Fri. Jul 5th, 2024
Spread the News

මෙහෙම ගිහින් අන්තිමේදී  අපිවත් විකිණිලා යයිද?

source link:

ශ්‍රීලංකාවේ පුරවැසිභාවය නොමැති විදේශීකයන් විසින් රටපුරා පිහිටි වාණිජ අතින් ඉහළ වටිනාකමක්‌ ඇති ශ්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීම අද දිනෙන් දින ඉහළ යමින් පවතී.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඉඩම්වල අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක නොවීම නිසා මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වී ඇත.

අද අපි අනාවරණය කරන්නේ භූමියේ සැබෑ උරුමක්‌කාරයන්ගේ ඇස්‌වලට වැලි ගසා නීතියේ හිඩැස්‌ තුළින් රිංගායමින් විදේශීකයන් සහ විදේශීකයන්ගේ අවශ්‍යතාවක්‌ ඉටු කිරීම සඳහා සැදී පැහැදී සිටින පුද්ගලයන් සහ කණ්‌ඩායම් විසින් සිදුකරගෙනයන සුපිරි ජාවාරමක්‌ පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර් මිලියන හයයි දශම පහක්‌ පමණ (6.5) වේ. මින් 80% ක්‌ එනම් හෙක්‌ටයාර් මිලියන පහයි දශම දෙකක්‌ (5.2) ක්‌ රජයේ ඉඩම් වන අතර ඉතිරි 20% පෞද්ගලික ඉඩම් වේ. රජයේ ඉඩම් පාලනය නට ක්‍රියාත්මක විවිධ ආඥ පනත් යටතේ සිදුවේ. ඒ යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති අයෙකුට ඉඩම් ලබාදීමට අවකාශ නැත. නමුත් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා පැමිණෙන විදේශීය ආයෝජකයන්ට රජයේ ඉඩම් ලබාදීමට රජයට හැකියාව තිබේ. නමුත් ඒ සඳහා ප්‍රධාන කොන්දේසියක්‌ අදාළ විදේශීය සමාගම විසින් සම්පූර්ණ කළ යුතුවේ.

එම කොන්දේසිය වන්නේ අදාළ විදේශීය සමාගම දේශීය සමාගමක්‌ සමග එකාබද්ධ වී නව සමාගමක්‌ පිහිටු විය යුතු වීමයි. ඉන් පසු රජය මගින් නව සමාගමට දේශීය සමාගම නමින් බදු ගන්නා රජයේ ඉඩම් සම පාර්ශ්වීය කොටස්‌ වශයෙන් ලබාදීම සිදුකෙරේ.

දැනට රටේ පවත්නා නීතිය අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති අයෙකුට දිවයිනේ ඕනෑම තැනකින් පෞද්ගලික ඉඩමක්‌ මිලදී ගැනීමට කිසිදු නීතිමය බාධාවක්‌ නැත. එහෙත් එසේ මිලදී ගත් ඉඩමක ඔප්පුව ලියා පදිංචි කිරීමේදී රෙජිස්‌ට්‍රාර් ජනරාල් විසින් 1963 අංක 11 දරන මුදල් පනතේ 58-63 දක්‌වා වූ වගන්තියට අනුව ඉඩමේ වටිනාකමට සමාන මුදලක්‌ බදු වශයෙන් අයකර ගත යුතුවේ. නමුත් රජයට බදු වශයෙන් මුදල් ලැබීම කෙසේ වෙතත් ඉඩම් සම්පත වේගයෙන් විදේශිකයන් අතට පත්වීමනම් අඩුවක්‌ නැතුව අද සිදු වේ.

රටකට භූමිය තරම් වටිනා තවත් සම්පතක්‌ නැත. ඉන්දියන් සාගරයේ සුවිශේෂි සන්ධිස්‌ථානයක පිහිටි අපේ රටේ ඉඩම් සම්පත පිළිබඳ බටහිර රටවල සිටින විදේශිකයන් ඇස ගසාගෙන සිටියේ අද ඊයේ නොවේ.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති විදේශීකයන්ට දිවයිනේ ඕනෑම තැනකින් පෞද්ගලික ඉඩමක්‌ මිලදී ගැනීමට අද තිබෙන අයිතිය ශ්‍රී ලංකාවේ ඉඩම් සම්පත පිළිබඳව ඇස ගසාගෙන සිටින විදේශිකයන්ට ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වා හා සමාන වී ඇත.

මේ වන විටත් විදේශීකයන් විසින් රටපුරා ප්‍රධාන සහ උප නගර තුළ පිහිටි වාණිජ අතින් ඉහළ වටිනාකමක්‌ ඇති ඉඩම් රැසක්‌ මිලදී ගෙන ඇත. මෙම ඉඩම් මිලදී ගැනීමේදී බරපතල වංචා දූෂණ රැසක්‌ද මෙම විදේශීකයන් විසින් සිදුකර තිබේ. මෙම වංචාවන් සිදුකර ඇත්තේ 1963 අංක 11 දරන මුදල් පනතේ 58 – 63 දක්‌වා වූ වගන්තියට අනුව ඉඩමේ වටිනාකමට සමාන මුදලක්‌ බදු වශයෙන් රජයට ගෙවීම පැහැර හැරීම සඳහාය.

එම වංචාවන් සිදුකර ඇත්තේ අධික මිල ගණන් වලට ඉඩම්, ඉඩම් හිමියන්ගෙන් මිලදී ගෙන ඔප්පු ලියා පදිංචි කිරීමේදී ඉඩමේ සැබෑ වටිනාකම ලෙස ඉඩම් හිමියාගෙන් ඉඩම මිලදී ගත් මිල වෙනුවට ඉඩමේ වටිනාකම අඩුවෙන් සඳහන් කිරීම තුළිනි.

විදේශීකයන් විසින් මෙලෙස සිමාවකින් තොරව අපේ රටේ ඉඩම් මිලදී ගැනීම රටක්‌ හැටියට අපිට ප්‍රබල තර්ජනයකි. නමුත් අපේ රටේ පාලකයන්ට මෙහි ඇති අනතුරුදායක තත්ත්වය පිළිබඳව කිසි අවබෝධයක්‌ නොමැති වීම නිසා රටක්‌ හැටියටත් ජාතියක්‌ හැටියටත් අපට අනාගතයේදී බරපතල ප්‍රශ්න සහ ගැටලු රැසකටම මුහුණ දීමට සිදුවීම නම් වැලැක්‌විය නොහැක.

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැතිවරයා ලෙස ජීවන් කුමාරතුංග මහතා කටයුතු කරද්දී මෙහි ඇති භයානක අනතුරුදායක තත්ත්වය නිසි ලෙස හඳුනාගෙන ශ්‍රී ලංකාවේ පුද්ගලික ඉඩම් වල අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කරනු ලැබීය. නමුත් කැබිනට්‌ මණ්‌ඩලයේ සාමාජිකයන්ගෙන් බහුතරයකගේ සහය ඒ සඳහා නොලැබීම නිසා අදාළ කැබිනට්‌ පත්‍රිකාව ප්‍රතික්‍ෂේප වී ඇති බවද කියති.

මේ සඳහා ප්‍රධාන තර්කය හැටියට ඉදිරිපත් කරනු ලැබුවේ විදේශීය අයෝජනවලට මෙමගින් සෘජු බලපෑමක්‌ එල්ලවන බවයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක්‌ තුළ මෙවැනි නීති පැනවීම සුදුසු නැති බවටද අදහස්‌ පළවිය. නමුත් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ පුද්ගලික ඉඩම්වල අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා වූ කැබිනට්‌ පත්‍රිකාව මගින් විදේශීය අයෝජනවලට ඉන් කිසිදු බලපෑමක්‌ සිදුනොවන බව පැහැදිලිව සඳහන් කර තිබුණි. නමුත් රටේත් ජාතියේත් අවාසනාවට පුද්ගලික ඉඩම්වල අයිතිය සුරක්‍ෂිත කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතාට නොහැකි විය.

ඉන් පසු රට තුළ ඒ පිළිබඳ කිසිදු කතා බහක්‌ හෝ ජාතික මට්‌ටමේ සංවාදයක්‌ ඇති නොවීය. නමුත් අපිට පුදුමය වන්නේ දේශප්‍රේමීන් ලෙස ගිරිය පුප්පාගෙන කෑ ගහන ජාතික නායකයන් යෑයි කියා ගන්නා කිසිදු පුද්ගලයෙකු මේ පිළිබඳ වචනයක්‌වත් කතා නොකිරීමයි.

ජනගහනය, පරිසර දූෂණය, ස්‌වාභාවික විපත්, යුද්ධය, විරැකියාව, දූෂණය, භීෂණය, ත්‍රස්‌තවාදය ලෝකය පුරා සීග්‍රයෙන් වැඩිවේ. නමුත් මේ සියල්ලටම මූල බීජය පදනම ලෙස හැඳින් විය හැකි ඉඩම් සම්පත පමණක්‌ වැඩි නොවේ. වර්තමාන ලෝකයේ බොහෝවිට සිදුවන්නේ භාවිතය සඳහා යොදා ගත හැකි ඉඩම් ප්‍රමාණයද දිනෙන් දින අඩු වීමයි. මේනිසා සෑම බිම් අඟලකම වටිනාකම දිනෙන් දින ඉහළයැම සිදුවේ. එපමණක්‌ නොව බිම් අඟලකට වැටමායිමට මිනිමරා ගන්නා සංඛ්‍යාවද වැඩිවේ. ශ්‍රී ලංකාව තුළ සිදුවන මිනි මැරුම් හා සමූල ඝාතන වලින් 60% ක්‌ම සිදුවන්නේ ඉඩම් ආරවුල් නිසා බව මේවන විටත් අනාවරණය කරගෙන ඇත.

මේ නිසා රටේ පවත්නා පුද්ගලික ඉඩම් ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය නොමැති තැනැත්තන් වෙත පූර්ණ වශයෙන් බැහැර කිරීම නතර කිරීම යුගයේ අවශ්‍යතාවක්‌ බවට අද පත්වී ඇත. ඒ වගේම ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගෙන ඇති විදේශිකයන් විසින් මිලදී ගෙන ඇති ඉඩම් අදාළ පුද්ගලයන්ගේ පුරවැසිභාවය අහෝසි වූ විට නැවත රජය සතුවන ආකාරයට නීතිමය විධි විධාන ද පුරවැසිභාවය නොමැති පුද්ගලයන් වෙත පූර්ණ වශයෙන් ඉඩම් බැහැර කිරීමට සමගාමීව සිදුකළ යුතුය.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති විදේශිකයන් අතට පෞද්ගලික ඉඩම්වල අයිතිය හිමිකරවීම රටේ ජාතික ආරක්‍ෂාවටද ප්‍රබල තර්ජනයක්‌ වේ. ඒවගේම ආර්ථිකයේ ඉදිරි ගමනටද අනාගතයේදී ප්‍රබල තර්ජනයක්‌ විය හැක. එපමණක්‌ නොවේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලටද සෘජු හා වක්‍ර ආකාරයෙන් මැදිහත්වීමට බටහිර රටවල් වලට අවස්‌ථාව උදාවේ.

එමනිසා පටු දේශපාලන වාසි තකා සහ ලාභ ප්‍රයෝජන තකා මේ රටේ ඉඩම් සම්පත කොල්ලකෑමට බටහිර රටවල සිටින විදේශිකයන්ට කිසිදු ඉඩක්‌ ලබා නොදිය යුතුය.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඉඩම්වල අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා නීති ගෙන ඒම තවදුරටත් ප්‍රමාද කිරීම තුළින් සිදුවන්නේ අහකයන නයි ඔඩොක්‌කුවේ දමාගෙන පස්‌සේ කනවෝ කනවෝ කියා කෑගැසීමට සිදුවීම පමණි.

මේ රටේ පුරවැසියන් වන අපට ද මේ සම්බන්ධයෙන් ජාතික වගකීමක්‌ තිබේ. ඒ වෙන කිසිවක්‌ නොවේ. කොතරම් නැති බැරිකම් අගහිඟකම් තිබුණත් සල්ලි වලට කෑදර වී අපේ ඉඩම් සම්පත විදේශීකයන්ට ලබා නොදීමයි.

ඒවගේම මේ සියලු පුරවැසියන් ජාති ආගම් කුලමල භේදයකින් තොරව එකා මෙන් එකට එක්‌වී පෞද්ගලික ඉඩම්වල අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා අලුතින් නීති සම්පාදනය කරන ලෙස රජයට බල කළ යුතුය.

විදේශීකයන්ට ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඉඩම් මිලදී ගැනීමට දැනට තිබෙන නිදහස අහිමි කළහොත් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැතැයි සිතා කටයුතු කළහොත් අපට රටක්‌ හැටියටත් ජාතියක්‌ හැටියටත් අඬන්නට වෙන දවස නම් වැඩි ඈතක නොවන බව අකමැත්තෙන් වුවද මෙහි සඳහන් කළ යුතුය.

ප්‍රියදර්ශන ලියනගේ