Spread the News

මෝටර් රථයට ගංජා දැමූ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීම පමණක්  ප්‍රමාණවත් ද?


ආරියතිලක
2024.07.28

තරුණයන් පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී  කොල්ලුපිටිය  ප්‍රදේශයේදී   කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී, කොස්තාපල්වරයෙකු විසින් මෝටර් රථයට ගංජා දමා එම තරුණයන් අත්අඩංගුවට ගැනීමට කරන ලද  වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමෙන් පසු ඒ සම්බන්ධව කරන ලද විමර්ශනයෙන් පසුව කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර  අඹේපිටිය මහතාගේ නියෝග පරිදි එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.


විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව මේ පොලිස් කොස්තාපල්වවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ,  ස්ථීර ලෙසම එම කොස්තාපල්වරයා, ගංජා ලඟ තබා ගෙන සිට තරුණ පිරිස ගමන් ගත් මෝටර් රථයට දැමූ බව තහවුරු  වී ඇති බැවිනි. එහෙමනම් මොහුට විරුද්ධව ගංජා ලඟ තබා ගැනීම  සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව රාජකාරි නොකිරීම සම්බන්ධව නීතිමය වශයයෙන් නඩු පැවැරීම වගකිවයුතු නිළධාරීන්ගේ වගකීම ය. තවද පොලිස් ආඥා පනතෙහි මෙසේ දක්වා ඇත.

(මුල් පැනවීම1865 අංක 16 දරාණ සහ ඊට පසු සංශෝදීත) පොලිස් ආඥාපනතෙහි 82 වගන්තිය


82. පහත දැක්වෙන සෑම පොලිස් නිලධාරියෙක් ම, මාස තුනක වැටුපට වැඩි නොවන දණ්ඩන මුදලකට හෝ බරපතල වැඩ ඇතිව හෝ නැතිව තුන් මාසයකට වැඩි නොවන කාලයකට බන්ධනාගාර ගත කිරීමකට හෝ එකී දඩුවම් දෙකට ම යටත් වන්නේ ය.


(අ) යම් යුතුකමක් පැහැර හැරීම හෝ වෙනත් නිසි අධිකාරියක නියෝග හෝ නීත්‍යානුකූල නියමයන් ඕනෑකමින් ම පැහැර හැරීම හෝ අතපසු කිරීම පිළිබඳ වරදකරු වන්නා වූද 55 වෙනි වගන්තිය යටතේ දඩුවම් කිරීමට යටත් නොවන්නා වූ ද නිළධාරියෙක්,


(ආ) (I) නිවාඩු නැතිව හෝ මෙම ප්‍රඥප්තියේ සඳහන් පරිදි මාස දෙකක් කලින් දැනුම් නොදී, තම ධූරයෙහි කටයුතු නතර කරන නිළධාරියෙක්,


(II) තමාගේ පොලිස් කාර්යයක් නොවන වෙනත් සේවයක බලය නොමැතිව යෙදී සිටින නිළධාරියෙක්,


(ඇ) යම් අධිකරණ නඩු විභාගයකදි ඇත්ත සඟවා කථා කිරීම් පිළිබඳ වරදකරු වන නිළධාරියෙක්,


(ඈ) යම් පුද්ගලයෙකුට විරුද්ධව වූ අසත්‍ය , පීඩාකාරි හෝ නිස්සාර චෝදනාවක් හෝ තොරතුරක් ද්වේශ සහගතව සහ හේතුවක් නොමැතිව ඉදිරිපත් කරන නිළධාරියෙක්,

(ඉ) දැනුවත්ව සහ ඕනෑකමින් ද, නරක අදහසින්ද, තම බලතල ඉක්මවා ක්‍රියා කරන නිළධාරියෙක්,


(ඊ) වරෙන්තුවක් නොමැතිව තම අත් අඩංගුවේ සිටින තැනැත්තෙකු ඉහතින් දැක්වූ පරිදි මහේස්ත්‍රාත් බලය හිමි නිළධාරියෙකු ඉදිරියට ගෙන ඒමේ යුතුකම් ඕනෑකමින්ම වැරදි සහිතව  පැහැර හැරීමේ වරදට වරද කරු වන නිළධාරියෙක්,


(උ) තම අත් අඩංගුවේ සිටින යමෙකුට ගැලවී යන්නට ඉඩ හරින නිළධරියෙක්,


(ඌ) තම අත් අඩංගුවේ සිටින තැනැත්තෙකුට නුවමනා කායික බලහත්කාරකම් කරන නිළධාරියෙක්.