Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy of multiculturaleducationgroup

ජගත් පුෂ්පකුමාර නම් මහත්මයෙක් ශ්‍රී ලාංකීය ජන වාර්ගික සන්දර්භය තුළ ඇතැම් අන්තවාදීන් සංකල්ප විකෘති කරමින් කරන අමනෝඥ ක්‍රියාව පැහැදිලි කිරීම අගය කළ යුතුව තිබෙනවා.

කවුරුන් විසින් හෝ මෙය නිවැරදි කළ යුතුයි.
වරද්දමින් හෝ අනුන් කරන කියන දේවල් අනුමත කරමින් ලිවීම සහ කතා කිරීම අපේ රටටම ආවේනික වුණු දෙයක් බවයි හැඟෙන්නේ.

මෙයත් රටේ පරිහානියට බලපෑ තවත් එක් ප්‍රබල සාධකයක්.

මුස්ලිම් ජාතියක්, දෙමළ ජාතියක්, මැලේ ජාතියක් ගැන කතා කරන සිංහලයින් සිංහල ජාතියක් ගැන කතා කිරීමට මැළි වෙති.

එම මාතෘකාවට එළඹෙද්දී සිංහලයින් කියන්නේ “අපි ශ්‍රී ලාංකික වෙමු” කියායි.

දෙමළ ජන කොටස් දෙමළ දේශපාලන පක්ෂවලට තම වර්ගයාගේ නම මෙන්ම මුස්ලිම් ජන කොටස් ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට “මුස්ලිම්”
කියන නම යෙදීම රටේ ජනවාර්ගික ප්‍රශ්නයට උඩගෙඩිදීමක්. එය ඇත්තෙන්ම ව්‍යවස්ථා විරෝධීයි.
40 දශකයේ දි එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා ආරම්භ කළ සිංහල මහා සභාව එතුමා විසින් ම අහෝසි කර දැම්මේ
G.G. Ponnambalam දෙමළ සභාව කියා දෙයක් පටන් ගත්තද සිංහලයින් වූ අපත් ඒ වැරැද්දම නොකළ යුතු බව වටහා ගත් නිසයි.

එදා මෙදාතුර කිසිම සුළු ජන කොට්ඨාසයක් තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් තුළින් ගෝත්‍රවාදී හෝ වර්ගවාදී පිළිවෙත ඉවත් කිරීමට කටයුතු කර නැත.

සමහරවිට ඒ පිළිබඳව එදා සිට අද දක්වාත් කතා කරන එකම සිංහලයා මා පමණක් විය හැකියි. එය “සිංහල උන්මාදයක්” නිසා ඇතිවුණ මානව විරෝධී මනෝභාවයක් නොව
දීර්ඝ ඉතිහාසයක් ඇති ජනකොට්ඨාශයකට එරෙහිව කරන අසාධාරණයකට විරුද්ධව සකස් වුණු පෙළගැස්මක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

රටක් බේරා ගැනීම එක පුද්ගලයෙකුට තනිව කළ හැකි දෙයක් නොවෙයි.

මා බලාපොරොත්තු නොවුණත්, රටේ පාලනය මාහට පැවරේ නම් ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සෑම ජන කොටසක්ම “සිංහල ජාතිය” ලෙස හැඳින්වීමට මම නොපැකිළෙමි. සෑම ජන කොටසකටම තමන්ගේ මව් භාෂාව මෙන්ම සංස්කෘතියද බාධාවකින් තොරව භුක්ති විඳීමේ අයිතිය ව්‍යවස්ථානුකූලව ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක්. එයට මම ගරු කරමි.

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න කියා මම ඔබට නොකියමි. මන්ද එය මගේ සිහිනය පමණක් නොවන නිසයි.

Otto von Bismark ජර්මනිය එක සේසත් කළේ, විවිධ ජනවාර්ගික කොටස් එක ජාතියක් බවට පත් කිරීමෙන්.

බැවේරියානු මිනිසුන් මීට තදින්ම විරුද්ධ වුවත්, ඔවුන්ට ඔවුන්ගේම කියා භාෂාමය හා සංස්කෘතික අනන්‍යතාවයක් තිබුණද, ආර්ථික ජයග්‍රහණයන් ඉදිරියේ දණින් වැටී ජර්මන් ජාතිකත්වය අවිවාදයෙන් පිළිගෙන ඇත.

Bavarian Motor Work (BMW) ලෝක වෙළෙඳපළේ මෙතරම් පිළිගැනීමකට ලක්වී ඇත්තේ එය බැවේරියානු නිෂ්පාදනයක් නිසා නොව, ඊට Made in Germany යන වෙළඳ සන්නායකය ඈඳී තිබීම නිසයි.

ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරයෙන් ම පමණක් වුව ගොඩ යා හැකියි.

විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ බහු ආගමික බහු වාර්ගික බහුරූ කෝළම් නැරඹීමට නොව සිව්හෙළයේ සිංහලයින් විසින් අනාගතයට උරුම කර ඇති අනභිභවනීය ශිෂ්ටාචාරයක යටගියාවත් දැන ගැනීමේ අභිලාෂයෙන් බව කිව යුතුමය.

ද්‍රවිඩ ශිෂ්ටාචාරය ගැන උනන්දුවක් දක්වන සංචාරකයින්ට දකුණු ඉන්දියාවට ගොස් දෙමළ ජනතාවගේ ඉතිහාසය ද හැදෑරිය හැකියි.

ඉස්ලාම් සංස්කෘතිය දැක බලාගන්න ඕනෑ තරම් ඉස්ලාම් රටවල් ලොව පුරාම පැතිරී ඇත.

ලෝකයේ බහුතරයක් රටවල් තම තමන්ගේ පෞරාණික අනන්‍යතාවය හඳුන්වන්නේ එම භූමියේ ජාතිකත්වයක් රෝපණය කළ මුල්ම වැසියන් ගේ නාමයෙන්.

සිංහලයින් වෙනත් රටවල් කොල්ලකෑවේ නැත.
ජාත්‍යන්තර වහල් වෙළඳපලට වහලුන් විකුණුවේත් නැත. වහලුන් මිලදී ගත්තේත් නැත.

සිංහලයා යනු ඇත්තේම නිවහල් ජාතියක්.
සිංහල කමත්, සිංහල රටත්, බුදු දහමත් අවඥාවට ලක්කිරීමට ඊනියා සිංහල බෞද්ධයින්ම පෙළඹුණේ බටහිර යටත් විජිත ආක්‍රමණිකයින් ඔවුන්ගේ සමාජ ආර්ථික, ආගමික හා සංස්කෘතික මූලධර්ම ලක් පොළවේ පැළ කළ දා සිටයි.

ඒ පැල විනාස කරන්න කියා මම යෝජනා නොකරමි.

එහෙත් ආර්ථික වාසි වෙනුවෙන් ඒ පැළවලට වතුර වත් කිරීම නොකර සිටියහොත් යම් තරමකින් හෝ අපේ රට අපට මුදා ගත හැකි වනු ඇත.
(සැ.යු. ශ්‍රී ලංකාව තුළ වර්ගවාදී හෝ ආගම්වාදී දුර්මත පැතිරීමක් මේ ලිපියෙන් සිදු නොවන බව කරුණාවෙන් සලකන්න)

-තෙවැනි ඇස-

23.07.2023