Mon. Jul 8th, 2024
Spread the News

මේ ජනරැල්ලට පිටුපෑවොත්
මහින්දට වෙන්නේ
සිරිසඟබෝ වෙන්නයි
– බෙංගමුවේ නාලක හිමි

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා යළි ශ්‍රීලනිපයේ නායකත්වයට සහ ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්‍ෂක ලෙසින් නම් කළ යුතු යෑයි ශ්‍රීලනිපයේ හවුල්කාර පක්‍ෂ කිහිපයක්‌ නගන හඬ නියෝජනය කරන එක්‌ හිමිනමකි බෙංගමුවේ නාලක ස්‌වාමීන් වහන්සේ. උන්වහන්සේ දිවයින ඉරිදා සංග්‍රහය සමග සිය අදහස්‌ පළ කළ අයුරුයි මේ.

මහින්ද නැති රට නමින් සම්මන්ත්‍රණ පවත්වන්නට රැස්‌වීම් සංවිධානය කරන්නට ඔබ වහන්සේ අදහස්‌ කළේ ඇයි?

වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රයේ රට ගැන හිතන ලෝකයටත් ඉදිරිපත් කරන්න පුළුවන් නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා නිසයි. ඔහු දැනුමෙන් හා පෞරුෂත්වයෙන් පිරුණු නායකයෙක්‌.

හිටපු ජනාධිපතිතුමා පිළිබඳ ඔබ වහන්සේ දරන මේ මතය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රතික්‍ෂේප කරන බවක්‌ පෙනෙනවා නේද?

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වයට එනවාට කැමති නැති බවක්‌ අපට පෙනෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දැන් මෙහෙයවන්නෙ ඒ දෙන්නයි. ඒ වගේම අගමැතිකම බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍රීලනිපයේ සමහරුන් මහින්ද මහතා යළි එනවට විරුද්ධයි. මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රීලනිපය තුළින් අද විරෝධයක්‌ මතුවන්නේ මෙම හේතු නිසා මිස ඔහුගේ හැකියාවේ දැනුමේ හෝ පෞරුෂයේ අඩුපාඩුවක්‌ නිසා නොවෙයි.

ඔබ වහන්සේ දකින විදිහට මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පැරදුණේ ඇයි?

පසුගිය ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු රාජිත සේනාරත්න මහතාත් චනද්‍රිකා කුමාරතුංග මහත්මියත් ප්‍රකාශ කළා මේ ජයග්‍රහණය ඔවුන් කාලයක්‌ තිස්‌සේ කළ සැලසුමක්‌ නිසා ලබාගත් ජයග්‍රහණයක්‌ බව ඒ සැලසුම කුමන්ත්‍රණයක්‌. ඒ සැලසුම, උපක්‍රමය, කුමන්ත්‍රණය වටහා ගැනීමට නොහැකිවීම තමයි මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයට පළමු වැනි හේතුව. ඒ කුමන්ත්‍රණය ඔහු වටහා ගත්තා නම් ඊට පිළියම් යොදන්නට තිබුණා. මම හිතන විදිහට මෙය 2011 පමණ සිට බටහිර රටවල්වලින් සහ ඉන්දියාවෙත් සහයෝගය ඇතිව ක්‍රියාත්මකවූ සැලසුමක්‌.

වැරදි කළ අයට දඬුවම් නොදීම මහින්ද මහතාගේ පරාජයට දෙවැනි හේතුවයි. එය මහින්ද මහතාගේ දුර්වලකමක්‌. ඒ වගේම අපේ රටට අවශ්‍ය ආකාරයට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාතක්‌මක වුණත් සාමාන්‍ය මහජනතාවගේ සමහර ඕනෑ එපාකම් ඉෂ්ට වුණේ නෑ. ඒ පිළිබඳ ජනතාව තුළ යම් කලකිරීමක්‌ ඇති වී තිබුණු බව පෙනෙනවා. නමුත් වැරැදි කළ අයට දඬුවම් කළත් තවදුරටත් ජනතා අවශ්‍යතා ඉෂ්ට කළත් කිහිපදෙනකු එකතු වී කළ කුමන්ත්‍රණය වටහා නොගැනීම නිසා මහින්ද රාජපක්‍ෂ මහතා පරදිනවා.

මහින්ද නැති රටේ විය හැකි ෙ€දවාචකය ගැන අද ඔබ වහන්සේ ඇතුළු පිරිසක්‌ ජනතාව දැනුවත් කළත් මහින්ද සිටි රටේ සිදුවුණු අක්‍රමිකතා ගැනත් කුඩු ජාවාරම් ඇතුළු මහා පරිමාණ දූෂණ ගැනත් දැන් තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා නේද?

හිටපු ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ සිදුවූවා යෑයි කියන වංචා දූෂණ පිළිබඳ මතයක්‌ ගොඩනැගෙමින් තිබෙන බව ඇත්ත. නමුත් මේ කිසිවක්‌ තවම ඔප්පුවෙලා නෑ. නීතිය හමුවේ ඔප්පු නොවුණු දූෂණ චෝදනා පිළිබඳ අදහස්‌ ප්‍රකාශ කරන්න බෑ. නීතියෙන් යම් පුද්ගලයෙක්‌ වරදකරු වන්නේ ඔහුට එරෙහි චෝදනා නීත්‍යානුකූලව ඔප්පු වුණොත් පමණයි.

මත්කුඩු හා මත්ද්‍රව්‍ය අපේ රටේ ව්‍යාප්ත වුණේ හිටපු ජනාධිපතිතුමාගේ කාලයේ පමණක්‌ නොවෙයි. පසුගිය ජනාධිපතිතුමියගේ පාලන කාලයේදී මත්කුඩු මහාපරිමාණයෙන් අත්අඩංගුවට ගත්තා. ඒ අනුව මත් උවදුර සමාජයේ බරපතළ ලෙස ව්‍යාප්තව ඇතැයි මතයකුත් ඒ අනුව පැතිරෙන්න පුළුවන්. ඊට පෙර ආණ්‌ඩුවලින් එලෙස විශාල ලෙස මත්කුඩු ජාවාරම්කරුවන් වැටලුවේ නෑ. අතුරලියේ රතන හිමියන් මේ මත්කුඩු උවදුර පිළිබඳ තදින් කතා කළත් පසුගිය ආණ්‌ඩුවෙන් උන්වහන්සේට මත්කුඩු නිවාරණ ඒකකයක්‌ බාර දී තිබුණා. ඒ සඳහා කාර්යාල ඇතුළු නොයෙක්‌ පහසුකම් දීලා තිබුණා.

පසුගිය ආණ්‌ඩුව සමයේ මත්කුඩු ව්‍යාප්තිය වැඩි වී ඇත්නම් උන්වහන්සේ අතිනුත් සිය රාජකාරිය හරිහැටි කෙරිලා නැති බවයි අපට පෙනෙන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම අද ලොකුවට මතුවෙලා පෙනුණට එය අපේ රටේ විශාල වශයෙන් ව්‍යාප්ත කළේ එල්ටීටීයයි. ඔවුන් ප්‍රධාන වශයෙන් මුදල් උපයන එක ජාවාරමක්‌ තමයි කුඩු, මත්කුඩු චෝදනාව පසුගිය රජයට එල්ල කිරීම සාධාරණ නෑ.

පසුගිය ආණ්‌ඩුවට එල්ල වුණු එක්‌ ප්‍රධාන චෝදනාවක්‌ සහෝදර සමාගම. එම නිසා පක්‍ෂයේ වැඩිදෙනා තුළ කලකිරීමක්‌ ඇති වූ බව සමහරුන්ගේ මතයයි. ජනාධිපති තනතුරට තෙවැනි වරටත් තරග කිරීම තම පවුලේ බලය පක්‍ෂය තුළ තර කර ගැනීමේ උපායක්‌ හැටියටත් පක්‍ෂය තුළ සමහරු විශ්වාස කළානේද. හිටපු ජනපති නැවත ශ්‍රීලනිපයේ නායකයා බවට පත්කිරීම තුළින් පක්‍ෂය තුළ යළිත් එබඳු තත්ත්වයක්‌ ඇති වේවිද?

මෙහිදී පැහැදිලි කළ යුතු කාරණා 2 ක්‌ තිබෙනවා. එකක්‌ සහෝදර සමාගම. පාලකයො තමන්ගේ ඥතීන්ට තනතුරු දීපු ඉතිහාසයක්‌ අපේ රටේ තියෙනවා. එය රාජ්‍ය පාලනය පහසු කරගැනීම පිණිස විශ්වාසය මත පදනම්ව කළ දෙයක්‌. ගෝඨාභය මහතා ආරක්‍ෂක ලේකම් නොවුණා නම් මේ යුද්ධය අවසන් කරන්න හැකිවේ යෑයි මා නම් හිතන්නේ නෑ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනෙක්‌ ඥති වංචා දූෂණ කළාය කියලා අපි හොයලා නෑ. නමුත් ඥතීන් සහෝදරයින් ළඟට ගැනීම විශ්වාසවන්තකමට කළ දෙයක්‌. බුදුහාමුදුරුවොත් තම උපස්‌ථායකයා හැටියට තෝරාගත්තේ ඥති සහෝදරයෙක්‌. බුදුකමට කොහොම වෙතත් නෑකමටවත් සලකයි කියලා උන්වහන්සේ හිතුවද දන්නේ නෑ.

අනෙක්‌ කාරණය හිටපු ජනාධිපතිතුමා තෙවැනි වරටත් ජනපති ධුරයට තරග කිරීම එතුමාගෙ අවශ්‍යතාවයට සිදු වූ දෙයක්‌ නෙමෙයි. එය ජනතාවගේ ඉල්ලීමක්‌. බෙදුම්වාදය අපේ රටෙන් තුරන් වෙනවා නම් තමා මේ තනතුරෙන් ඉවත්වීමට සුදානම් බව එතුමා ප්‍රකාශ කළා. බෙදුම්වාදය අවසන් නෑ, විග්නේශ්වරන් ඉන්නෙ බෙදුම්වාදී මතයේ, මුස්‌ලිම් කොංග්‍රසය ඉන්නේ බෙදුම්වාදී මතයේ, බෙදුම්වාදී මතය දේශපාලන වශයෙන් ක්‍රියාත්මක වුණොත් රට බෙදෙනව. අපේ රටේ බෙදුම්වාදී මතය පරාජය කරන්න සුදුසුම කෙනා මහින්ද රාජපක්‍ෂ මහතායි. බෙදුම්වාදය පරාජය කරලා මේ රට දිනවන්න නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය රටට අවශ්‍යයි කියලා අපිත් කල්පනා කළා. එම නිසා තෙවන වර ඉල්ලන්නැයි අපිත් එතුමාගෙන් ඉල්ලීමක්‌ කළා.

නමුත් ඔබවහන්සේලා දැන් මේ ක්‍රියාත්මක වන ආකාරය අනුව ශ්‍රීලනිපය දෙකට බෙදෙන්නෙ නැද්ද?

අපි කිසිසේත්ම ශ්‍රීලනිපය බෙදන්න බලාපොරොත්තු වන්නේ නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වගකීමක්‌ තිබෙනව සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට පස්‌සේ රටට වැදගත්කමක්‌ ලබාදුන් මහින්ද රාජපක්‍ෂ මහතාට කිසියම් තැනක්‌ දෙන්න. ඔහු අහක දාන්න පුළුවන් කෙනෙක්‌ නෙමෙයි.

යළිත් වතාවක්‌ ශ්‍රීලනිපයේ නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වෙයිද?

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නායකත්වය එතුමාට ආරාධනා නොකළොත් මොන ක්‍රමයකින් හෝ ඉදිරිපත් වන්නැයි පොදු ජනතාවගෙන් ආරාධනයක්‌ ලැබුණොත් මම හිතනවා මහින්ද රාජපක්‍ෂ මහතා එයි කියලා. එතුමා තීරණයක්‌ ගත්තොත් එය ශ්‍රීලනිපයට වඩා රට ගැන සිතීමක්‌. මන්ද අද මහින්ද රාජපක්‍ෂ මහතා සලකන්නේ ශ්‍රීලනිපයේ නායකත්වයටත් එහා ගිය ජාතියේ නායකත්වයක්‌ ලෙසයි. අපි මේ කරන්නෙ ශ්‍රීලනිපය දෙකඩ කිරීමක්‌ නෙමෙයි. නමුත් පක්‍ෂය දැනගන්න ඕන තම පක්‍ෂයටත් රටටත් වැදගත්කමක්‌ ලබාදුන් මේ නායකයාට තනතුරක්‌ ලබා දෙන්න. මේ ලක්‍ෂ 58 මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබුණු ඡන්ද. ඒ ජනතා හඬට පිටුපාන්න මහින්ද රාජපක්‍ෂ මහතාට හැකිවේයෑයි මම හිතන්නෙ නෑ. මේ ජනතා ඉල්ලීමට පිටුපාල තපසට ගියත් එතුමාට ඉන්න ලැබෙන්නෙ නෑ. එතුමාට සිරිසඟබෝ රජතුමාට වෙච්චදේ වෙනවා. එමනිසා මහින්ද රාජපක්‍ෂ මහතා දැන් කළ යුතු වන්නේ තපසට යැම නොවෙයි. දේශපාලන නායකත්වය බාර ගැනීමයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක
ඡායාරූප කණිෂ්ක හේවගේ