Mon. Jul 8th, 2024
Spread the News

වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මහානාම ශාක්‍යයා, කෙනෙකු බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි විමසා සිටියේය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ තෙරුවන් සරණ යාමෙන් කෙනෙකු බෞද්ධයෙකු වෙන බවයි. බෞද්ධ සමාජය භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක හා උපාසිකා යන සිව් පිරිසෙන් සමන්විත වේ. ලොව පුරා විසිරී සිටින සමස්ත බෞද්ධයින්ට 2011 වර්ෂයේ එළඹෙන වෙසක් පොහොය අතිශය වැදගත් පොහොයකි. ඒ සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පසක් කරගෙන වසර 2600 ක් පිරීමයි. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම පිණිස දැන් සිටම විවිධ පින්කම්, උත්සව සූදානම් කෙරේ. ශ‍්‍රී ලංකා රජය ද දිවයින පුරා වැඩ සටහන් රාශියක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ශ‍්‍රී ලංකාවේ සම්බුද්ධත්ව ජයන්ති තේමා පාඨය වන්නේ ‘‘පිළිවෙතින් පෙළ ගැසෙමු’’ යන්නයි. මෙය කාලෝචිතවූත්, ප‍්‍රායෝගිකවූත් තේමාවකි.

එහි එක් පියවරක් ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශය, අගමැති කාර්යාලය හා පියුම් වැස්ස ජාතික ව්‍යාපෘතිය, ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ‘‘බුදු පුත් මව් පිය උපහාර’’ වැඩ සටහන හඳුන්වාදීමට පුළුවන. ලක්දිව ථෙරවාද භික්‍ෂු පරපුර ඇරඹෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසුවයි. අරිට්ඨ ඇමතිවරයා ප‍්‍රමුඛ පනස් පස් දෙනෙකු සසුන්ගත වීමත් සමග ශ‍්‍රී ලාංකික භික්‍ෂු පරපුර ඇරඹිණි. එදා සිට අද දක්වා ගත වූ වසර දෙදහස් තුන් සියයකට වැඩි කලක් භික්‍ෂු ශාසනය විනාශයට යා නොදී රැුකගෙන එන ලද්දේ මෙරට භික්‍ෂූන් වහන්සේ විසිනි. ඒ සඳහා උන්වහන්සේලා දරන ලද වෙහෙස, කරන ලද කැප කිරීම, විඳින ලද දුක් ගැහැට අපමණය. බැමිණිටියා මහාසාය වැනි දරුණු විපත් වලදී පවා සසුනෙන් බැහැර නොවී, සසුන ආරක්‍ෂා කරගත්තේ දිවි පරදුවට තබමිණි. නොයෙක් කාල වකවානු වලදී රටට එල්ලවුණු දෙස් විදෙස් බලවේග හා කැරළි කෝලහාළ වලදී ද මෙරට භික්‍ෂූන් වහන්සේ අභීත සෙන්පතියන් සේ, නොබියව, මුහුණ දුන් නිසා භික්‍ෂු ශාසනය මෙරටින් අතුගා දැමීමට එකී බලවේග වලට නොහැකි විය.

වරක් ජම්බුබාජීවක නම් තවුසා සැරියුත් මහ රහතන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසයි. සාරිපුත‍්‍රය මේ ධර්ම විනයෙහි ඉතා දුෂ්කරම කටයුත්ත කුමක්ද ?

ප‍්‍රකාශකරන්නෝ ඔහුට පිළිතුරු දෙන සැරියුත් මහ රහතන් වහන්සේ; ධර්ම විනයෙහි ඇති දුෂ්කරම කාර්යය පැවිද්ද බවයි. එය මේ ධර්ම විනයෙහි ඇති අපහසුම කටයුත්ත බව ඔබ නොසිතන්නට ඇති. එහෙත් සත්‍යය එයයි. අපි හැම දෙනාම මේ ලෝකයේ යම් යම් දේවල් සමඟ බැඳී සිටිමු. ඇතැම් බැඳීම් වලින් ඈත් වී සිටීම කොහෙත්ම කළ නොහැකි තරමට ශක්තිමත්ය. ස්වාමි, භාර්යා, මව්, පිය, දරු සබඳතා ඉන් කිහිපයකි. පැවිදි බිමට ඇතුළත් වන්නා මේ සියලූ බැඳීම් අත් හැරීමට ශක්තියක් ඇත්තෙකු විය යුතුය. පැවිද්ද කෙනෙකුගේ දෙවෙනි උපතයි. පළමුු උපතෙන් උරුම කරගත් පිය උරුමය (වාසගම* පවා අත්හැර දමා උපන් ගමේ නමින් හැඳින්වීමෙන් ඔහු පොදු බවට පත් කරයි. බුදුරජාණන්වහන්සේගේ පිය උරුමයට හිමිකරුවෙකු කරයි. ජනගහණය ලක්‍ෂ දෙසීයක් පමණ වෙසෙන, බෞද්ධ රටක් වශයෙන් හඳුන්වන නමුදු ශ‍්‍රී ලංකාවේ අපට භික්‍ෂූන් වහන්සේ ලක්‍ෂයක් ඇතිකරගත නොහැකි වීමෙන්ම පැවිද්දේ අසීරු බව තේරුම් ගතහැකි වෙයි. පැවිද්ද අසීරු බව ඇත්තකි. ඊටත් වඩා අසීරු වන්නේ පැවිද්දෙහි කැමැත්තක් දැක්වීමයි. ගත පැවිදි කළත් තම හිත පැවිදි කර ගැනීමට අපොහොසත්වන පැවිද්දෝ විපිලිසරව වෙසෙති. පැවිද්දට නොගැලපෙන කටයුතුවල යෙදෙති. තෙරුවන හැර වෙනත් බලවේග කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරති. සමහරු උපැවිදි වෙති. යම් පැවිද්දෙකු වඩාත් අසීරුවන පැවිද්දෙහි, සිත අලවා වසයිද ඊටත් වඩා අසීරු වන්නේ ධර්මානුකූල ධර්ම ප‍්‍රතිපත්තියෙහි යෙදීමයි.

බුදුරජාණන් වහන්සේ ධරමාන අවදියේදියේම බොහෝ භීක්‍ෂූන් ශාසන විරෝධි ක‍්‍රියාවල යෙදුනු බවටත්, ඇතැම්හු සිවුරු හැර දමා ගිය බවටත් සාධක තිබේ. එවක සිටි භික්‍ෂූන් සිදුකළ ශාසන විරෝධී ක‍්‍රියා දෙස බලන විට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයක් ඉක්මවා ඇති මේ යුගයේ භික්‍ෂූන් වහන්සේ එතරම් ශාසන විරෝධීහු නොවෙතියි සිතෙයි. එසේ ප‍්‍රකාශ කිරීමෙන් ශී‍්‍ර ලාංකික භික්‍ෂුව සර්ව සම්පූර්ණයෙන්ම ශාසන මාමක යැයි ගම්‍ය නොවේ. ගත වූ වසර දහස් ගණනක කාලය තුළ ධර්මය ග‍්‍රන්ථා රූඪ කරන තෙක්, මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඒම, දෙස් විදෙස් ධර්ම විරෝධි හා ශාසන විරෝධි බලවේග හමුවේ පැරද පලා නොගොස් ඒවා ජය ගනිමින් සසුනත්, ධර්මයත්, රැුක ගැනීම, භික්‍ෂූත්වය කෙලෙසා නොගෙන ජාතික අධ්‍යාපනික හා සමාජයීය කටයුතු ඉටු කිරීම සඳහා මෙරට භික්‍ෂුව කරන ලද කැප කිරීම හා පරිත්‍යාගය අතිමහත් ය.

විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් ලොව දියුණුවී, සන්නිවේදන ක්‍ෂේත‍්‍රය පුළුල් වීම, නව නිපදවීම් හා සොයා ගැනීම් වැනි මූල සාධකවල බලපෑම මත ගොඩ නැගුණු ලොවක අපි ජීවත් වෙමු. මේ සමාජමය පරිසරය තුළ මිනිස් ජීවිත සංකීර්ණයි, අතෘප්ති කරයි. අසීමිත ආසාවන් සපුරා ගැනීමට යාම නිසා එකිනෙකා අතර තරගයක් පවතී. මෙවැනි ලක්‍ෂණ වලින් ගහණ සමාජයක නොමිනිස්කම් මිස, මිනිස්කම් අපේක්‍ෂා කළ නොහැක. එහෙත්, ශ‍්‍රී ලාංකික ජන සමාජය ප‍්‍රපාතයකට ඇද වැටී නැත්තේ මෙරට භික්‍ෂූන් වහන්සේ කිසිදු ප‍්‍රතිලාභයක් අපේක්‍ෂා නොකර ඉටු කරනු ලබන සමාජ මෙහෙවරක් නිසයි. පවුලේ දරු සංඛ්‍යාව දෙතුන් දෙනෙකුට සීමා කිරීම නිසා, පැවිදිවෙන ප‍්‍රමාණයේද අඩුවක් පවතී. පැවිදි බිමට ඇතුළත්ව සිටින අයගෙන් ද උපැවිදි වීමේ වැඩි ප‍්‍රවණතාවක් මෑතක සිට දැකිය හැක. බොහෝ විට පෞද්ගලික, ආයතනික හෝ සමාජමය ගැටළු ඊට හේතු විය හැක. උපැවිදි වූවනට දොස් නැගීමට වඩා ඔවුන් ආරක්‍ෂා කර ගැනීම පිළිබඳව වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලාගේ අවධානය යොමු කළ යුතුව තිබේ. ගිහි පිරිසට ද භික්‍ෂූන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීමෙහිලා විශාල වගකීමක් තිබේ. මව්පියන්ට මේ ලෝකයේ උත්තරීතර සම්පත තම දරුවයි. ‘‘පුත්තා වත්ථු මනුස්සානං’’ යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වේ. මව්පියන් හා දරුවන් අතර බැඳීම් සම්, මස්, නහර, ඇට, ඇටමිඳුළු සිදුරු කරගෙන සිරුර තුළට බැස තිබේ. දරුවන්ගෙන් දෙමාපියනුත්, දෙමාපියන්ගෙන් දරුවනුත් වෙන් වූ විට දෙපිරිසම අතර ඉමහත් සංවේගයක්, දුකක් හටගනී. සුදොවුන් මහ රජතුමා, මව්පියන්ගෙන් දරුවන් වෙන් කළ විට ඇතිවෙන දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේට කරුණු සැළ කර සිටීමෙන් පසුව, දෙමාපිය අවසරයකින් තොරව දරුවෙකු පැවිදි නොකරන ලෙසට බුදුන්වහන්සේ ප‍්‍රඥප්තියක් ද පැනවූහ.

ස්වල්පයක් වුවත් භික්‍ෂූන් වහන්සේ, මේ අසීමිත බැඳීම කඩා දැමීමට සමත් වූ වීර්යාධිකයෝ ය. කතපුඤ්ඤතා ගුණ ඇත්තෝ ය. බොහෝ දෙනා පැවිදි බව ලබන්නේ ළමා අවදියේදී ය. අසීමිත දරු සෙනෙහස නිසාම කඳුළු පිරුණු දෑසින් යුතුව දුක් වෙන මව්පියන් දෙස බලා, ආරාමයකට පැමිණ නුපුරුදු පරිසරයක නුපුරුදු ජිවන ප‍්‍රතිපදාවකට හැඩ ගැසීමට සසර පුරුද්දක් තිබිය යුතුමය. දීඝනිකායේ චාතුම සූත‍්‍රය ඊට සාක්‍ෂි සපයයි. චාතුම වනයට රැුස්වූ සාමණේර භික්‍ෂූන් ඇමතූ බුදුරජාණන් වහන්සේ වදාළේ, පැවිදි බිමට ඇතුළත්වීම, ස්නානය සඳහා කෙනෙකු නුපුරුදු ජලාශයකට බැසීමට උපමා කරමිනි. නුපුරුදු ජලාශයකට බසින තැනැත්තා බිය විය යුතු කරුණු සතරකි. එනම්, දිය රැුළි ගැන දැනගැනීම, දිය සුළි ඇද්දැයි දැන ගැනීම, ජීවිතයට හානි කරන කිඹුලන් ගැන දැන ගැනීම හා කිඹුල්වත් වැනි වෙනත් භයානක සතුන් ඇද්දැයි දැන ගැනීමයි. මේ කරුණුත ගැන නොදැන නුපුරුදු ජලාශයකට බසිනු ලබන්නාට විනාශය ළංවිය හැක. පැවිදි දිවිය සැබැවින්ම නුපුරුදු එකකි. ඊට ඇතුළත්වන තැනැත්තාට සමාජයෙන් එල්ලවන බලපෑම් අති විශාලය.

පැවිදි වූ මොහොතේ පටන් දුවන්ට එපා. කෑ ගහන්ට එපා. හිටගෙන කන්ට එපා. අවේලාවේ වළඳන්ට එපා ආදි වශයෙන්, එපා එපා කියන වචනය අසන්නට සිදුවේ. මෙය කරදරයක් කොට සලකන කෙනා තරහෙන් සිවුරු හැර දමා යයි. සමාජයෙන් එන මෙවැනි රැුළි ගැන පැවිද්දා දැනගෙන සිටිය යුතුය. තම වයසේ පසුවෙන ළමයින්ගේ ඇඳුම් මෝස්තර, ඔවුන් කන බොන දෑ, කන බොන වේලාවන් ආදිය දකින සාමණේර භික්‍ෂූන්ටද ඒ පිළිබඳව ආසාවක්, කැමැත්තක් ඇතිවියහැකිය. එනිසාම පැවිද්ද දඬුවමක් සේ සිතා ඇතැම්හු සිවුරු හැරයති. ළමයින් සතුටුවෙන, විනෝද වෙන ආකාරය දෙස බලා, ඇස්, කන් නැත්තවුන් සේ සිටීමට සාමණේර අවදියේ පසුවෙන අයට සිදු වී තිබේ. මේ අසීරුතාවය මොන තරම් අමාරුවෙන් මැඩගෙන සිටින්නේදැයි ඔබට වටහාගත හැකිනම් පැවිද්දෙහි දුෂ්කරතාව තේරුම්ගත හැක. තමාට ඇති වටිනාම සම්පත වන දරුවා සසුනට පුදා, සිත සනසා ගන්නා මව්පියෝද සැබෑ වීර්යාධිකයෝය, පුණ්‍යවන්තයෝය. හැමදා ගෞරව ලැබිය යුත්තෝ ය. මව්පියන්ගේ කැමැත්තෙන් තොරව දරුවන් පැවිදි නොකළයුතු බැවින්, මව්පියන් තම දරුවන් සසුනට පූජා නොකළහොත් සසුන අතුරුදහන් වේවි. භික්‍ෂූන් නොමැති තැන සසුන නොපවතී. කොතරම් වෙහෙර විහාර තිබුණත් පලක් නොවේ. එබැවින් දරුවන් පැවිද්දට යොමු කළ මව්පියන් තවත් කාලයක් සසුන රැුකීමට ශක්තියක් ලබාදුන් පිරිසකි. ඔවුන් ඇගයීම සසුන් වැඩ කැමති සත්පුරුෂ හැම දෙනාගෙම පරම යුතුකමද වෙයි. තම දරුවා සසුනට පි¥ මව්පියන් ලබන පරම සතුට, අන් කිසිදු මවකට හෝ පියෙකුට ලැබී නැත. සමාජය ඔවුන් ඇගයීමෙන් ඔවුන්ගේ සතුට තවතවත් වැඩිවෙයි. අනෙකුත් දෙමාපියනට සසුන් කෙත පෝෂණය කිරීම සඳහා ද එය ඉමහත් ශක්තියක් වනු ඇත.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි ආචාර්ය
නෙළුවාකන්දේ ඥානවිමල හිමි

Source:Dhamsara.org