොව්පොතානේ පිහිටුවීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා එම ප්‍රදේශයේ හෙක්‌ටයාර 1,582 ක භූමි ප්‍රමාණයක්‌ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමටද ඇමැති මණ්‌ඩලය තීරණය කර තිබේ.

පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

මහනුවර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ නව සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 200 ක්‌ වෙන් කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇත.

මෙය වර්ග අඩි 29,947.5 කින් නවීන පහසුකම්වලින් සමන්විත තෙමහල් ගොඩනැඟිල්ලක්‌ ලෙස ඉදිකෙරෙනු ඇත. රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා යෝජනාව කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.

ත්‍රිකුණාමලය ඒකාබද්ධ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියට අයත් සංවර්ධන කටයුතු සඳහා අදාළ කොන්ත්‍රාත් මුදල ප්‍රතිශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ඒ. එµa. ඩී. නමැති ආයතනයකින් රුපියල් බිලියන 11 ක ණය මුදලක්‌ද ලැබී ඇත. වරාය හා මහාමාර්ග ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යෝජනාව කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.