Fri. Jul 5th, 2024
Spread the News
Pastor Jerome Fernando ආලෝක කතා පතුරන පාස්ටර් යම්කිසි විදේශික ස්වරූපයක් තිබෙන පුද්ගලයකු ඉදිරිපිට දණින් වැටී ඉන්න අවස්ථාවක්

“බුදුන් හෙව්වේ ආලෝකයයි. ඇත්තට ම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි”
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවාරයාගේ ප්‍රකාශය සත්‍යය ද?

ආරියතිලක
2023.05.24

ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා විසින්, තථාගත සම්බුදු රදුන් පිළිබඳව පසු ගිය දිනක, ප්‍රසිද්ධ දේශනයක් පවත්වමින් කියා සිටි ඇතැම් කරුණු, තථාගත දේශනාවට, තථාගත ධර්ම විනයට පටහැනි අදහස් දැක්වීමක් බව කිව යුතු ය.
ඔහු විසින් බුදු රදුන් සම්බන්ධව ඉංග්‍රීසියෙන් කරන ලද දේශනයේ, සිංහලානුවාදය පහත පරිදි ය.

“ඒ අයගේ අවධානය යොමු වී තිබෙන්නේ ආලෝකවත් වීම ගැන; නමුත් ආලෝකවත් වීම සඳහා ආලෝකය අවශ්‍යයයි. බුදුන් කියන නමේ අදහස තමයි ආලෝකවත් තැනැත්තා කියන එක: නෝනාවරුනි, මහත්වරුනි, කුමක් ද වඩා උතුම් ආලෝකය ද? ආලෝකමත් වීම ද? ජේසුස් වහන්සේ කිව්වේ මම ලෝකයේ ආලෝකය යි; ඒ නිසා මම ඔබට කියනවා. ජේසුස් වහන්සේ කිව්වේ නැහ මම ආලෝකවත් වූ තැනැත්තා කියා; නෑ.. නෑ.. ජේසුස් වහන්සේ ආවේ වෙනත් තරංගයකින්. ජේසුස් වහන්සේ කිව්වේ මම ආලෝකයයි. ඒ නිසා මම ඔබට ඉදිරිපත් කරනවා. බුදුන් හෙව්වේ ආලෝකයයි. ඇත්තට ම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි. ඒ නිසයි සෑම බෞද්ධයකුට ම ජේසුස්වහන්සේ අවශ්‍ය වන්නේ”


මේ ප්‍රකාශයෙන් සම්බුද්ධ දේශනාවට, සම්බුද්ධ ශාසනයට, සහ බෞද්ධ ජනතාවට අපහාසයක් වූ බවට චෝදනා සහ පැමිණිළි මත, නීති මගින් කටයුතු සිදුවන බවට ද වාර්තා පළ විය.
නීති කාර්ය, නීතිය ක්‍රියාත්මක කරන නීති නිළධාරීන් සතු ය. අප මෙහි සාකච්ඡාවට බදුන් කරන්නේ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ කතාව සම්බුදු දහමට එකඟ ද? එකඟ ද?
නො වේද? යන්න පිළිබ‍ඳව ය.


දේවගැතිවරයාගේ ඉහත ප්‍රකාශය, පැහැදිළි කර ගැනීමේ පහසුව සඳහා පහත පරිදි වෙන් කර දැක්විය හැක.

1. ඇත්තටම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි.


2. බුදුන් කියන නමේ අදහස තමයි ආලෝකවත් තැනැත්තා කියන එක. කුමක් ද වඩා උතුම් ආලෝකය ද? ආලෝකමත් වීම ද? ජේසුස් වහන්සේ කිව්වේ මම ලෝකයේ ආලෝකය යි ඒ නිසා
මම ඔබට ඉදිරිපත්
කරනවා බුදුන් හෙව්වේ
ආලෝකයයි

3. ඒ නිසයි සෑම බෞද්ධයකුට ම ජේසුස් වහන්සේ අවශ්‍ය වන්නේ


මේ ප්‍රකාශවල

“ඇත්තටම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි”

යන ප්‍රකාශය අනුව බුදු රදුන් එව්වේ ජේසුස් වහන්සේ ද?

මෙය සැබෑවටම විමසා බැලිය යුතු ය. මන්ද යත් දේවගැතිවරයාගේ මෙම ප්‍රකාශය සත්‍ය යැයි පිළිගන්නා පිරිස් ද බොහෝ බව එම සමාජ ජාලා වීඩියෝ පටය බැලීමෙන් පෙනී යයි. පසුව මෙම දේශනයට ඇහුම්කම් දීමෙන් මෙය සත්‍ය යැයි පිළිගන්නා පිරිස් ද බොහෝ ඇතිවිය හැක්කේ ය.

යම් පුද්ගලයෙක් තම අභිප්‍රායට අනුව, තම අභිලාශයන්ට එකඟව, යමක් ඉෂ්ට කර ගැනීමට, පූර්ණ බල සහිතව යමෙක් ඒ සඳහා යෙදවූවා නම්, තත් කාර්යට පටහැනිව එයට අනුයුක්ත පුද්ගලයා විසින් ක්‍රියා කිරීමට ඉඩක් නැත. හේතුව අණ දෙන පුද්ගලයා බලපුළුවන්කාර ආධිපත්‍යක් ඇති අයෙකු බැවිනි. සේවයෙහි යෙදෙන පුද්ගලයා අණ දුන්නා යැයි කියන පුද්ගලයාගේ අණට පිටස්තර දෙයක් කරනවා නම්, ඉඳුරා ම වෙනත් දෙයක් කරනවා නම්, එය අණ දුන් නායකයාගේ බලයට කරන ඇභියෝගයකි. එම ක්‍රියාව නැවැත් වීමට අණ දුන් නායකයාට හැකියාවක් නැත්නම් ඔහුගේ බලය පිරිහීමකි. නායකයාගේ අභිප්‍රාය භංග වීමක් ලෙස ද සළකන්නට සිදු වේ.


ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ,
” ඇත්තටම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි”
යන ප්‍රකාශය ක්‍රිස්තියානි ආගමේ ශුද්ධ ග්‍රන්ථය වන ශුද්ධ බයිබලයේ අන්තර්ගතයට එකඟ ද? යන්න විමසිය යුතු ය.

ශුද්ධ බයිබලයේ හෙබ්‍රෙව් ඇරමයික ලියවිල්ලෙහි උප්පත්ති කතාවේ පටන් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලෙහි යොහන්ට කළ එළිදරව්වක් දක්වා වූ ග්‍රන්ථ 66 හි සමස්ථ අන්තර්ගතයෙහි අභිලාස සහ තථාගත බුදු රදුන්ගේ දේශනාවෙහි අභිප්‍රායයන් සමපාත නො වන බව පැහැදිලි ය.

ඉහත දැක් වූ “සමස්ථ අන්තර්ගතයෙහි අභිලාස” යන්නෙන් අදහස් කරනුයේ ශුද්ධ බයිබලයේ සඳහන් පරිදි පරම නිෂ්ටාව වනුයේ ස්වර්ගය හෙවත් ස්වර්ග රාජ්‍යය වේ.

බුදු රදුන්ගේ පරම නිෂ්ටාව වනුයේ නිර්වාණ ශාන්තිය ය.

කිතු දහම අනුව දේව රාජ්‍යය ස්ථීර ය. නො වෙනස් වේ. ශාස්වත ය.

බුදු රදුන්ගේ දේශනාව අනුව සියලු සංස්කාරයෝ අනිච්චය හ. අස්ථිර ය. සාස්වත නැත. අසාස්වත ය. හතලිස් පස් (45) අවුරුද්දක තථගත බුද්ධ ජීවිතය සමස්ථ බුද්ධ වචනයෙහි සාරය අස්ථිර බව, අසාස්වත බව, වෙනස්වන සුලු බව ඇතුලු ත්‍රි ලක්ෂණය ය.

එනම් අනිත්‍ය දුක්ඛ, අනාත්ම යන තුන් ලකුණු ය.

ඒ බව තථාගත බුදු රජුන් විසින්

” සබ්බේ සංඛාරා අනිච්චාති”
(ධම්මපදය)

එහි සිංහලාර්ථය නම්:-
“සියලු සංස්කාරයෝ අනිච්චය යි”

සංස්කාරයෝ නම් හේතු පත්‍යයෙන් හට ගන්නා සියලු දේ සංස්කාරයෝ වෙත්. හේතු පත්‍යයෙන් හට ගන්නා සියලු සත්වයන් එනම් සියලු මනුෂ්‍යයන් සියලු ආකාර දෙවියන්, බ්‍රහ්මයන්, පඤ්ච සුද්ධාවාස වැසි බ්‍රහ්මයන්, අරූපතල වැසි දෙවියන්, දේව සංඛ්‍යාවට යන යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, දිව්‍ය නාගයන් ද, සියලු අමනුෂ්‍ය වූ භූත, ප්‍රේත, පිසාච, සුපර්ණ, අසුර, නරක, සියලු තිරිසන්, අසුර සියලු අපායික සත්වයන් ද ඇතුලු යම්තාක් පියවී ඇසට නො පෙනෙන අනුක සත්වයන් පටන් සියලු සත්වයන් ද, ඉර, හඳ, තාරකා, ග්‍රහ ලෝක, අන්තරීක්ෂක සියලු ග්‍රහ වස්තු, අභ්‍යාවකාශයෙහි පවතින යම්තාක් සියලු වස්තූන් ද, පෘතුවිය සහ පෘතුවිය ඇසුරෙහි පවතින පස්, ගල්, වැලි, ගස්, වැල්, ඇළ, දොළ, ගංගා, සාගරය, සහ සියලු අජීවී ද්‍රව්‍යය ද, ඉර එළිය, සඳ එළිය, විදුලිය, ධ්වනි තරංග හෙවත් ශබ්ද තරංග, ආලෝක තරංග, විද්‍යුත් චුම්භක බලය, විකිරණ බලය, ගුරුත්වාකර්ෂණ බලය, සියලු ආකර පරමානුක වූ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, (ප්‍රොසිටෝන), පරමානුක ශක්තීන් ද, දේව රාජ්‍ය ඇතුලු සියලු ජීව අජීව, සහ කර්ම ශක්ති, ච්ත්ත චෛතසික ධර්මයෝ සංකාරයෝ වෙත්.

බුදු රජුන් විසින් වදාරන ලද, මජ්ඣිම නිකායෙහි උපරිම පණ්ණාසකයෙහි සංඛාරුප්පත්ති සූත්‍රය, අභිධර්ම පිටකයෙහි
ධම්මසංගණිප්පකරණය
විභංගප්පකරණය,
කථාවත්ථුප්පකරණය
පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
ධාතුකථාප්පකරණය
යමකප්පකරණය
පට්ඨානප්පකරණය, යන සප්තප්ප්‍රකරණ ද අභිධර්ම පිටකයට ලියන ලද
අත්ථසාලිනී, සම්මොහවිනොදනී
පරමත්ථදීපනී නම් විජම්(අභිධර්ම) අටුවාවන් ද කියවීමෙන් සංස්කාර පිළිබඳ විස්තර විවරණ දැන ගත හැක.

ස්වර්ගය පිළිබඳව අද්විතීය ලෙස විවරණය කරන තථාගත සම්බුදු රදහු ස්වර්ගය හෙවත් දේව ලෝකයෙහි උප්පත්තිය වීමට හේතු ද සර්ව සම්පූර්ණ ලෙස වදාරන ලදහ. ඒ දේව ලෝක සහ එහි උපදින දේවියන්ගේ විභේදනයන් ද වදාළහ. ඒ සියලු දෙවියන් සංස්කාර බවත් ඒ සංසකාර ස්ථීර නැති අස්ථිර, අනිත්‍ය බවත් වදාළහ.


දෙවියන්ගේ අනිත්‍ය බව වූ
තථාගත සම්බුදු රදුන්ගේ දේශනාව සහ ශුද්ධ බයිබලයේ සඳහන් ස්වර්ගයේ සහ දෙවිගේ ස්ථීර වූ අනිත්‍ය නො වූ සදාකාලික ජීවනය පිළිබ්ඳ සංකල්ප කිසිදු ලෙසකින් සමපාත නො වේ. බුදු රදුන් අනිත්‍ය යැයි කියා වදාරන දෙය ශුද්ධ බයිබලයේ නිත්‍ය ලෙස කියත්. සාස්වත ලෙස පෙන්වත්.


බඹ ලොව සිටි බක බ්‍රහ්ම රාජ විසින් සාස්වත හෙවත් නිත්‍ය ලෙස ගන්නා ලද සිතුවිල්ල, තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ පරචිත්ත විජානන ඥානයෙන්(පර සිත් දැන ගන්නා නුවණ) දැක වදාරා ඒ බක බ්‍රහ්ම හට බක බ්‍රහ්මගේ සිතුවිල්ල වැරදි බවත් මැනවින් වදාරන ලදහ.

මේ පිළිබඳව මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ බ්‍රහ‍්ම නිමන්තනික සුත්‍රයෙහි (49 වෙනි සූත්‍රය) දක්වා ඇත.


බක බ්‍රහ්ම විසින් තථාගත බුදුරදුන් හමුවෙහි කියා සිටි ආකාරය බුදු රදුන් වදාරා ඇත්තේ මෙසේ ය.

“ඉදං හි මාරිස, නිච‍්චං, ඉදං ධුවං, ඉදං සස‍්සතං, ඉදං කෙවලං, ඉදං අචවනධම‍්මං. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප‍්පජ‍්ජති.ඉතො ච පනඤ‍්ඤං උත‍්තරිං නිස‍්සරණං නත්‍ථීති.”


“නිදුකාණෙනි, මේ බ්‍රහ්මස්ථානය නිත්‍යය, මේ ධ්‍රැවය( සැමදා පවත්නා), මේ ශාශ්වතය (සැම කල්හි පවත්නා) මේ කේවලය,(තනි වූ) මේ අචවන (චුතවන නො වන) ස්වභාවය. මේ බඹලොව උපදනුයේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේව යි, චුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිස්සරණයෙක් ( නික්ම යාමක්, පිටවීමක්) ඇත්තේ ද නොවෙ”යි “

යනු සිංහල තේරුම ය.

බක බ්‍රහ්ම විසින් තථාගත බුදුරදුන් හමුවෙහි මෙසේ කී කල බුදු රදුහු මෙසේ වදාළහ.


“එවං වුත‍්තෙ අහං භික‍්ඛවෙ බකං බ්‍රහ‍්මානං එතදවොචං: අවිජ‍්ජාගතො වත භො බකො බ්‍රහ‍්මා, අවිජ‍්ජාගතො වත භො බකො බ්‍රහ‍්මා: යත්‍ර හි නාම අනිච‍්චංයෙව සමානං නිච‍්චන‍්ති වක‍්ඛති, අද‍්ධුවංයෙව සමානං ධුවන‍්ති වක‍්ඛති, අසස‍්සතංයෙව සමානං සස‍්සතන‍්ති වක‍්ඛති, අකෙවලංයෙව සමානං කෙවලන‍්ති වක‍්ඛති, චවනධම‍්මංයෙව සමානං අචවනධම‍්මන‍්ති වක‍්ඛති. යත්‍ථ ච පන ජායතී ච ජීයති ච මීයති ච චවති ච උප‍්පජ‍්ජති ච, තං තථා වක‍්ඛති: ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප‍්පජ‍්ජතීති. සන‍්තඤ‍්ච පනඤ‍්ඤං උත‍්තරිං නිස‍්සරණං නත්‍ථඤ‍්ඤං උත‍්තරිං නිස‍්සරණන‍්ති වක‍්ඛතීති.

යනුවෙන් වදාළහ. මෙහි සිංහල තේරුම නම්:-

මහණෙනි, මෙසේ කී කළ මම බක බ්‍රහ්ම හට තෙල බස කීමි: මේ බඹ අනිත්‍ය වූවක් ම නිත්‍ය ය යි කියා ද, අධ්‍රැව වූවක් ම ධ්‍රැවයයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වතයයි කියා ද, අකේවල වූවක් ම කේවල යයි කියා ද, චවන ස්වභාව ඇතියක් ම අවවන ස්වභාවයයි කියා ද, යම් බඹලොවෙක උපදිනුයෙත් දිරනුයේත් මියනුයේත් චුතවනුයේත් පහළ වනුයේත් වේ ද, මෙහි නො උපදෙනුයේත් නො දිරනුයේත් නො මියනුයේත් නො පහළ වනුයේත් වේ ය යි. ඒ බඹලොව ගෙන එසේ කියා ද, මින් මතු (මෙය හැර) අන් නිස්සරණ ඇති ද මින්මතු අන් නිස්සරණ නැතියි කියා ද, භවත්නි, එහෙයින් මේ බක බඹ අවිද්‍යාගතයෙක් ම ය. භවත්නි, මේ බක බඹ අවිද්‍යාගත්‍යෙක් ම(අඥානයෙක් ම) ය කියා යි.

සම්බුදු රදුන්ගේ මෙම දේශනාව, ස්වර්ගය සදාකාලික බවට, ස්වර්ගය වෙනස් නොවන බවට ශුද්ධ බයිබලයේ සඳහන් කරුණුවලට සම්පූරණයෙන් ම පටහැනි ලෙස වූ දේශනාවකි.


තවද ශුද්ධ බයිබලයෙහි, , දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මිනිසා මැවූ බව සඳහන් කරත්. එය ශුද්ධ බයිබලයේ;
(මෙහි උපුටා දක්වන සියලු බයිබල් පාඨ 1984 පළ වූ සංශෝධිත ඉංග්‍රීසි අනුවාදය වන New World translation of the Holy Sriptures ඇසුරින් වූ සිංහාලානුවාද ශුද්ධ බයිබලය ඇසුරෙනි. )


” එවිට දෙවි මනුෂ්‍යාව සැදුවේ ය.
දෙවි මනුෂ්‍යාව සැදුවේ ඔහුගේ ම ගති ලක්ෂණ ඇතිවයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සැදුවේ ය.”

යනුවෙන් ඇත්තේ ය. (උප්පත්ති 27 වගන්තිය ද මාක් 19:6 හිද කොරි 11:9)

බයිබලයේ මේ කියන මැවුවාදයට ඉඳුරා ම පටහැනි ලෙස මිනිසාගේ ඇති වීම බුදු රදුන් විසින් වදාරා ඇත.

බුදු රදුන් විසින් දීඝ නිකායේ
අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඒ බව වදාරා ඇත්තේ මෙසේ ය.

“විවට‍්ටමානෙ ලොකෙ යෙභුය්‍යෙන සත‍්තා ආභස‍්සරකායා චවිත්‍වා ඉත්‍ථත‍්තං ආගච‍්ඡන‍්ති. තෙ’ධ හොන‍්ති මනොමයා පීතිභක‍්ඛා සයම‍්පභා අන‍්තලික‍්ඛචරා සුභට‍්ඨායිනො, චිරං දීඝමද‍්ධානං තිට‍්ඨන‍්ති”

එහි සිංහලාර්ථය නම්;-

“ඒ ලොව හට ගන්නා සමයෙහි බෙහෙවින් සත්හු ආභස්සර බ්‍රහ්මනිකායයෙන් සැව මෙ මිනිසත් බවට පැමිණෙත්. ඔහු මෙහි ධ්‍යාන සිතින් උපන්නාහු, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු, සිය සිරුරු ප්‍රභාස්සරව බබළන්නාහු, අහසින් යන්නාහු, සිත්කලු වස්ත්‍රාභරණ ඇතිව සිටින්නාහු ඉතා බොහෝ කලක් එසේ සිටිත්.”

අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි සම්බුදු රදුන් ආභස්සර බඹ ලොව බ්‍රහ්ම කායික බ්‍රහ්මයන්, සිටිය භවයේ ආයු අවසන් වී බඹ ලොවෙන් පිරිහී මනුෂ්‍ය භාවයට පත් වූ බව පැහැදිලි ලෙස වදාරා ඇත. මෙම දේශනාවෙන් මිනිසා මවන ලදයැයි බුදුරදහු නො වදාරත්.

මනුෂ්‍ය ස්ත්‍රී පුරුෂ භාවය ඇති වීම පිළිබඳව ශුද්ධ බයිබලයේ සඳහන් වන ආකාරයත් ත්‍රිපිටක ගත සම්බුදු රදුන්ගේ දේශනාවත් දෙයාකාර ය. සම නො වේ. විසමව පවතී.

ඒ පිළිබඳව බයිබලයේ දක්වා ඇත්තේ මෙසේ ය.

“එබැවින් යෙහොවා දෙවි මිනිසාව තද නින්දකට වැටෙන්නට සැලැස්වූවේය. ඔහු නිදා සිටියදී දෙවි ඉහුගෙන් ඉළ ඇටයක් ගත්තේ ය. ඉන් පසු ඔහු ඉළ ඇටය ගත් ස්ථානය වසා දැමුවේ ය.”
(උප්පත්ති 21වගන්නතිය)


“පසුව යෙහොවා දෙවි ඒ ඉළ ඇටයෙන් ස්ත්‍රියක සාදා ඇයව මිනිසා වෙතට ගෙනාවේ ය.”
(උප්පත්ති 22 වගන්තිය)

සම්බුදු රදුන්ගේ දේශනාවෙහි ස්ත්‍රී පුරුෂ භාවය ඇතිවීම පිළිඳව වදාරා ඇත්තේ මෙසේය.

“ලිඞ‍්ගපාතුභාවො
යථා යථා ඛො තෙ වාසෙට‍්ඨා, සත‍්තා අකට‍්ඨපාකං සාලිං පරිභුඤ‍්ජන‍්තා තම‍්භක‍්ඛා තදාහාරා චිරං දීඝමද‍්ධානං අට‍්ඨංසු, තථා තථා තෙසං වාසෙට‍්ඨා, සත‍්තානං භිය්‍යොසොමත‍්තාය ඛරත‍්තඤ‍්චෙව කායස‍්මිං ඔක‍්කමි, වණ‍්ණවෙවණ‍්ණතා ච පඤ‍්ඤායිත්‍ථ. ඉත්‍ථියා ච ඉත්‍ථිලිඞ‍්ගං පාතුරහොසි, පුරිසස‍්ස ච පුරිසලිඞ‍්ගං. ඉත්‍ථි ච සුදං ‘පුරිසං අතිවෙලං උපනිජ‍්ඣායති, පුරිසො ච ඉත්‍ථිං. තෙසං අතිවෙලං අඤ‍්ඤමඤ‍්ඤං උපනිජ‍්ඣායතං සාරාගො උදපාදි, පරිළාහො කායස‍්මිං ඔක‍්කමි.”

මෙහි තේරුම නම්:-

“වාශිෂ්ඨයෙනි, යම්සේ යම්සේ ඒ සත්හු නො සෑ බිමැ හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නාහු, එය ම වළඳන්නාහු, එය ම ආහාර කොට ඇත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ඒ සතුන්ගේ සිරුරෙහි බොහෝ සෙයින් රළුබව පහළ විය, නො පැහැපත් බවද පැනිණ. ස්ත්‍රියට ස්ත්‍රීලිංගය ද, පුරුෂයාට පුරුෂලිංගය ද පහළ විය. ස්ත්‍රී ද වූ කලී ඉතා බොහෝ වේලාවක් පුරුෂයා දෙස බලාඉඳී, පුරුෂයා ද ස්ත්‍රිය දෙස බොහෝ වේලා බලාඉඳී. මෙසේ ඉතා බොහෝ වේලා ඔවුනොවුන් දෙස බලා ඉන්නා ඔවුනට සරාගය පහළ විය. රාගපරිදාහය කයෙහි බැස ගත්තේ ය.”

ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව බයිබලයේ සඳහන් කරුණු සහ බුදු රදුන්ගේ දේශනාව කිසි ලෙසකින් සම නො වේ.

තවද බයිබලයේ පෙන්නා දී ඇති මඟ සම්බුදු රජුන් දේශිත වදාළ අර්ය අෂ්ටාංගික මඟ නො වන බව පැහැදිලි ය. බයිබලයේ මග වශයෙන් දක්වා ඇති මතෙව් 7 වෙනි පරිච්ඡේදයෙහි 13, 14 සහ ලුක් 13 හි 24 වගන්තිවල


“පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩ කඩ තිබෙනවා. එයින් ඇතුල් වන්නන් ද බොහෝයි.”
(මතෙව් 7:13)

“නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්ප දෙනෙක් පමණයි.”
( මතෙව් 7:14)


“පටු දොරටුවෙන් ඇතුල් වීමට උත්සාහ දරන්න. බොහෝ දෙනෙකු ඇතුල් වෙන්න උත්සාහ කළත් ඔවුන්ට එයින් ඇතුල් විය නො හැකියි”
(ලුක් 13:24)


මෙම ශුද්ධ බයිබල් දේශනා අනුව ජීවනය කරා යන පාර පටු මඟ ලෙස දක්වා ඇත. මෙහි “පටු මඟ” ලෙස ගන්නා මඟ බුදු රදුන්ගේ මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය නො වන බව පැහැදිලි ය. සමස්ථ බයිබලයේ කිසිදු වගන්තියක අර්ය අෂ්ටාංගික මාර්ගය නො පෙන්වත්.

සම්බුදු රදුන් ගමන් කළ මඟ, පෙන්වන මාර්ගය කුමක් ද යන්න විමසා බැලිය යුතු ය.

බුදු රදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධර්ම චක්කප්ප්‍රවර්තන සූත්‍රයෙහි, මාර්ගය පිළිබඳව, එක එල්ලේ ම වදාරන ලද්දේ ආර්ය අෂ්ටාංගික මාර්ග ය. සම්බුදු රදහු මෙසේ වදාළෝ ය.


“එතෙ තෙ භික‍්ඛවෙ, උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.

කතමා ච සා, භික‍්ඛවෙ, මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි.”

සිංහල තේරුම නම්;-

“මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ ප්‍රඥා ඇස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස විශිෂ්ට දැනුම පිණිස සිවුසස්( චතුස්සත්‍ය)
දැනුම පිණිස නිවන් පිණිස පවතී.

මහණෙනි, තථාගතයන් විසින් අවබෝධ කරන ලද පැනැස (ප්‍රඥා ඇස) ඇති කරන නුවණැස ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතෙක් කෙලෙස් සන්හිඳුවීම පිණිස විශිෂ්ට දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද යත්: “මේ අරිඅටඟිමඟ මැ” යි. එනම්: “සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි”

(ධම්මචක‍්කප්පවත්තන සූත්‍රය, සංයුත්ත නිකාය, සච්චසංයුත්තය)

සම්බුදු රදුන් වදාරන මඟ නම් ආර්ය අෂ්ටාංගික මඟ ය. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි එක ම මඟ සතර සතිපට්ඨාන බව බුදු රදහු වදාළ හ. සතර සතිපට්ඨානයෙහි වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ය. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කියනුයේ ද අරි අට මඟයි.

මහා සතිපට්ඨාන සූත්‍රයෙහි

“එකායනො අයං භික‍්ඛවෙ මග‍්ගො සත‍්තානං විසුද‍්ධියා සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාය ඤායස‍්ස අධිගමාය නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය, යදිදං චත‍්තාරො සතිපට‍්ඨානා”
(දීඝ නිකාය, මහා සතිප්ට්ඨාන සූත්‍රය)

“මහණෙනි, සතර සතිපට්ඨාන නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්‍වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝක පරිදේවයන්ගේ ඉක්මවීම පිණිස ද, දුක්දොම්නසුන් දුරුවනු පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාරගයට පැමිණෙනු පිණිස ද, නිවන් අවබෝධ කරනු පිණිස ද එක් ම මාර්ගය වෙයි.”

යනු මේ සූත්‍ර පාඨයෙහි තේරුම ය.

ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය බවත් කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතිපට්ඨාන සතර ඒ මඟ බව තථගතයන් වහන්සේ වදාළහ. සතිපට්ඨාන යනු සිහිය පිහිටු වීමය. ඒ සිහිය පිහිටුවීම, සතර කරුණක් මත විය යුතු ය. ඒ සතර සතිපට්ඨාන කෙරෙහි ය. ඒ සතර සතිපට්ඨාන ධර්ම ම , ශීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගය මිස වෙන මඟක් නො වේ.

විශේෂයෙන් බුදු රදුන්ගේ මඟ වන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගයෙහි සම්මා සති මාර්ගාංගයෙහි සතර සතිපට්ඨාන සහ සම්මා සමාධි මාර්ගාංගයෙහි ප්‍රථමද්ධ්‍යානය, දෘතියද්ධ්‍යානය, තෘතියද්ධ්‍යානය, චතුර්ථද්ධ්‍යානය යන රූපාවචර සතර ධ්‍යානයෝ වෙත්. සම්මා දිට්ඨි මාර්ගාංගයෙහි අදියර අටකින් දැකීම ශුද්ධ වීම් වශයෙන් සෝතාපන්න මාර්ගය, සෝතාපන්න ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය, යන සතර මඟ සතර ඵලයෝ වෙත්.


උත්තරීතර මනුෂ්‍ය ධර්ම වන සතර මඟ- සතර ඵල, සතර ධ්‍යානයන් ද සතර සතිපට්ඨාන ද, බයිබලයේ කිසිදු තැනක මාර්ගය වශයෙන් පෙන්නා දී නැත.

එම මාර්ගය විසුද්ධි සතකින් හෙවත් අදියර සතකින් පරිපූරණ වෙයි.

තවද බුදු රදුන් වදාළ ධර්මය අනුව සත්වයා කර්ම රැස් කරන අතර ඒ කර්ම විපාක වශයෙන් හේතු වී නැවත නැවත භවය හට ගැනීමත් එය පුනර්භවය ලෙස දක්වා ඇත. ඒ කර්මය අරහන් මාර්ග ඥානයෙන් ක්ෂය නො කරන තාක් නැවත නැවත භවය හට ගන්නා බව බුදු රදුන් වදාරා ඇත. ඒ කර්ම නැවත භවය හට ගැනීමට තරම් හේතු වන කර්ම ප්‍රතිසන්ධි විපාක දෙන කර්ම වශයෙන් ද ජාති හෙවත් උප්පත්තිය ලැබීමෙන් පසු ජීවත් වීමේදී විපාක දෙන කර්ම ප්‍රවෘත්ති විපාක ලබාදෙන කර්ම ලෙස ද වදාරා ඇත. කර්ම දෙයාකාර ය. කුසල කර්ම සහ අකුසල කර්ම වශයෙනි. පුණ්‍ය කර්ම සහ පාප කර්ම ලෙස ද එය පිළිවෙලින් හදුන්වත්. කුසල කර්මවලින් යපපත් වූ සැප විපාක ද අකුසල කර්මවලින් දුක් විපාක ද උපදවන බව බුදු රදුහු වදාළහ.


කර්ම විපාක දෙන ආකාර පිළිබදව “කර්ම නියාමය” නම් ධර්මතාවය වදාරන බුදු රදහු සත්වයන්ගේ උප්පත්ති සිදු වන්නේ කළ කර්මයේ වීපාකය හේතුවෙන් ම බව වදාළහ.


කර්මය නම් චේතනාව බව “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි”
(අඞ්ගුත්තර නිකාය ඡක්කනිපාතය නිබ්බේධික සූත්‍රය)
ලෙස බුදු රදුන් වදාරා ඇත.

මහණෙනි, මම චේතනාව කර්මය යි වදාරමි” යනු එහි තේරුම ය.

ඉතා වටිනා මෙම නිබ්බේධික සූත්‍රය මනා කොට කියවීම, කර්මය පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීමට හේතු වනවා ඇත.


මජ්ඣිම නිකායේ උපරිම පණ්ණාසකයේ චුල්ල කම්ම විභංග සූත්‍රය සහ මහා කම්ම විභංග සූත්‍ර ද,සංයුත්ත නිකායෙහි කම්ම සුත්‍රය ද යන සූත්‍රවල කර්මය, කර්ම විපාක දෙන ආකාරයේ විභේදය විස්තර ලෙස දක්වා ඇත.

තථාගත බුදු රදුන් විසින් කර්ම රැස්වන හේතු, ඒ ඒ කර්මවල බෙදා දැක්වීම ද කර්ම විපාක ඵල දෙන ආකාර ද භෙදා දැක්වීම් කර ඇතිමුත් බයිබලයෙහි කිසිදුතැනක කර්ම විපාකයෙන් භවයෙන් භවයට, කර්ම ශක්තිය අරහන් මාර්ග ඥානයෙන් ක්ෂය නො කරන තාක් උප්පත්තිය සිදුවන බව කියා නැත.


ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් කියන ලද

“[බුදුන් හෙව්වේ ආලෝකයයි] ඇත්තටම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි”
යන ප්‍රකාශය සත්‍යයක් නො වන බවත් මිත්‍යා සංකල්පිත හිතලුවක් බවත් ඉහත දැක්වූ කරුණු මනා කොට අධ්‍යනය කිරීමෙන් තේරුම් යනවා ඇත.

ජේසුස් වහන්සේ විසින් හෝ ජේසුස් වහන්සේගේ පිය වූ (යෙහොවා) දෙවි විසින් හෝ බුදු රදුන් එව්වා නම්, ඉහතින් සංක්ෂිප්ත කොට දැක්වූ කරුණු ප්‍රකාරව ද බුදු රදුන්ගේ දේශනාව වූ සංස්කාරයන්ගේ අනිත්‍යාවය, දුක්ඛතාවය, අනාත්මතාවය ද (අනාත්ම= සියලු සංස්කාරයන් පාලන ශක්තියෙන් තොර බව) , සංක්ෂිප්ත වශයෙන් චතුරාර්ය සත්‍යය ද, මධ්‍යස්ථ වශයෙන් පටිච්ච සමුත්පාද ධර්මය ද, විස්තාර වශයෙන් අභිධර්ම දේශනාවෙහි අනන්ත නය සමන්වාගත පට්ඨානප්ප්‍රකරණයෙහි සූවිසි පත්‍ය වශයෙන් ද, සෝතාපන්න මාර්ගය- ඵලය, සකදාගාමි මාර්ගය- ඵලය, අනාගාමි මාර්ගය- ඵලය, අර්හත් මාර්ගය- ඵලය, සහ නිර්වාණ ධාතුව වශයෙන් ද බුදු රදුන්, ශුද්ධ බයිබලයෙහි අන්තර්ගතයට කිසිසේත් ම සම නො වන ලෙස දේශනා කොට වැදෑරීමෙන් කර ඇත්තේ ඉඳුරාම ජේසුස් වහ්න්සේගේ අභිලාශ ඉක්මවීමකි. නොතකා හැරීමකි. සමස්ථ බයිබලයේ අභිප්‍රාය පිටු දැකීමකි.
යෙහෝවා දෙවිගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ අපේක්ෂාවන් ඉක්මමවා යෑමකි. එය එසේ සිදු වී හමාර ය.

තවද බයිබලයෙහි කිසිදු තැනක සම්බුදු රදුන් ගැන සඳහනක්
නැත. සම්මා සම්බුදු රදුන් යනු සර්වඥතා ඥානය, දසබල ඥාන, චතුර් විශාරද ඥාන, තෙසැත්තෑ ඥාන, සත් සැත්තෑ ඥාන සහ දෙතිස් මාහා පුරිස ලක්ෂණයන්ගෙන් සමන්විතව නාරායන සංඝාත බලය නම් වූ විශේෂිත ශරීර කාය බලයෙන් හෙබි උත්තරීතර ධර්ම කයක් දැරූ පුද්ගයෙකි. මේ පිළිබඳ කිසිදු වචනයක් හෝ බයිබලයෙහි නැත.


ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් බුදු රදුන් සම්බන්ධව “ඇත්තටම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි” යනුවෙන් කියන ලද ප්‍රකාශය හිස් වූවක් බව ඉහත පැහැදිලි කිරීම්වලින් හේතු යුක්තව අවබෝධ වනවා ඇත. එය සනාථ වී ඇති බව ද තේරුම් යනවා ඇත.

ඊළගට ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ,

“බුදුන් කියන නමේ අදහස තමයි ආලෝකවත් තැනැත්තා කියන එක. කුමක් ද වඩා උතුම් ආලෝකය ද? ආලෝකමත් වීම ද? ජේසුස් වහන්සේ කිව්වේ මම ලෝකයේ ආලෝකය යි ඒ නිසා
මම ඔබට ඉදිරිපත්
කරනවා බුදුන් හෙව්වේ
ආලෝකයයි”


යන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය කුමක් ද? යන්න සොයා බැලිය යුතු ය.

“ජේසුස් වහන්සේ කිව්වේ මම ලෝකයේ ආලෝකය යි”
යන ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ප්‍රකාශයට පාදක වූ දේශනාව, බයිබලයෙහි එක් තැනක දක්වා ඇත්තේ මෙසේ ය.

” යේසුස් වහන්සේ නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේ ය.,”ලෝකයේ ආලෝකය මමයි.”
(ශුද්ධ බයිබලය, යොහන් 8:12)

ආලෝකය පිළිබඳව බුදු රදුන්ගේ දේශනව අනුව, සිත ප්‍රකෘතියෙන් ම ප්‍රභාස්වර බවත් ආගන්තුකව පැමිණෙන උපක්ලේශවලින් සිත දූෂණය වීම සිදුවන බව ය. සිතෙහි කෙලෙස් ප්‍රහීන වීමෙන් සිත ආලෝකවත් වන බව තථාගත බුදු රදුනන්ගේ දේශනාව ය. ආලෝකයේ ස්වභාවය බැබළීම ය. බබළන යමක් වේ ද එහි ආලෝකය ඇත. ප්‍රභාස්වර නම් බැබැළීමයි.

ඒ සිතෙහි ආලෝකය යටපත් නො වීමට නම් සිතෙහි භාවනා සමාධි ඇතිවිය යුතු ය. ඒ සමාධි සිතට බුදු රදුහු චිත්තභාවනා යනුවෙන් හදුන්වත්. ඒ චිත්තභාවනා සමාධි කෙලෙස් සංසිඳ වීම් අනුව අදියර හයක් ඇත. එනම් :-
1.සෝතාපන්න බව
2. සකදාගාමි බව
3 .අනාගාමි බව
4.අරහත් බව
5 . පච්චේක බුදු බව
6. සම්මා සම්බුදු බව
යන ආකාර හයයි.


මෙම අදියර හයෙන් තිදෙනෙකුට සියලු කෙලෙස් නැසීමෙන් අර්හත් බව ලැබේ. ඒ අර්හත් බව ද අනුන්ගේ මඟ පෙන්වීමකින් තොරව තමා විසින් ම අවබෝද කර ගෙන අනුන්ට ද සෝතාපන්නාදී මඟ පල අවබෝධ කරන උතුමා සම්මා සම්බුදධ නම් වේ. තමා විසින් අර්හත් මාර්ගය සව සංතානයේ අනුන්ගේ උපකාරයෙන් තොරව අවබෝධ කරන උතුමෝ පච්චේක බුදු රදුහු වෙත්. එනමුදු පච්චේක බුදුවරුන් හෙවත් පසේ බුදුවරුන්ට අන්‍යයන්ට සෝතාපන්නාදී මඟ ඵල අවබෝධ කරවීමට නො හැක. අනෙකුත් සියලු ආර්ය භූමි වන සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අර්හත් බව අවබෝධ කර ගත හැකි වන්නේ සම්බුදු කෙනෙකුන්ගේ ධර්ම දේශනා මාර්ගය වෙතින් පමණි.

සම්බුදු රදුන් විසින් සිත ප්‍රකෘතියෙන් ආලෝකවත් බව වදාරා ඇත්තේ මෙසේ ය.


“පභස‍්සරමිදං භික‍්ඛවෙ චිත‍්තං. තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං. තං අස‍්සුතවා පුථුජ‍්ජනො යථාභූතං නප‍්පජානාති. තස‍්මා අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස චිත‍්තභාවනා නත්‍ථීති වදාමීති.
(පභස‍්සරවග‍්ගො අඞ‍්ගුත‍්තර නිකාය. එකක නිපාතය.)


මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිෂ්ට වූයේ ය. ශ්‍රැතරහිත පෘථග්ජන තෙමේ එය තත් වූ පරිද්දෙන් නො දනී. එහෙයින් ‘අශ්‍රැතවත් පෘථග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි

මෙහි පෘථග්ජනයා යනු සෝතාපන්න භාවයට පත් නොවූ පුද්ගලයා ය. ඒ බව අභිධර්ම පිටකයේ පුග්ගලපඤ්ඤ්ත්ති ප්‍රකරණයෙහි ඒක්ක නිර්දේශයයෙහි වදාරා ඇත්තේ මෙසේ ය.

“කතමො ච පුග‍්ගලො පුථුජ‍්ජනො: යස‍්ස පුග‍්ගලස‍්ස තීණි සංයොජනානි අප‍්පහීනානි න ච තෙසං ධම‍්මානං පහානාය පටිපන‍්නො, අයං වුච‍්චති පුග‍්ගලො පුථුජ‍්ජනො”

(අභිධර්මපිටක, පුග්ගපඤ්ඤත්ති ප්‍රකරණය, ඒකක නිර්දේස)

“කවර පුද්ගලයෙක් පෘථග්ජන වේ ද යත්: යම් පුද්ගලයකුගේ සංයෝජනයෝ තිදෙනෙක් ප්‍රහීණ නො වූවාහු ද, ඒ සංයෝජනධර්මයන්ගේ ප්‍රහාණය පිණිස නො පිළිපන්නේත් වේ ද, මේ පුද්ගල පෘථග්ජන යි කියනු ලැබේ.”
යනු සිංහල තේරුම ය.

සංයෝජ තිදෙන නම් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, යන සංයෝජනයෝ ය. සංයෝජන යනු නැවත උප්පත්තියට, පුනර්භවයට හේතු ඇති කරන ක්ලේශ ධර්මයෝ ය. මෙ තුන් සංයෝජනයන් ප්‍රහානයෙන් සෝතාපන්න බවට පත් වේ.


අර්හත් මාර්ගයෙන් කෙලෙස් නසා සම්බුදු බව ලබන බුදු රදුන්ගේ සිතේ ආලෝකය, සියලු ආලෝකයන් අතරින් ශේෂ්ට බවත් බුදු රදුහු විසින් වදාරන ලදහ. එම ආලොකය අනුත්තර හෙවත ඊට වඩා වැඩි ආලෝකයක් නැති බව බුදු රදුන් වදාරා ඇත. කෙලෙස් නැසීමෙන් ප්‍රඥාව චෛතසිකය විශිෂ්ට ආකරයෙන් සිත සමඟ දියත් වේ. පඤ්ඤා හෙවත් ප්‍රඥාව පහළ වීම ආලෝකය බවත් පඤ්ඤාව ලැබීම අර්හත් මාර්ග ඥානයෙන් ම පූර්ණය වන බව බුදු රදුන් විසින් වදාරණ ලදහ.

“පඤ‍්ඤා ලොකස‍්මිං පජ‍්ජොතො”

“පඥාව ලෝකයෙහි ආලෝකය (පහන) ” බව බුදු රදුන් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයෙහි ඣ්ත්වා වර්ගයෙහි පජ්ජෝත සූත්‍රයෙහි වදාළහ.


එක් දිනක් දෙවි කෙකෙක් තථාගත් බුදුරඳුන් හමුවට පැමිණ බුදු රදුන්ගෙන් විමසා සිටිනුයේ


“යමෙකින් ලොව බබළා නම් (එබඳු) ආලෝක ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විමසන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?


මෙය සූත්‍ර පිටකයෙහි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ සත්ති වර්ගයෙහි පජ්ජෝත (මෙම පජ්ජෝත සූත්‍රය පෙර සඳහන් වූ පජ්ජෝත සූත්‍රය නො වේ.)සූත්‍රයෙහි ඇත්තේ මෙසේය.


සාවත්‍ථියං —
එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

කති ලොකස‍්මිං පජ‍්ජොතා-
යෙහි ලොකො පකාසති,
භගවන‍්තං පුට‍්ඨුමාගම‍්ම-
කථං ජානෙමු තං මයං.

සිංහලාර්ථය:-
යමෙකින් ලොව බබළා නම් (එබඳු) එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?

එයට පිළිතුරු දෙන බුදු රදහු

[භගවා:]
චත‍්තාරො ලොකෙ පජ‍්ජොතා- පඤ‍්චමෙත්‍ථ න විජ‍්ජති,
දිවා තපති ආදිච‍්චො-
රත‍්තිං ආභාති චන්‍දිමා,
අථ අග‍්ගි දිවාරත‍්තිං-
තත්‍ථ තත්‍ථ පකාසති,
සම‍්බුද‍්ධො තපතං සෙට‍්ඨො-
එසා ආභා අනුත‍්තරා’ති.

මෙහි සිංහලාර්ථය නම්:-
“භගවත්හු:
ලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත.
හිරු දවල් බබලයි. සඳු රෑ බබලයි. තව ද, ගින්න දිවා රෑ දෙකෙහි ඒ ඒ තැන බබලයි.~
සම්බුදුන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ.~
මේ ආලෝකය අනුත්තර ය (හෙවත් ඊට වඩා වැඩි ආලෝකයක් නැත්තේ ය.)

පැන විමසූ දේවතාවාට බුදු රදුන් වදාළේ ලොව එළි සතරකි. පස්වෙනි එළියක් නැත. හිරු දවල් බබළයි.(එළිය කරයි) සඳු රාත්‍රියේ බබළයි.(එළිය කරයි) ගින්දර හෙවත් ගින්න දිවා රාත්‍රී දෙක්හි ඒ ඒ තැන (තිබෙන තිබෙන තැන) බබළයි ( සියලු ගිනි, විදුලිය, දෙවියන්ගේ ශරීර ආලෝකයන් ද ඇතුලුව). බබලන්නන්, එළිය කරන්නන්, ආලෝකයන් අතුරින්, සම්මා සම්බුදු රදුන් ශේෂ්ඨයහ. අනුත්තරය හෙවත් සම්බුදු රදුන්ගේ බැබැළීමට ආලෝකයට වඩා වැඩි බැබළීමක් ආලෝකයක් නැති බව ය.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ

1.”බුදුන් හෙව්වේ ආලෝකයයි
ඇත්තටම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි.”

2.”බුදුන් කියන නමේ අදහස තමයි ආලෝකවත් තැනැත්තා කියන එක. කුමක් ද වඩා උතුම් ආලෝකය ද? ආලෝකමත් වීම ද? ජේසුස් වහන්සේ කිව්වේ මම ලෝකයේ ආලෝකය යි ඒ නිසා
මම ඔබට ඉදිරිපත් කරනවා බුදුන් හෙව්වේ ආලෝකයයි”


යන ප්‍රකාශයන් පදනම් විරහිත වන්නේ බුදුරදුන් ම දේශනා කොට වදාළේ ආලෝකය වූ බබළන එළි සතරක් මිස පස් වන ආලෝකයක් නැති බවත් එයිනුත් සම්බුදු රදුන්ගේ ආලෝකය ශේෂ්ඨ බවය. සම්බුදු රදුන්ට වැඩි ආලෝකයක් නැති බව ය.

” බුදුන් හෙව්වේ ආලෝකයයි
ඇත්තටම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි.”

කියන කීමට පදක වූ බයිබලයේ

” යේසුස් වහන්සේ නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේ ය.,”ලෝකයේ ආලෝකය මමයි.”

යන ශුද්ධ බයිබලය, යොහන් 8:12 වගන්තිය බුදු රදුන්ගේ ඉහත පෙන්නූ දේශනා අනුව පරස්පරව සිටීමෙන් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ප්‍රකාශය සත්‍ය නොවූ, හිස්වූවක් බව කිව යුතු ය.


බුදු රදුන්ගේ චිත්ත සංතානයේ ක්ලේශ ධර්ම ප්‍රහාණයත් සමඟ ම පහළ වූ සර්වඥතා ඥානය සමඟ, මහත් වූ ප්‍රඥා චක්ෂුසහුගේ පහළ වීම ද,
මහත් වූ ආලෝකයකහුගේ පහළ වීම ද, මහත් වූ ප්‍රඥාවභාසයක්හුගේ පහළ වීම ද,
අනුත්තරියධර්මයන්1* සදෙනාගේ පහළ වීම ද, සිවුපිළිසැඹියාවන්ගේ2** පසක් කිරීම ද,
(අටළොස් වැදෑරුම්) අනේක ධාතුන්ගේ ප්‍රතිවේධය ද, (අටළොස් වැදෑරුම්) නානාධාතුන්ගේ ප්‍රතිවේධය ද,
විද්‍යාවිමුක්තිඵලයන්ගේ සාක්ෂාත් කිරීම ද,
ස්‍රෝතාපත්ති ඵලයාගේ සාක්ෂාත් කිරීම ද,
සකෘදාගාමි ඵලයාගේ සාක්ෂාත් කිරීම ද,
අනාගාමී ඵලයාගේ සාක්ෂාත් කිරීම ද,
අර්හත්ත්‍ ඵලයාගේ සාක්ෂාත් කිරීම ද, පෙර පසු නොවී සිද්ධ වී ඇත්තේ ය.


ඒ බව බුදු රදුන් වදාරා ඇත්තේ මෙසේය:

“එකපුග‍්ගලස‍්ස භික‍්ඛවෙ
පාතුභාවා මහතො චක‍්ඛුස‍්ස පාතුභාවො හොති, මහතො ආලොකස‍්ස පාතුභාවො හොති, මහතො ඔභාසස‍්ස පාතුභාවො හොති, ඡන‍්නං අනුත‍්තරියානං පාතුභාවො හොති, චතුන‍්නං පටිසම‍්භිදානං සච‍්ඡිකිරියා හොති, අනෙකධාතුපටිවෙධො හොති, නානාධාතුපටිවෙධො හොති, විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියා හොති, සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියා හොති, සකදාගාමිඵලසච‍්ඡිකිරියා හොති, අනාගාමිඵලසච‍්ඡිකිරියා හොති, අරහත‍්තඵලසච‍්ඡිකිරියා හොති. කතමස‍්ස එකපුග‍්ගලස‍්ස: තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස.”

(අඞ්ගුත්තර නිකායෙහි, ඒකක නිපාතයෙහි, ඒකපුදගල වර්ගය)

එහි සිංහල තේරුම නම්:-

“මහණෙනි, එක් පුද්ගලයක්හුගේ පහළ වීම හේතු කොට ගෙන මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයක්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥා ඕභාසයක්හුගේ පහළ වීම වෙයි, අනුත්තරියධර්මයන් සදෙනාගේ(1*) පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ = (අර්ථ පටිසම්භිදා,ධර්ම පටිසම්භිදා, නිරුක්ති පටිසම්භිදා, පටිභාන පටිසම්භිදා)2** පසක් කිරීම වෙයි, (අටළොස් වැදෑරුම්) අනේක ධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, (අටළොස් වැදෑරුම්) නානාධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, විද්‍යාවිමුක්තිඵලයන්ගේ සාක්ෂාත් කිරීම වෙයි, සෝතාපත්ති ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අර්හත්ත්ව ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, කවර එක් පුද්ගලයක්හුගේය? යත්: තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය.


මේ දේශනාව අනුව බුදු රදුන්, සබ්බඤ්ඤුත ඤාණය පූර්ණය කිරීමත් සමඟ ම ශ්‍රේෂ්ඨ වූ ආලෝකය පහළ වීම පමණක් නොව ඉහත සූත්‍ර පාඨයෙන් දකවා ඇති සියලු ධරමයන් පහළ විම සිදු විය. මේ පිළිබඳව එකදු වචනයක්වත් බයිබලයේ සදහන් වී නැත. එපමණක් නොව බුදුන් වහන්සේගේ දේශනව සහ මාර්ගය, බයිබලයේ අභලාෂයන් සමඟ සමපාත නො වන බව ද කිව යුතු ය.


සම්බුදු රදුන්ගේ ලොව පහළ වීම, දෙවියන් බ්‍රහ්මයන් මරුන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි කිසිදු කෙනෙකුට දෙවෙනි නොවී, කිසිවෙකුගේ සහාය භාවයක් නොවී, ප්‍රතිමා රහිතව , යම් ප්‍රතිමා රහිත බවක් වේ නම් ඒ ප්‍රතිමා රහිත බවට සමානව =( බුදුරදුන් උදෙසා ප්‍රතිමා නැත. බුදුරදුන් උදෙසා ප්‍රතිමා සෑදිය නො හැක. හදන පිළිම බුදු රදුන් උදෙසා නො පිහිටයි. ඒ ප්‍රතිමා රහිත බවට සමානව ) , සමානයකු නැතිව, විරුද්ධ පුද්ගලයකු නැතිව= ස්වකීය බලය යටපත් කිරීමට තරම් වන කිසිදු පුද්ගලයකු නැතිව, නො සමව= අන් අයට සම නොවී, අන්‍යයන්ට නො සම වන්නා වූ සම්බුදු කෙනෙකුන්ට පමණක් සමව, දෙපා ඇතිවුනට අග්‍රව සිදු වන බව බුදු රදුන් විසින්
වදාරා ඇත්තේ ය.


ඒ බැව් අඞ්ගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි ඒක පුග්ගල වර්ගයෙහි මෙසේ වදාරා ඇත.


“එකපුග‍්ගලො භික‍්ඛවෙ ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අදුතියො අසහායො, අප‍්පටිමො, අප‍්පටිසමො, අප‍්පටිභාගො, අප‍්පටිපුග‍්ගලො, අසමො අසමසමො, දිපදානං අග‍්ගො. කතමො එකපුග‍්ගලො: තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො.”

එහි සිංහල තේරුම මෙසේ ය:-

“මහණෙනි, එක් පුද්ගලයෙක් ලොව උපදනට තරම්වේ, අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේවෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය.”

මේ දේශනාවෙන්, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමණ බ්‍රාහ්මණයන් සහිත සියලු ආකාර දෙවියන් සහිත මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි කිසිවෙකුට දෙවෙනි නො වන බවත් දෙපා ඇත්තවුන්ගෙන් අග්‍ර බවත් බුදු රදුන් විශින් වදාරන ලදහ.


දෙපා ඇත්තවුන් ලෙස මෙහි සලකන්නේ සියලු මනුෂ්‍යයන් ද සියලු දෙවියන් ද සියලු බ්‍රහ්ම කායික දෙවියන් ඇතුලු
දේව රාජ්‍ය වැසි සැම දෙනා ද සහ ලොව දෙපා සහිත සියලු සත්වයන් ය.

තවද සම්බුදු වන භවයේ උපදින සියලු මහ බෝ සත්වවරු, මවි කුසින් උපදී, සුළු මොහොතකට පසු සම පාද පියෙන් පොළොවෙහි පිහිටා උතුරු දිසාභිමුඛව සත් පියවරක් ගමන් කොට සිව් දිසා දීසාවලෝකනය කොට

“අග‍්ගො’හමස‍්මි ලොකස‍්ස, ජෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස, සෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස, අයමන‍්තිමා ජාති, නත්‍ථි’දානි පුනබ‍්භවො”ති.

යන ගාථාවෙන් උතුම් බස පවසන බව බුදු රදුන් දේශනා කොට වදාළහ. ඒ බැව්

දීඝ නිකායෙහි මහාපදාන සූත්‍රයෙහි වදාරා ඇත්තේ මෙසේ ය.

. ධම‍්මතා එසා භික‍්ඛවෙ, සම‍්පතිජාතො බොධිසත‍්තො සමෙහි පාදෙහි පතිට‍්ඨහිත්‍වා උත‍්තරාභිමුඛොසත‍්ත පදවීතිහාරෙ ගච‍්ඡති සෙතම‍්හි ඡත‍්තෙ අනුහීරමානෙ සබ‍්බා ච දිසා අනුවිලොකෙති, ආසභිඤ‍්ච වාචම‍්භාසති:

“අග‍්ගො’හමස‍්මි ලොකස‍්ස, ජෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස, සෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස, අයමන‍්තිමා ජාති, නත්‍ථි’දානි පුනබ‍්භවො”ති.
අයමෙත්‍ථ ධම‍්මතා


මෙ සූත්‍ර පාඨයේ සිංහල තේරුම:-

මහණෙනි, මේ ධර්මතා යි: උපන් නොබෝ වේලෙහි ම දෙව්සේසත් දරුනු ලබත් ම බෝසත්තෙම සම පියෙන් පොළොව පිහිටා උතුරු දෙසට මුහුණ ලා සත් පියවරක් යෙති. හැම දිසා අනුව බලති.

“මම් ලොවට අග්‍ර වෙමි.
මම් ලොවට ජ්‍යේෂ්ඨ වෙමි.
මම් ලොවට ශ්‍රේෂ්ඨ වෙමි.
මේ අන්තිම ඉපැත්ම ය.
දැන් මට මතු භවයෙක් නැතැ” යි උතුම් බස් පවසත්. මේ මෙහි ධර්ම තා යි.

මහ බෝසතාණන්ගේ මේ උතුම් බසෙහි
” මම ලොවට අග්‍ර වෙමි,
මම ලොවට ජ්‍යේෂ්ඨ වෙමි.
මම ලොවට ශේෂ්ඨ වෙමි.

යන ගාථවෙහි තුන් පදයෙහි අරුත් අනුව දේව රාජ්‍යයන්හි සියලු දෙවියන් බ්‍රහ්මයන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ව ප්‍රජවෙහි සියලු සත්වයන් සහිත ලොවට “අග්‍ර වන බවත්, ජ්‍යේෂ්ඨ වන බවත්, ශ්‍රේෂ්‍ඨ වන බවත් යන උතුම් බස් පැවසීමෙන්


“ඇත්තටම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි”
යන සම්බුදු රදුන් උදෙසා කියන ප්‍රකාශය මේ කරුණින් ද අසත්‍යක් වේ.

යමෙක් අන්‍යවූ සියලු බලයන් ප්‍රතිබාහනය = වැළැක්වීම කර, සැබවින් ම ක්‍රිය කරනවා නම් ඒ බලයයෙන් අධර්මයක් නො කරනවා නම් අවිහිංසාවාදීව සත්‍ය මාර්ගය අනුව කටයුතු කරනවා නම් ඒ මඟ සහ බලය නිවැරැදි නම් ඒ මඟ වැඩීමක් මිස පිරිහීමක් නො වේ නම් අප පිළිගත යුත්තේ ඒ බලය ලත් මඟයි. අප ගමන් කළ යුත්තේ ඒ මඟ කියන ශාස්තෲන් ගත් මඟයි.

අයමන‍්තිමා ජාති, නත්‍ථි’දානි පුනබ‍්භවො”ති.

“මේ අන්තිම ඉපදීම ය.
දැන් මට මතු භවයෙක් නැතැ” යැයි

මහ බෝසතාණන්ගේ උතුම් බසෙහි අන්තිම පදයෙන් මේ අවසාන භවය බවත්, නැවත කිසිදු භවයක උපතක් නො වන බවත් පැවසීම බයිබලයෙහි සඳහන් පරම නිෂ්ඨාව වන ස්වර්ග පරායන වීම හෙවත් ස්වරගරාජ්‍ය සංකල්පය මහ බොසතාණන් වහ්න්සේ විසින් බැහැර කළ බව පැහැදිලි ය, එය සම්බුදු වී නැවත නූපදින ලෙස භවය කෙළවර කිරීමෙන් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී වැදෑරීමෙන් ඒ බව ලොවට මොනවට පසක් කළහ.

තවද .”බුදුන් කියන නමේ අදහස තමයි ආලෝකවත් තැනැත්තා කියන එක. කුමක් ද වඩා උතුම් ආලෝකය ද? ආලෝකමත් වීම ද? ජේසුස් වහන්සේ කිව්වේ මම ලෝකයේ ආලෝකය යි ඒ නිසා
මම ඔබට ඉදිරිපත් කරනවා බුදුන් හෙව්වේ ආලෝකයයි”

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ප්‍රකාශයෙහි

“ඒ නිසා මම ඔබට ඉදිරිපත් කරනවා බුදුන් හෙව්වේ ආලෝකයයි”

යන වැකියේ “බුදුන් හෙව්වේ ආලෝකයයි ” යන වචන තුනෙන් කියන්නේ බුදු රදුන් ආලෝකය සෙවීම කළ බවය.

මෙය අනවබෝධයෙන් කරන ප්‍රකාශයක් බව කිව යුතු ය.

සියලු ආකරයෙන් ප්‍රඥාවෙන් ප්‍රභාස්සර වූ ලොව සියලු දෙනාටම වඩා ආලෝකයෙන් අග්‍ර වූ බුදුරදුන්ට නැවත ආලෝකය සෙවීමට, ඒ සඳහා වෙහෙසිමට අවශ්‍ය නැත. ආලෝකවත් බව ඇති බැබළෙන්නා වූ සූර්යා බැබළෙනවා මිස ආලෝකය සොයන සිරිතක් තිබේ ද?

“සම‍්බුද‍්ධො තපතං සෙට‍්ඨො-
එසා ආභා අනුත‍්තරා’ති.”

“සම්බුදුන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ.~
මේ ආලෝකය අනුත්තර ය (හෙවත් ඊට වඩා වැඩි ආලෝකයක් නැත්තේ ය.) “

ඉහත දැක්වූ ගාථා පාඨය මුලින් සඳහන් පජ්ජෝත සූත්‍රයේ ගාථාවේ අන්තිම පාදයයි.

බුදුරදුන්ගේ දේශනාව අනුව ආලෝකයෙහි අග්‍රස්ථානයෙහි වැඩ සිටින බුදුරදුන්ට ආලෝකය සොයන්නේ කුමට ද? ආලෝකය සෙවීම නොව තමන් වහන්සේගේ ආලෝකයෙන් ප්‍රඥාවෙන් තොරව අන්ධකාරයෙහි (ආර්ය මාර්ගය අනවබෝධයෙන්) සිටි දෙවි මිනිසුන්ට ප්‍රඥා ඇස දල්වා ගැනීමට මහා කරුණාවෙන් බුදු රදහු පිහිටාධාර වූහ.


ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් කියන ලද

“බුදුන් කියන නමේ අදහස තමයි ආලෝකවත් තැනැත්තා කියන එක”

යන වැකියෙන් “බුදුන් ” යනුවෙන් හදුන්වා ඇත්තේ “බුද්ධෝ” යන බුදුගුණය නොව බුදු රදුන් බව අපි හඟිමු.

එබැවින් සමස්ථ බුදුගුණ පැහැදිලි කිරීමට සංක්ෂිප්ත ලෙස නවාරහාදී බුදු ගුණ පාඨය බුදුරදුන් විසින් වදාරන ලදහ.

එනම්:

“ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති

(ධජග්ග සූත්‍රය, සංයුත්තනිකාය,
සක‍්කසංයුත‍්ත)

ඒ භාග්‍යවතුන් වහන්සේ, මේ කරුණෙනුදු අර්හත් ය, සම්මා සම්බුද්ධ ය, විජ්ජාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදූ ය, අනුත්තරෝ පුරිස දම්ම සාරථී ය, සත්ථා දේවමනුස්සානං ය, බුද්ධ ය, භගවත් ය.”

මේ නවාරහාදි බුදුගුණ පාඨයෙහි සිංහල තේරුම ය.

මේ පාඨයෙහි තේරුම, සමස්ථ ත්‍රිපිටක ගත ධර්ම විනය අනුව සහ අට්ඨකථා අනුසාරයෙන් දත හැකි ය.

3.”ඒ නිසයි සෑම බෞද්ධයකුට ම ජේසුස් වහන්සේ අවශ්‍ය වන්නේ”

යන ප්‍රකාශයට කීමට ඇත්තේ “බුදු ගුණ දන්නෝ බුදු රදුන් හදුනන්නෝ වෙති.” යන ලෙස ය. සෑම බෞද්ධයෙකුට ම ජේසුස් වහ්න්සේ අවශ්‍ය ද? නැද්ද? යන්න බුදු ගුණ දැනීමේ පමණට තේරුම් යනවා ඇත.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් කරන ලද, මෙය ලිවීමට ප්‍රශ්තුත වූ කරුණුවලට සංක්ෂිප්තව අපි කරුණු දැක්වූවෙමු.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් කරන ලද ප්‍රකාශ පිළිබඳව තව දුරටත්, කරුණා මෛත්‍රි පෙරදැරිව විවෘතව සංවාද කිරීම සුදුසු බව අපගේ අදහස ය. නිග්‍රහවාදයෙන් හෝ රාජවාදයෙන් නො වේ. පණ්ඩිතවාදයෙනි.

අධෝ ලිපි:

(1*.අඞ්ගුත්තර නිකාය අනුත‍්තරිය සුත‍්තං
සාවත්‍ථිනිදානං
ඡයිමානි භික‍්ඛවෙ අනුත‍්තරියානි. කතමානි ඡ:
දස‍්සනානුත‍්තරියං, සවණානුත‍්තරියං, ලාභානුත‍්තරියං, සික‍්ඛානුත‍්තරියං, පාරිචරියානුත‍්තරියං, අනුස‍්සතානුත‍්තරියං.
ඉමානි ඛො භික‍්ඛවෙ ඡ අනුත‍්තරියානීති

මෙහි සිංහාලාර්ථය නම්:-

අනුත්තරිය සූත්‍රය
සැවැත්නිදාන යි
මහණෙනි, මෙ අනුත්තරයෝ සදෙනකි. කවර සදෙනෙක යත්:
දස්සනානුත්තරය, සවණානුත්තරය,
ලාභානුත්තරය,
සික්ඛානුත්තරය, පාරිචරියානුත්තරය, අනුස්සතානුත්තරය යි.
මහණෙනි, මෙ අනුත්තර ධර්ම සදෙන යි


2**.අභිධර්ම පිටක, විභගප්පකරණ, පටිසම්භිදා විභංගය

“චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථ පටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, අත්‍ථෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා”

“ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථ ප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්ථයෙහි (ප්‍රභේදගත) ඥානය අර්ථප්‍රතිසංවිදාය,
ධර්මයෙහි (ප්‍රභේදගත) ඥානය ධර්මප්‍රතිසංවිදාය, ඒ අර්ථයෙහි හා ධර්මයෙහි ස්වභාවනිරුක්ති සංඛ්‍යාතශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සර්වත්‍රඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානසංවිදා යි.”)