Mon. Jul 8th, 2024
Spread the News

මීගමුව ප‍්‍රදේශයේ සිට උතුර-නැගෙනහිර හරහා කතරගම දක්වාම දෙමල ජාතිකයන් වසර 200 කට පෙර ජීවත් වූ බවත් ඔහු කියයි.

යාපනයේදී ජනහමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවත් සිංහලයන් මෙරට හිමිකරුවන් නොවන බවත්ය.

1919 පසු සිංහල බෞද්ධයන්ගේ මනස විකෘති කර ලංකාව බෞද්ධ රටක්‌ බවට දක්වා ඇති බවත් ඔහු කියා සිටී.

මහා වංශයේ කිසි තැනක සිංහල භාෂාව ගැන සදහන් කර නැති බවත් ඔහු තව දුරටත් පවසයි.


“දුටුගැමුනු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..” යනුවෙන් උතුරේ හිටපු මහ ඇමැතිවරුන් සී.වී.විග්නේෂ්වරන් විසින් කර ඇති ප්‍රකාශය පදනම් විරහිත පල් හෑල්ලක් බව කිව යුතුය. සිංහල රාජාවලියේ පණ්ඩු වාසුදේව රජුගේ අග්‍ර මහේසී භද්ද්කච්චායනා දේවියගේ සොහොයුරා දීඝායු කුමරු ය. ඔහුගේ පුත් දීඝගාමිණී කුමරුගේ පුතා පණ්ඩුකාභය රජු ය. එතුමාගේ පුත් මුටසීව ය. මුටසීව රජුගේ ගේ පුත් දේවානම් පියතිස්ස ය. දේවානම්පියතිස්ස රජුගේ සහෝදර මහානාග යුවරජුගේ අවිච්ඡින්න ලේ පරම්පරාවෙන් දුටුගැමුණු රජු වැවත ඒ. පණ්ඩු වාසුදේව රජු, විජය රජුගේ සොයුරු (පසුව රජ වූ) සුමිත්‍ර කුමරගේ බාල පුත් කුමරුය. විජය රාජ පරපුර ද්‍රවිඩ නොවේ. මහා වංශයේ 6 වන පරිච්ඡේදයේ(36) “ ලාළරට්ටෙ පුරෙ තස්මිං, සිංහබාහු නරාධිපො-රජ්ජං කාරෙසි කත්වාන, මහේසිං සිංහසීවලී(37)මහෙසිං සොළක්ඛ්ත්තුං, යමකෙ ච දුවෙ දුවෙ-පුත්තෙ ජනයි කාලෙසා, විජයො නාම ජෙට්ඨකො(38)සුමිත්තො නාම දුතියො, සබ්බෙ ද්වත්තිංස පුත්තකා-කාලෙන විජයං රාජා, උපරජ්ජෙන’භි සෙචයි~ යනුවෙන් දක්වා ඇත. විජය කුමරු ලාළරට සිංහබාහු රජුගේ පුත් වන අතර ලාළරට ද්‍රවිඩ නොවන බව කිව යුතුය. මහා වංශය ලාළරට රාජ වංශය ද්‍රවිඩ නොවන බවට සාක්ෂි වන අතර හිටපු මහඇමති විග්නේෂ්වරන් හිතළු මතින් ජාතිවාදී සිහිනයක් දකින බව කිව යුතු ය. විග්නේෂ්වරන්, “මහා වංශයේ සිංහල ගැන කිසිම සදහනක් නෑ” යනුවෙන් කියන්නේ මහා වංශය කියවා නොවන බව කිව යුතුය. 7වන පරිච්ඡේදයේ 42 වන ගාථාවෙහි “සිංහබාහු නරින්දො සො, සීහමාන්දිනවා ඉති-සීහළො තෙන සම්බන්ධා,එතෙ සබ්බෙපි සීහළා~ යන්වෙන් පැහැදිලි දක්වා ඇත. ඉහත ගාථවෙන් සිංහබාහු රජුගෙන් පැවත් එන සීහළ (සිංහල) සම්බන්ධය හේතුවෙ ඒ සියල්ලෝම (සියලු පරපුර ම) සීහළ වන බව ය. එසේ නම විජය රජු ,ඔහුගේ සහෝදර සුමිත්‍ර (රජු) කුමරුගේ බාල පුතනු පණ්ඩුවාසුදේව රජු හා ඔහුගේ අග්‍රමහේසී භද්ද්කච්චායනා කුමරියගේ සොහොයුරු දීඝායු කුමරුගේ පුත් දීඝගාමිණී කුමරුගේ පුත් පණ්ඩුකාභය රජුගෙන් පැවැතෙන දේවානම්පියතිස්ස රජු හා දුටුගැමුණු රජු සිංහල බව මහාවංසය අනුව අවිවාදිත ය. භද්ද්කච්චායනා කුමරිය බුදු රජුන්ගේ පියානන් සුද්ධෝදන මහ රජතුමගේ සහෝදර අමිතෝදන රජතුමගේ ශාක්‍ය වංශික කුමරියක් බව මහා වංශයේ 8 වන පරිච්ඡේදයේ 18,19,20 ගාථා වලින් කියයි.

– ආරියතිලක