Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtecy Director Prep

බොහෝ විට අප වාද විවාද වලට පැටලෙන්නේ සංවාදයට මුල් වුණු මාතෘකාව හෝ සංකල්ප හරිහැටි නිර්වචනය කර ගෙන නොවෙයි.

උදාහරණයක් හැටියට පොල් ගස ගනිමු.

පුංචි කාලේ අපි රචනා ලියන කොට පොල් ගස ගැන ලියන්න පටන් ගත්තෙ “පොල් ගස වනාහි “තාළ වර්ගයට” අයත් ගසකි කියායි.

කතාව ඇත්ත. ඒත් හැම තාළ වර්ගයේ ගසක්ම පොල් ගසක් නොවේ. එය ද සත්‍යයකි.

පොල් ගස හැර තාළ වර්ගයට අයත් වෙනත් ගසුත් තිබේද කියා පැණයක් පැනනැගුණහොත්, ඔව් අපට ඊටද උත්තර ඇත.

බෞද්ධ ආගමිකයෙක් නොව සෑම බෞද්ධයෙක්ම අදේව වාදියෙකි. එහෙත් සෑම අදේව වාදියෙක්ම බෞද්ධයකු නොවේ.

බුදු දහමෙහි දෙවිවරු සිටීද යන පැනය අසන්න කලින්, දෙවිවරුන් යනු කවුරුන්ද කියා හඳුනා නොගෙන විවාදයට යාම අනුවණකමකි.

බුදු දහමේ හා ජෛන ආගමේ හැර ලෝකයේ අන් සෑම ආගමකම මූළිකයා මැවුම්කරුවෙකි.
ඉංග්‍රීසි භාෂාවෙන් Almighty God වශයෙන් හඳුන්වන්නේ මේ කියන මැවුම්කරු යි.

න්‍යායාත්මකව නම් මුළු ලොවට පමණක් නොව විශ්වයටම සිටිය යුත්තේ එක දෙවි කෙනෙක් පමණයි.
එහෙත් යුදෙව්වන්ට යෙහෝවා දෙවියන් ද, ක්‍රිස්තු භක්තිකයන්ට ජේසු තුමන් ද, ඉස්ලාම් භක්තිකයින්ට අල්ලාද, හින්දුන්ට ශිව වශයෙන්ද දෙවිකෙනෙක් බැගින් සිටිති.

ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ට සතර වරම් දෙවිවරු ප්‍රමුඛ දේව මණ්ඩල (Pantheon of Gods) ඇත.
සතරවරම් දෙවිවරු කෙළින්ම බෞද්ධ සංස්කෘතියට (බුද්ධාගමට) සම්බන්ධය.

ශ්‍රී ලංකා සන්දර්භය තුළ බෞද්ධයින්ගෙන් වැඩි දෙනෙක් බෞද්ධ ආගමිකයන්ය. ඔවුන්ගේ විශ්වාසය තුළ සතරවරම් දෙවිවරු සිටිය යුතුමය. දහමින් හෝ ඊට තහංචියක් නැත.
නොසුදුසුයි කියා බුදුන් වහන්සේ දෙසුවේ වෘක්ෂ, පර්වත, සොහොන්,ආරණ්‍ය වැනි දේ සරණ යන්නේ අසරණ වූ මිනිසුන් පමණයි කියා.
අපට හැඟෙන අන්දමට බුදුන් වහන්සේ අසරණවූ යනුවෙන් හැඳින්වූයේ අනාරක්ෂිතභාවයෙන් පෙළෙන මිනිසුන්ය.

දෙවිවරුන් අතර යුද්ධ කෙසේ වෙතත් දෙවිවරුන් අදහන මිනිසුන් අතර ඉතිහාසය පුරාම යුද්ධ සිදුවී ඇත.

ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් වන පරිදි “නුඹලාගේ දෙවියන් ඊර්ෂ්‍යා සහගතයි”. වෙනත් දෙවිවරු සරණයෑම නොකළ යුතුයි.

ඒ කියන්නේ වෙනත් දෙවිවරුත් ඉන්නා බව පිළිගැනීමයි. එම තත්ත්වය යටතේ සර්වබලධාරි දෙවි කෙනෙකුට පවතින්න පුළුවන් ද යන ප්‍රශ්නය නිතැතින්ම පැනනැගුණද,මෙම ලිපියේ පරමාර්ථය ඊට පිළිතුරු දීම නොවේ.

මා කියන්නට උත්සාහ කරන්නේ සෑම අදේවවාදියෙක් ම බෞද්ධයෙක් නොවන බවත්, බුදුදහමේ දාර්ශනික පැත්ත පිළිගන්නා කෙනෙකුට දෙවිකෙනෙක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවත්‍ ය. දෙවි කෙනෙක් කෙරෙහි විශ්වාසය තබන අතරම බෞද්ධ ප්‍රතිපදාවට අනුව ජීවත් වීමේ ගැටලුවක් ද නොමැතිබව අප විසින් පිළිගත යුතුව ඇත.

බුදු දහම වැළඳගන්නා හින්දුන්, යුදෙව්වන් හා ඇන්ග්ලිකානුවන් ලොව පුරාම සිටිනවා.

පන්සිල් පද පහට සමාන ඉගැන්වීම් තිබෙන වෙනත් ආගම් වල බැතිමතුන්ට බෞද්ධයින් සේ ජීවත්වීමට ඇති ඉඩකඩ වැඩිය.

පංච සීලයෙහි සමාදන් වීම බොදු පිළිවෙතෙහි ප්‍රධාන අංගයක්. සිල් පද පහ අනුපිළිවෙලින් නොදැන ගෙන සිටියත්, ඒවා රකින පිරිස් වෙනත් ආගම් වලට අයත් පිරිස් අතර සිටිනවා.
උප්පැන්න සහතිකයේ බෞද්ධ කියා ලියා නොතිබුනත්, ඔවුන් සැබැවින්ම බෞද්ධයන්ය. අඩුම වශයෙන් බෞද්ධ ආගමිකයන්ය.

බුදු දහම වැළඳ ගැනීමට කැමැත්තෙන් සිටී නයිජීරියානු ඉස්ලාම් භක්තික තරුණයෙක් මා හට බර්ලින් විශ්වවිද්‍යාලයේදී මුණගැසුණා. ඔහුගේ ඉල්ලීම පරිදි මම ඔහුට ලංකාවෙන් ගෙනා බුදු පිළිමයක් තෑගි දුන්නා.

ජර්මනියේදී මට අම්මා කෙනෙක් මෙන් සැලකූ ජර්මන් කාන්තාවක් මට මුණ ගැසෙන විට ඇය ඇංග්ලිකන් ආගමට අයත් වුවත් ජීවත් වුණේ බෞද්ධ කාන්තාවක් ලෙසයි.
ඇය ද කළ ඉල්ලීමක් අනුව ඇයටද බුදු පිළිමයක් ලබා දුන්නා.
ඇයත් ඇගේ දරුවන් දෙදෙනාත් කිසිදාක පල්ලියට ගියේ නැහැ. මන්ද ඔවුන් අදේවවාදීන් වීම නිසා.
එයින් කිසි සේත් ම ගම්‍ය වන්නේ නෑ හැම අදේව වාදියෙක්ම බෞද්ධයෙක් කියා.

මා හට ජර්මනියේ දී මුණ ගැසුණු ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ඇන්ග්ලිකානු පූජකවරයෙක්. එතුමා පසුකාලෙක කෙටි කාලයකට ශ්‍රී ලංකාවේදී බෞද්ධ භික්ෂුවක් ලෙස මහණදම් පුරන්නත් කලින් වචනයේ පරිසමාප්තියෙන්ම බෞද්ධයෙක් ලෙස ජීවත්වුණා. පල්ලියේ පූජක කම එතුමාට වෘත්තියක් පමණයි.

අවබෝධයෙන් අදේවවාදියෙක් වන කෙනෙකුට බුදුදහම තේරුම් ගැනීම පහසුයි. බුදු දහම වැලඳ ගැනීමත් අපහසු දෙයක් නොවෙයි.

බුදු දහම (බෝධි දහම) අවබෝධ ඥාණය හරහා සිද්ධාර්ථ බුද්ධත්වයට පැමිණීමෙන් පසු ලොවට හඳුන්වා දුන් ජීවිතය පිළිබඳව කියාදෙන දර්ශනයයි.

නවීන විද්‍යාවේ සොයාගැනීම් හා ඉගැන්වීම් වලට අනුව මැවුම්කරුවකු සිටිය නොහැකි බව දිනෙන් දින ඔප්පු වන විට ලෝක ජනගහනයට දිනපතාම පාහේ එක්වන අදේවවාදීන් ගේ පිරිස වැඩි වෙනවා.

ඔවුන් එසේ කරන්නේ බුදු දහම වැළඳ වැළඳ ගැනීමට නොව බුදු දහම කෙරෙහි එක්තරා නැඹුරුවක් ඇතිකරගැනීම තුළින්. ආගමකට සම්බන්ධ නැතිව පවත්වාගෙන යන භාවනා ක්‍රම හා පන්ති ලොව පුරාම ප්‍රචලිත වෙමින් පවතිනවා.
විශේෂයෙන්ම බටහිර කාර්මික රටවල බෞද්ධ පන්සල් හා සම්බන්ධ වී භාවනා ක්‍රම පුහුණු වෙන තරුණ තරුණියන් විශාල වශයෙන් මා හට මුණ ගැසී තිබෙනවා.

බයිබලය තහනම් කළේ වෙනත් දෙවිවරු ළඟට යන්න එපා කියා පමණයි.
නමුත් බයිබලයේ හෝ කුරාණයේ කිසිම තැනක සඳහන් වන්නේ නැහැ දාර්ශනික ශාස්තෘවරුන් ලඟට යන්න එපා කියා.

මේ නිසා ලෝකයේ කුමන ආගමකට අයත් පුද්ගලයෙකුට වුණත් හෘද සාක්ෂියට එරෙහි නොවී බෞද්ධයෙකු විය හැකියි.

හුදී ජනයාගේ පහන් සංවේගය වෙනුවෙන් ලියන ලදී.

-තෙවෙනි ඇස-
23.10.2023