Fri. Jul 5th, 2024
Spread the News

මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙහිම ප්‍රගුණ කළහැකි පහසු භාවනා අරමුණක් බව ධර්මයේ සඳහන් වෙනවා. බොහෝ ආනිසංස ගෙනදෙන, විපුල ආනිසංස ගෙනදෙන උතුම් භාවනා ක්‍රමයක්. මේ උතුම් භාවනා කමටහන පිළිබඳ වඩා හොඳින් නිවැරැදිව හදාරා පිළිවෙත් ගරුකව වැඩිය යුතු වෙනවා.

මෙත්සිත මනාව දිගු කාලයක් ප්‍රගුණ කිරීමේදී සිතට දැනෙන සැහැල්ලුව සහනය වචනයෙන් කියා නිම කරන්න බැහැ. එහි මහ පුදුම බලයක් ශක්තියක් තිබෙනවා. කිසිවෙකුට මැඩ පවත්වන්න නොහැකි යටපත් කරන්නට නොහැකි උසස් ආරක්ෂාවක් රැකවරණයක් එයින් ලැබෙනවා. මහා බලගතු ආරක්ෂාවක්. තමා වටා ගොඩ නැගෙනවා.

ඒ අනුව ප්‍රධාන වශයෙන්

මෛත්‍රී භාවනාවේ අනුසස් ලෙස

1. “සුඛං සුපති”🌸

මෙත් සිත වඩන්නා ඉතා සුව පහසුවට නිදයි. නින්ද පුද්ගලයෙකුට අත්‍යවශ්‍යය ම දෙයකි. අද නොයෙක් දෙනා නින්ද නොයාමේ පීඩනයෙන් පෙළෙති.

2. “සුඛං පටිබුජ්ඣති”🌸

සුවසේ පිබිදෙයි. ඇතමෙක් උදෑසන අවදි වීමේ දී නොයෙක් අපහසුතාවයන්ගෙන් දුක් විඳිති. මෙත් වඩන්නාට එම වෙහෙසීම් කිසිවක් නොමැත.

3.“න පාපකං සුපිනං පස්සති”🌸

නපුරු සිහින නොදකී. මෙත් වඩන්නා හට නින්දේ දී සිහින දැකීමෙන් බාධාවක් සිදු නොවේ.

4.“මනුස්සානං පියෝ හොති”🌸

තමා මිනිසුනට ප්‍රිය උපදවන කෙනෙක් වෙයි. සෑම දෙනා මෙත් වඩන්නා ප්‍රීතියෙන් පිළිගනී.

5.“අමුනුස්සානං පියෝ හොති”🌸

මෙත් වඩන පුද්ගලයාට අමනුෂ්‍ය උපද්‍රව ඇති නොවේ. නිතර මෛත්‍රී වඩන නිසා අමනුෂ්‍යයින්ගේ ප්‍රසාදයට ද ලක්වේ.

6.“දේවතා රක්ඛන්ති”🌸

මවක් පුතෙකු රකින අයුරින් දෙවියෝ මෛත්‍රී වඩන්නා රකිති.

7.“නාස්ස අග්ගි වා බිසං වා සත්ථං වා ඛමති”🌸

මෙත් වඩන පුද්ගලයාට ගින්නෙන් විසෙන් ආයුධයෙකින් අනතුරක් සිදුනොවේ.

8. “තුවටං චිත්තං සමාධියති”🌸

මෛත්‍රිය දියුණු කරන්නාගේ සිතේ සමාධිය ඉක්මනින්ම වර්ධනය වේ.

9.“මුඛවණ්ණෝ විප්පසීදති”🌸

මුහුණ ඉතා පැහැපත් වේ. අන්‍යයන්ට ප්‍රිය උපදවන දැකුම්කළු මුහුණක් ඇත්තෙක් වේ.

10. “අසම්මූල්හෝ කාලංකරෝති”🌸

සිතේ මුළා බවට (අවසිහියෙන් යුක්ත බවට) පත් නොවී මරණය වෙයි. සිහි ඇතිවම මරණයට පත්වේ.

11.“උත්තරීං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකුපගො හෝති”🌸

රහත් භාවයට පත්වූයේ නැතිනම් බ්‍රහ්ම ලෝකයේ උප්පතිය සිදුවේ.

මෙත්තා කියන පාලි වචනය සංස්කෘත භාෂාවෙන් මෛත්‍රි ලෙස දක්වනවා. මිතුරුකම, හිතවත්කම, යහළුකම කියන අදහස් මෙහි ගැබ්වෙනවා. සාමාන්‍ය මිනිසා අදහස් කරන මෛත්‍රිය විවිධාකාර විය හැකියි. තමාට තම හිතවත් අයට, දරුවනට, යහළුවනට, ඥාතීන්ට අහිතවත් අයට, සතුරු අයට ඔවුන්ගේ මෛත්‍රීය වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මෙත්සිත කෙලෙස් දුරු කිරීමට, කෙලෙස් නැසීමට මිස කෙලෙස් වැඩීමට නොවේ. එනිසා මෛත්‍රිය රාගය, ආලය, කාමය ආදරය සමඟ බැඳුන එකක් නොවේ. එය පටිසෝතගාමි ප්‍රතිපදාවකි. මෛත්‍රියට සෘජු සතුරා වන්නේ ද්වේශයයි. එය අපට පැහැදිලිව හඳුනාගන්න හැකියි. රාගය, ආලය, කාමය, ආදරය යන ක්ලේශධර්ම මෛත්‍රියට සතුරු වෙයි. එය හඳුනා ගැනීමට බොහෝ අපහසු වේ. සතුරා සතුරු ලෙස එන්නේ නම් අපට හඳුනා ගැනීමට අපහසු නොවේ. සතුරා පි‍්‍රය හිතවතකු කල්‍යාණ මිත්‍රයකු, විශ්වාසවන්ත උදව්කරුවකු විලසින් පැමිණෙන්නේ නම් ඔහු හඳුනා ගැනීම අතිශය දුෂ්කර ය.

බොහෝ විට මිතුරු වෙසින් පැමිණෙන සතුරාට ගොදුරු වන අවස්ථා උදාවෙනවා. මෛත්‍රී වෙසින් උපදින රාගය, රතිය, කාමය, ආලය ආදී ක්ලේෂයන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර වේ. මේ සඳහා ඉතා උසස් ලෙස සිහිනුවණ හා දහම් අවබෝධය තිබිය යුතුය. උසස් ගුරු ඇසුර ද තිබිය යුතු ය. අපට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මෛත්‍රිය ඉතාම ශ්‍රේෂ්ඨයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ නැත. තමාට හිතවතාට, මිතුරාට, ඥාතියාට දුවට, පුතාට, මවට පියාට, මැදහත් අයට සතුරාට ආදී වූ මේ සැමට සමසේ අපරිමිත මෛත්‍රිය පැතිරවිය යුතුය. එය අපි හැමෝම භාවිත කරන කරණීය මෙත්ත සූත්‍රයේ පැහැදිලිව සඳහන්ව තිබෙනවා.

‘’මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒතංපි සබ්බ භූතේසු
මානසං භවයේ අපරිමානං’’

උතුම් මව් පදවිය උසුලන, ආදරය, කරුණාව, මෛත්‍රියෙන් පිරිපුන් උසස් දරු සෙනෙහසක් ඇති මවක් යම්සේ සිය දිවි දෙවෙනි කොට තම එකම පුතු ආරක්ෂා කරන්නී ද එමෙන් සියලු ලෝක සත්ත්වයා වෙත අපරිමිත මෙත්සිත පැතිරවිය යුතුය. එය බුද්ධ චරිතයේ ආදර්ශයකි.

අපේ බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රි බලය, ශක්තිය අපරිමිතයි. මෙතෙකැයි කියා ප්‍රමාණ කළ නොහැකිමය.

දරුණු සොරුන්, රෞද්‍ර යක්ෂ, නාග භූතාදීන් පහසුවෙන් දමනය කිරීමටත් තම වසඟයට ගැනීමටත් හැකියාව ලැබුණේ අපරිමිත මෛත්‍රී චිත්ත බලය නිසයි. දුටුවන් බියෙන් සැඟවී පලායන තරම් භයානක වූ නාලාගිරි ආදි තිරිසන් සතුන් පවා අහිංසක සැදැහැති දරුවන් සේ සිරිපා මුල දනින් වැඳ වැටෙන පමණට සංවර කිරීමට, දමනය කිරීමට හැකිවූයේ ඒ උතුම් මෛත්‍රි බල ශක්තියෙනි. ජීවිත කාලය පුරාම ද්වේශයෙන් ක්‍රෝධයෙන්, වෛරයෙන් අනේක විධ තර්ජන, ගර්ජන, වදහිංසා පැමිණවීමට උත්සාහ කළ දේවදත්තට කිසිදු වෙනසකින් තොරව මෙත්සිතම වැඩූහ. ගිහිකළ තමනට දාව උපන් රාහුල කුමරුට වැඩි මෛත්‍රියක්, කරුණාවක් නොපැවැත් වූහ. සියල්ලටම සම සිතින් මෙත්සිත වැඩුවා. මහා කාරුණික තථාගතයන් වහන්සේ ගේ මේ උතුම් ආදර්ශයම ගුරුතන්හි තබා සියලු සතුනට සම මෙත් සිතම පැතිරවීමට හැකි හැම උත්සාහයක්ම ගත යුතුයි.

🌹මෛත්‍රී සිත වඩනු කැමති සැදැහැවත් අය පළමුව ද්වේශයේ ආදීනව මැනවින් නුවණින් විමසා බැලීමට හුරුකර ගතයුතු වේ.

අප සැමගේ සිත්වල ද්වේශය නමැති ක්ලේශ මූලය පවතී.

ඇතැම් අයගේ චරිත ද්වේශය බහුල කොට ඇත. පි‍්‍රය මනාප මුහුණින් යුතුව සියල්ල ඉවසීමේ ශක්තිය දියුණු කළ අයද අපට දක්නට ලැබේ.

කෙසේ වුවද ද්වේශයේ ආදීනව මෙනෙහි කර භාවනාවට යොමුවීම වඩා සාර්ථක ක්‍රමය වේ.

ද්වේශය සිත කය දවාලන ගින්නකි.

සිත කිලිටි කරන, සිත දූෂණය කරන කය දවාලන ගින්නකි.

සිත කිලිටි කරන, සිත දූෂණය කරන ප්‍රබල අකුසල මූලයකි.

කුසල් අකුසල් හොඳ නරක, යහපත අයහපත හඳුනා ගැනීමට නොහැකි පරිදි සිත අන්ධ කරන නීවරණ ධර්මයකි.

සිත ද්වේශයෙන් වෙලාගත්කළ ඇවිලගත් කළ එහි බලපෑම සිතට පමණක් නොව ශරීරයටද බලපෑම් කරයි.

රුධිර ධාතුව අපිරිසුදු කරයි.

අපි‍්‍රය අමනාප පෙනුමක් ඇතිකරයි.

දුටුවන්ගේ පිළිකුලට ලක්වෙයි.

මරණින් මතු අපාගත වීමට සිදුවෙයි.

ද්වේශයෙන් ඇවිලගිය ද්වේශයෙන් වෙලුන සිත් ඇති පුද්ගලයා කරන කියන සිතන සියල්ලම දුෂ්ටය,
නපුරුය,

සත්ව හිංසනය ඝාතනය සිදු කරයි.

සොරකම, වංචාව, දූෂණ ක්‍රියා කරයි.

තමාට සමාජයට අහිතකර ක්‍රියා කරයි.

දුෂ්ට, රළු, සිත් රිදවන, සිත් කිලිටි කරන වචන කතා කරයි.

අමිහිරි, අපි‍්‍රය අමනාප වචන බහුල ව කථා කරයි.

සිතිවිලිත් දුෂ්ට වෙයි.

තමාටත් සමාජයටත් අහිතවන නපුරු, දුෂ්ට දේ කීමට කිරීමට සිතයි.

එමෙන් ම සියදිවි හානි කර ගැනීම, අන් අයගේ ජීවිතහානි කිරීම ආදී පවිටු ක්‍රියාවන්හි නිරත වෙයි.

බිය ශෝකය හැඬීම වැලපීම ආදිය ඇතිවනුයේ ද්වේශය හේතුවෙනි.

මෙලෙස විවිධ අයුරින් විවිධ ස්වරූපයෙන් අපට දකින්නට, අසන්නට, අත්විඳින්නට ලැබෙන ද්වේශයේ ආදීනව නුවණින් විමසා බලමින් මේ මෛත්‍රිය පුරුදු කරන්නට පටන් ගැනීම මහත් වූ උපකාරයකි. සිත උදාසීන නොවි පහසුවෙන් මෙත් වැඩිමට දේවෙශයේ ආදිනව මෙනෙහි කිරීම අතිශය වැදගත් වේ.

🌹අනතුරුව මනා නුවණින් මෙත්තානිසංස විමසා බැලීම වැදගත් වේ.

සිතේ සංවරය, සැහැල්ලුව ඇතිකරයි.

සිත දමනය වෙයි.

කෙලෙස් දාහය සංසිඳවයි.

සතුට, සැනසුම, පී‍්‍රතිය සොම්නස උදාකරයි.

සිතේ ඇතිවන යහපත් ගුණ ශක්තිය සිරුරට ද යහපත් බලපෑම් ඇතිකරයි.

රුධිර ධාතු ව පිරිසුදු කරයි.

රුධිර සංසරණ ක්‍රියාවලිය ශරීරයට හිතකර ලෙස සැකසෙයි.

හදවතේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි.

සිත ප්‍රභාෂ්වර කරන අතර ශරීරයද පැහැපත් කරයි. අලංකාර කරයි. පියකරු පෙනුමක් ඇති කරයි.

දුටුවන් අවනත වෙයි.

සැමගේ පි‍්‍රය හිතවතෙක් වෙයි.

සිතෙහි ඇතිවන පිරිසුදු පිවිතුරු බව නිසා සියලු කායික ක්‍රියා යහපත් වෙයි.

මිහිරි වචන කථා කරයි. කනට පි‍්‍රය උපදවන සිත් සනසන යහපත් වචන කථා කරයි.

මෙලෙස අනේකවිධ මෛත්‍රී අනුසස් නුවණින් විමසා බැලීම මෛත්‍රී භාවනාවේ පූර්ව ක්‍රියාවකි.

එය උසස් ප්‍රතිඵල ගෙනදීමට හේතුවෙයි.

මෛත්‍රී භාවනාව මහා බලගතු ආනිසංස ඇති කමටහනක් !

අතිශයින් උසස්, ප්‍රබල අනුසස් ලබාදෙන බව බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල ධර්මය තුල පෙන්වා වදාරා තිබේ.

මේ භාවනා ක්‍රමය සියලු තන්හිම, සියලු ඉරියව්වකදීම ප්‍රගුණ කළ හැකි වේ. එය කරණීය මෙත්ත සූත්‍රයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

‘තිට්ඨං චරං නිසින්නෝවා
සයා නෝ වා යාව තස්ස විගත මිද්ධෝ’

සිටගෙන සිටියත් ගමනේ යෙදුණත් සක්මන් කරන මොහොතෙත් අසුන්ගෙන සිටියත්, සයනය කරන අවස්ථාවේදීත් අපිරිමිත මෙත් සිත පතුරවන්න හැකියාව තියෙනවා.

එපමණක් නොව නින්දට ගොස් නින්ද එනතුරුත් මෙත් සිත වඩන්න හැකි බව පෙන්වා දී තිබෙනවා.

මෙයින් අපට පැහැදිලි වන්නේ සෑම ඉරියව්වක සිටම මේ භාවනා ක්‍රමය වඩන්න හැකි බවයි.

මේ සඳහා නිශ්චිත වෙන් වූ ඉරියව්වක් නැත.

සන්සුන් පරිසරයක හැකි පමණ කාලයක් එකම ඉරියව්වක සිට මේ කමටහන වැඩීමෙන් මෛත්‍රී ධ්‍යාන උපදවන්න හැකි වෙනවා.

මෛත්‍රී කමටහන හොඳින් ප්‍රගුණ කර ධ්‍යාන වඩා සෙසු භාවනා කමටහන් ප්‍රගුණ කිරීමටත් විදර්ශනා භාවනා ක්‍රම දියුණු කිරීමටත් පහසු වෙනවා.

බුදු වදනට අනුව ද්වේශය ප්‍රහීණ කිරීමට මෙත්තා භාවනා ක්‍රමය මැනවින් ප්‍රගුණ කළ යුතුය.

ද්වේශය, ක්‍රෝධය, නො ඉවසීම, පලි ගැනීම ආදී සිතිවිලි බහුල පුද්ගලයා වැඩි වැඩියෙන් මෙම භාවනා ක්‍රමය ප්‍රගුණ කිරීම වැදගත් වෙනවා.

ද්වේශ චරිත ඇතියනට වඩාත්ම යෝග්‍ය භාවනා ක්‍රමයද මෙයම වේ.

අප තුළ ද්වේශය ආකාර තුනකට පවතියි.

👉අනුසය – ද්වේශය යටපත් වී ඇති අවස්තාව (නිදා සිටින නාගයෙක් සේ)

👉පරියුට්ඨාන – ද්වේශය උස්සන්න වෙන අවස්තාව (පහර දෙන්න සූදානම් උන නාගයෙක් සේ)

👉වීතික්කම – ද්වේශය ඉක්මවා යාම පිටාර ගැලීම (පන්න පන්නා දෂ්ට කරන නාගයෙක් සේ)

🌼අප නිති රකින සීලය කය වචන දෙක සංවර කරයි. එහෙයින් ද්වේශයේ වීතික්කම අවස්ථාව පාලනය කිරීමට නිතිසිල් සිහි නුවණින් රැකිය යුතුවේ.

🌼සමාධිය සිත සංවර කරයි. එය ද්වේශයේ නැගීසිටීම හෙවත් පරියුට්ඨාන අවස්ථාව පාලනය කරයි.

🌼අනුශය අවස්ථාවත් නැති කිරීමට මැනවින් විදසුන් වැඩිය යුතුය. විදර්ශනා ප්‍රඥාවෙන් සියලු කෙලෙස් මූලයන් විනාශ කර දමයි.යලි ක්ලේශයාගේ නැගී සිටීමක් නැත.

මේ අනුව බොහෝ ආනිසංස, සහ අවසානයේ නිර්වාණය දක්වාම උපකාරී වන භාග්‍යවතුන් වහන්සේ විසින් කෙලෙස් ප්‍රහානය පිණිස අනුදැන වදාල මූලික භාවනා කමටහනක් ලෙස මෛත්‍රී භාවනාව පුරුදු කරගැනීම පිණිස සැමටම මෙම ධර්ම දානමය කුසලය ද උපකාර වේවා. !!!

🙏තෙරුවන් සරණයි 🙏
නමෝ බුද්ධාය !!!

————————————————————————–
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
﹏﹏﹏ සදහම් අරුණැල්ල ﹏﹏﹏

අප හට දහම් පණිවිඩ එවා ඇත්තේ පූජ්‍ය නාපානේ ධම්මානන්ද හිමි විසින්