Mon. Jul 8th, 2024
Spread the News

Link: Theleader

පසුගිය මැයි 9 වැනිදා මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට

පත්කළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධාන අනුව පියවර ගැනීමට බල කරමින් පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍ය ඇතුළු පිරිසකට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පීඩාවට පත් මැති ඇමතිවරුන් පිරිසක් ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු 18 දෙනකුට පෙබරවාරි 24 වැනිදා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

පසුගිය මාර්තු 31 වන දා සිට රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලදී.  

ඒ සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ගේ සභාපතිත්වයෙන් යුතුව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු යුද හමුදාපති දයා රත්නායක ගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව සිදුකළ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා බාරදී තිබිණ.


ජනාධිපතිගෙන් ඉල්ලීමක්

2022 මාර්තු 31 සිට රට තුළ වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලෙස ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර ඇත.

115 දෙනෙකු ගේ අත්සනින් යුතු එම ඉල්ලීම ඇතුලත් ලිපිය පසුගිය දෙසැම්බර් 08 දා ජනාධිපතිවරයා වෙත බාර දී ඇත්තේ පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසිනි.