Mon. Jul 8th, 2024
Spread the News

මේ ළමයින් විකුණුවාද?    source:

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක අංකයට කිසිවකු විසින් දුරකතන පණිවිඩයක් ලබාදුන්නේය. ඒ පණිවිඩය වෙනදාට ලැබෙන පණිවිඩවලට වඩා හාත්පසින්ම වෙනස් අතිශයින්ම වැදගත් ඔත්තුවක් විය.

ඒ දුරකතන ඇමතුම ලබාදුන් තැනැත්තා හෙළිකර ඇත්තේ මොරටුව, රාවතාවත්තේ පිහිටි සුවිසල් නිවෙසක බේබි ෆාම් එකක් පවත්වාගෙන යන බවත් එහි සිටින සිඟිත්තන් මෙරට පමණක් නොව විදෙස්වලටද විකුණන බවත්ය. එපමණක් නොව මෙහි ආබාධිත සහ මන්ද මානසික දරුවන් පවා රඳවාගෙන සිටින බවත් ඒ දරුවන් පවා අධික මිල ගණන්වලට විකුණන බවත් ඒ ඔත්තුව ලබාදුන් තැනැත්තා පවසා ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක අංකයට ලැබුණු මේ ඔත්තුව සටහන් කරගත් නිලධාරීන් ඒ බව වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියට දැනුම් දුන්නේ රාවතාවත්තේ පිහිටි ඒ ස්ථානය වැටලීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහාය.

අනෝමා දිසානායක මහත්මිය ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයේ කණ්ඩායමක්ද සමග රාවතාවත්ත බලා පිටත්ව ගියේ මෙම සුවිසල් නිවස සෝදිසි කර බැලීමටය. ඒ ලැබුණු තොරතුරු ඇත්ත නැත්ත ගැන පරීක්ෂා කිරීමටය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කණ්ඩායම ඒ සුවිසල් නිවසට ඇතුළු වී කාමර කිහිපයක්ම සෝදිසි කර බැලීමේදී දුටුවේ පුදුමාකාර දසුන්ය. හැමතැනම තොටිලි සවිකර තිබූ අතර ඒවායේ දිනක් වයසැති දරුවා සිට වසරක් වයසැති දරුවන් දමා තිබූ ඇති අයුරු ඔවුන්ට දක්නට ලැබී ඇත.

මෙම ළමා නිවාසය බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති එකකි. එය ලියාපදිංචි කර ඇත්තේ 1992 වසරේ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ළමා නිවාසයේ පාලකයින් හා පාලකවරියක් ළමා නිවාසයේ සිටින ළමයින් ගැන තොරතුරු ඇතුළත් ලේඛන දෙකක් ඉදිරිපත් කර ඇත.

එයින් එක් ලැයිස්තුවක වූයේ පරිවාස දෙපාර්තමේන්තුව මගින් බාරදුන් ළමයින් 26 දෙනෙකුගේ පමණ විස්තරය. අනෙක් ලැයිස්තුවේ ඇතුළත් වී තිබුණේ පරිවාස දෙපාර්තමේන්තුව මගින් බාර නොදුන් වෙනත් ක‍්‍රමවලට ලබාගත් ළමයින් 16 දෙනෙකුගේ විස්තර යැයි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පවසන්නීය.

මේ ලැයිස්තු දෙකටම අයත් නොවූ කිසිම ලේඛනගත කිරීමක් සිදුකර නොමැති ළමයින්ගේ සංඛ්‍යාව 30ක් පමණ වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පවසන්නීය.

කෙසේ වෙතත් මෙම ළමා නිවාසයේ රඳවාගෙන සිටි දිනක් වයසැති දරුවාගේ සිට අවුරුදු පහ අතර වයසේ ළමයින් 75 දෙනෙකු පමණ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් සොයාගනු ලැබූ බව සභාපතිනිය කීවාය.

ආබාධිත සහ මන්ද මානසික ළමයින් තබා ගැනීම සඳහා සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු වුවත් මෙතැන එවැන්නක් සිදුවී නොමැති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

සොයාගත් දැරියන් 70 දෙනා අතර සිටි අලූත උපන් දරුවන්ගේ සංඛ්‍යාව 12කි.

ගැබ්ගත් කතුන් 20ක් පමණද මෙම ළමා නිවාසයේ සිටි අතර ඔවුන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණ මෙහි ලැඟුම්ගෙන සිටින්නියන් යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

අනියම් සබඳතා සහ අනවශ්‍ය ගැබ් ගැනීම මත උපදින දරුවන් මෙම ස්ථානයට රැගෙන ආ කාන්තාවන්ද සිටින බවට තොරතුරු පරීක්ෂණ කණ්ඩායම්වලට ලැබී තිබෙන බව දැන ගැනීමට ඇත.

මෙම ළමා නිවාසය සෝදිසි කිරීමට ගිය අවස්ථාවේ එහි ඇමරිකන් සහ ජර්මන් ජාතික යුවළක් සිටි බවත් ඔවුන් දරුවකු ගැනීම සඳහා එහි පැමිණ සිටි අය යැයි විශ්වාසයක් පවතී.

ඔවුන් දරු දෙදෙනෙකුගේ මවක් සහ පියෙක් බව ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වාර්තා සමගත් පරීක්ෂා කර බැලීමේදී පරීක්ෂණ කණ්ඩායමට පෙනී ගොස් තිබේ.

දරුවන් දෙදෙනෙකු සිටින යුවලක් මෙසේ තවත් දරුවකු ගැනීමට උත්සාහ කළේ ඇයිද යන්න බලවත් සැකයට තුඩු දෙන හේතුවක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් මතුකරන තවත් ප‍්‍රශ්නයක් පවතී. ආබාධිත හා සිරුරේ යම් යම් විකෘතිතා ඇති ළමයින් දෙදෙනෙකු මිලදී ගැනීමට  දෙදෙනකු පමණ සිටි අතර මෙවැනි ළමයින් ගන්නේ කුමකටද යන්න ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ගේ අවධානයට යොමුවී ඇත.

මෙවැනි ළමයින් හදාවඩා ගැනීමට ලබාගන්නවා යැයි සිතිය නොහැකි අතර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට විදෙස්වලට රැගෙන යන්නේද යන්න ගැන සොයාගැනීමට පුළුල් විමර්ශනයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනටමත් ආරම්භ කර ඇත.

මෙම ළමා නිවාසය පවත්වාගෙන යනු ලබන්නේ එක්තරා ආගමික සංවිධානයක් මගිනි. මේ ආගමික සංවිධානයට විදෙස් රටවල් ගණනාවකින් මුදල් ආධාර විශාල වශයෙන් ලැබෙන බවද පරීක්ෂණ කණ්ඩායම් පවසති.

මෙරටදී රුපියල් 35,000 සිට රුපියල් 50,000 අතර මිල ගණන්වලට ළමුන් මිලදී ගත් අය පවා සිටින බවට තොරතුරු පරීක්ෂණ කණ්ඩායම්වලට ලැබී තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය සඳහන් කරයි. මේ ගැන වැඩිදුරටත් පරික්‍ෂණ කෙරේ.

එහි පැමිණ සිටි  විදේශීය කාන්තාව ඇමරිකන් ජාතික මනෝ වෛද්‍යවරියක් බවද ඇය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට පවසා ඇත.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතියේ රැහැනට කොටුකර ගන්නා ලෙස ජනාධිපතිතුමාද තමාට දුරකතනයෙන් කතාකර දැනුම් දුන් බව ඇය පවසන්නීය.

මෙම ස්ථානයේදී ළමයින් විකිණුවාද නැතිනම් සිදුකළේ කුමන කාර්යයක්ද ගැන පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ඩබ්ලිව්. බෝපිටිගොඩ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක්ද පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

පරීක්ෂණ මට්ටමේ තිබෙන නිසා මේ සම්බන්ධව මීට වඩා තොරතුරු දැන්ම ප‍්‍රසිද්ධ කළ නොහැකි බවද අනෝමා දිසානායක මහත්මිය වැඩිදුරටත් කීවාය.

රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතා විසින් ළමා ආරක්ෂණ අධිකාරියට සහාය වීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් පත්කරනු ලැබ ඇත.

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

ඡායාරූප – ඇලෙක්සැන්ඩර් බාලසූරිය සහ කුසල් චමත්

 

 

 

මේ පළමු අවස්ථාව

ජාතික ළමාරක්‍ෂක අධිකාරිය සභාපතිනී අනෝමා දිසානායක

මේ තරම් දරුවන් විශාල සංඛ්‍යාවක් විදේශයන්ට විකිණීමේ ජාවාරමක් හෙළි කරගත් පළමු අවස්ථාව මෙයයි.

1929 අපේ ක්‍ෂණික දුරකතන අංකයට ලද ඇමතුමක් මත නිලධාරි ඒ මොහොතේම ගොස් මෙම ළමා නිවාසය වටලනු ලැබුවා.

අප එහි යන විටත් ඇමෙරිකානු ජාතික යුවලක් හා සිංහල, ජර්මන් මිශ‍්‍ර යුවලක් දරුවන් මිලදී ගැනීමට පැමිණ සිටියා.

මෙම ළමා නිවාසය වසර 20කට අධික කාලයක් පුරා පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය මත පවත්වාගෙන යන්නකි. එසේ ලියාපදිංචිය ලත් ළමා නිවාස අවම වශයෙන් වසරකට වරක් හෝ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයට ලක්විය යුතුයි. මා එසේ කියන්නේ පනතේ ප‍්‍රතිපාදන අනුවයි.

අනෙක් කාරණය විදේශීය යුවලකට ශ්‍රී ලාංකික දරුවෙකු දරුකමට හදා වඩා ගැනීමට දීමට පෙර එම විදේශීය යුවළ පිළිබඳව සියලූ තොරතුරු ලබාගත යුතුයි. නීත්‍යානුකූල තත්ත්වයට අනුව දරුවකු එසේ දරුකමට හදා වඩා දීමට අනුමැතිය දිය යුත්තේ පරිවාස දෙපාර්තමේන්තුවයි. ශ‍්‍රි ලංකාව තුළ හෝ එසේ දරුවෙකු හදා වඩා දීමේ නීත්‍යනුකූල අනුමැතිය ලබාදීමට දීර්ඝ කාලයක් ගත වෙනවා.

නමුත් මොරටුවේදී අපට හමුවූ එක් විදේශීය යුවලකට ඉල්ලූම් කළ දිනට පසුදිනම අනුමැතිය හිමිව තිබෙනවා. එය බරපතළ ප‍්‍රශ්නකාරී තත්ත්වයකි.

එයින් පැහැදිලි වෙනවා මේ ජාවාරමේ සූක්‍ෂමභාවය. සමහරවිටක මෙය පරිවාස දෙපාර්තමේන්තුවේ පවා ඇස් වසා එම ලියකියවිලි ව්‍යාජ ලෙස සකසමින් කළ කූඨ ප‍්‍රයෝගයක් විය හැකියි.

කෙසේ වුවත් අපගේ ඉල්ලීම අනුව මෙම ළමා නිවාසය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

අනුරාධා නිල්මිණි

 

 

One thought on “මේ ළමයින් විකුණුවාද?”
  1. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මොරටුව, රාවතාවත්තේ පිහිටි සුවිසල් නිවෙසක බේබි ෆාම් එකක් පවත්වාගෙන යන බව කියන ඔත්තුව මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබුනානම් එම අපරාධ සියල්ල යටවී දැන් වෙනත් සත්‍යක් මතුවන්නේ කිනම් බලවේගයක් මෙහි පිටුපස තිබෙන නිසාද. තවද අගරද ගුරු රාජ්ජය උත්සව වර්ජනය කරන්නේ කාගෙන් පාඩුව පිරිමසා ගැනීමට. ඇති තරම් මහනායක හිමිවරු සිටින රටක එක් ආගමික පුජකයෙකු උත්සව වර්ජනය කිරීමෙන් කිතුනුවන් නත්තල් උත්සව නොගෙන සිටියිද?
    කෙසේ වුවත් අපගේ ඉල්ලීම නම් පරීක්ෂණ යට නොගසා වරද කරුවන්ට දඩුවම් දිය යුතුයි. සංචාරක හෝ වෙළඳ විසා රැගෙන ඇවිත් අපේ දරු සම්පත විකිනීමට හෝ ආගම් මාරුව සඳහා හෝ පිටරට පර සුද්දන් හෝ ඒන්ජල් ලා සඳහා දරුවන් භිකිරිම සාපරාධි ක්‍රියාවකි. මෙම ඉපෙදෙන දරුවන් තම දෙමවුපියන්ට හෝ වෙනත් ඤතියෙකුට පැවරීම මෙහි සිදුවෙනවානම් අගයකල හැක අගරද හට තිබෙන අමරුවද සොයාබැලිය යුතුය.

Comments are closed.