Fri. Jul 5th, 2024
Spread the News

යහපාලන හතුරන්ට ඇමැතිධුර දීමෙන්
අපේ ඡන්දවලින් අපටම ගුටි කන්නවෙලා

පොල්පිතිගම – වීරරත්න

යහපාලන ආණ්‌ඩුවට ඡන්දය දුන් ඡන්දදායකයන්ට මැර ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින මහව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු සහ මන්ත්‍රීවරු දෙදෙනකු උපවාසයක නියෑළිනි. ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා පිළිගැනීම සඳහා උත්සවයක්‌ මහව නගරයේදී පසුගියදා පැවැත්විණි. උත්සවයට පෙර මහව නගරය කොළ පැහැති කොඩිවැල් වලින් සරසා තිබුණු අතර උත්සවය සඳහා පෙරදින රාත්‍රී නිල්පැහැති කොඩිවැල්වලින් නගරය සරසා තිබිණි. උත්සවය නිමා වූ දින රාත්‍රී නැවත කොඩිවැල් ඇදීමක්‌ සිදුකිරීමට යැමේදී දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ හටගෙන තිබූ බව මහව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

තමන් ඇතුළු යාපහුවේ ජනතාව දිවි හිමියෙන් මෙවර මැතිවරණයට කැපවුණේ මහින්ද රාජපක්‍ෂගේ ගන්ධබ්බයින්ට ඇමැති තනතුරු ලබාදී ගුටි කන්නට නොව යහපාලනයේ යාපහුව සංවර්ධනය කරන්නට බවත් අද අපේ ඡන්ද වලින් අපිටම ගුටිකන්නට සිදුව ඇති බවත් පෙරදින රාත්‍රී ඇමැති ටී. බී. සහ පිරිසක්‌ බීමතින් පැමිණ තම නිවසට අලාභ හානි කර ඒ ගැන පැමිණිලි කරන්නට ගියවිට පොලිසියද බැන තර්ජනය කළ බවත් එම නිසා යහපාලන හතුරන්ට ඇමැතිකම් දී මේ සිදුවන හානිය නවතා දෙන ලෙස බලධාරීන්ට බල කිරීමට මෙම උපවාසය සහ විරෝධය පළකරන බවත් මහව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්‍ෂ නායක පේමදාස සිල්වා මහතා උපවාසයේ නිරතවෙමින් කියා සිටියාය.

දෙදිනක්‌ පුරා පැවැති උපවාසයට මහව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන අනුර බණ්‌ඩාර නිහාල් පේමසිරි යන අය සමඟ පක්‍ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

වයඹ පළාත් සභා ඡේ.වී.පී. මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාද මෙම උපවාසයට සහාය පිණිස පැමිණ සිටියහ. දෙවැනි දිනය වන පෙරේදා එම ස්‌ථානයට යාපහුව ආසනයේ ප්‍රධාන සංවිධායිකා අචිනි ලොකුබණ්‌ඩා මහත්මිය පැමිණි අතර උපවාස කරුවන් ඒ වන විට උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියහ. අනතුරුව සංවිධායකවරිය මෙම පාක්‍ෂිකයන්ට දිගින් දිගටම සිදුවන හිරිහැර සම්බන්ධව පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් පසුව උපවාසය සහ උද්ඝෝෂණය අවසන් කෙරිණි.