Fri. Jul 5th, 2024
Spread the News
Free Pik

පුද්ගලයෙකුට වේවා, මානව ක්‍රියාකාරකම් වලට වේවා නමක් තබන්නේ නම් එම පිරිස් කරන කියන ක්‍රියා තුළින් නමට සාධාරණත්වයක් ඉටු විය යුතුයි. කපුරුහාමි ගේ කටින් දුර්ගන්ධයක් පිටවීම නම නිසා වළක්වා ගත නොහැකිය.

බුදුන් වහන්සේට පසුව ලෝකෙට පහළ වූ ශ්‍රේෂ්ඨතම අහිංසාවාදියාවූ ක්‍රිස්තුස්වහන්සේගේ නම (Christy) උප්පැන්න සහතිකයට ඇතුළු කර ගත් කෝටි සංඛ්‍යාත ජනතාවක් ලෝකයේ හැම සංස්කෘතියක් තුළ ම පාහේ ජීවත් වෙති.

ක්‍රිස්තුස්වහන්සේ අහිංසාවාදයේ ප්‍රතිමූර්තියක් වුවත්
Christy කියන නමින් හැඳින්වෙන දාමරිකයින් අපරාධකාරයින් ස්ත්‍රී දූෂකයින් කෝටි ගණනින් ලොව පුරා විසිරී ජීවත් වෙති.

භෞතික විද්‍යාඥයින් පිරී සිටින බටහිර ලෝකයේ ගැබ්ගත් කාන්තාවකගේ ගැබ මෝරා දරු ප්‍රසූතිය සිදු වන්න කලින් කළලයේ DNA පරීක්ෂාකර උපදින්න ඉන්න දරුවා යේසුස් වහන්සේ වගේ වෙයිද නැත්නම් බරාබස් වගේ අපරාධකාරයෙක් වෙයිද කියලා සොයාගෙනම ක්‍රිස්ටි කියන නම තැබුව නම් නේද හොඳ?

සාතන්ගේ භූමිකාව හිට්ලර් ගෙන් ඇරඹුණත් නෑ ඔහුගෙන් අවසන් උනෙත් නැහැ.

අද දිනයේ සාතන්ලා ලෝකය පුරා කෝටි ගණනින් ජීවත් වෙනවා. සමහරු නීතියේ රැහැනින් මිදී දිගටම අපරාධ කරමින් කල්ගෙවනවා.

ඇතැම් අපරාධ විද්‍යාඥයින්ට අනුව අපරාධකාරී චර්යාවද වෙනත් චර්යාවන් මෙන් DNA සාධක මත රඳා පවතිනවා.

ඒවා ජීව විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ සොයාගත් කරුණු.
මෙම පර්යේෂණ කොතරම් දියුණු වී ඇත්ද කිවහොත් දරුවෙක් උපදින්න කලින් DNA වල ඇති අපරාධකාරී ගති ලක්ෂණ හෝ රෝගකාරක ලක්ෂණ ඉවත් කිරීමේ හැකියාවක් තිබෙන බව ද ප්‍රකාශ වෙනවා.

මෙම කටයුත්ත මහා පරිමාණයෙන් කළ හැකිනම්, එය බුදුදහමේ ඉගැන්වෙන කර්මඵලවාදය ට බලවත් අභියෝගයක් එල්ල කළ හැකි තත්ත්වයක් උදා කරනවා. නමුත් එම තත්ත්වය අභව්‍යයයි (චේතනාහං භික්කවේ කම්මං වදාමි)
චේතනා හටගන්නා සාධක පවතින තාක් ඉන් කර්මය ද හටගනී. හේතුඵලවාදය වශයෙන් බුදුදහමේ ඉගැන්වෙන්නේ මේ පරම සත්‍යයයි.

Cause & Effect ගැන නවීන විද්‍යාඥයින් ප්‍රථම වරට කතා කරන්නට පටන් ගත්තේ බුදුන්ගේ පරිනිර්වාණයෙන් වසර දහස් ගණනක් ගතවුනාටත් පසුවයි.

කලින් භවයේදී අපරාධ කර ඇති තැනැත්තෙකුට ඊළඟ භවයේදී කර්මානුරූපව ඊට වන්දි ගෙවීමට සිදු වේ නම් “අහෝසි කර්ම” වැනි ක්‍රමවේද තුළින් පලදීම අහෝසි කරගැනීම හෝ අවම කර ගැනීමට ඇති ඉඩකඩ බුදුදහමේ සාකච්ඡාවට බඳුන් වේ.

නිව්ටන්ගේ නියමයට අනුව භෞතික ක්‍රියාවලියේ දී සමාන ශක්තියක් ප්‍රතික්‍රියාවේ දී මැනගත හැකි වුවත්, කර්ම විපාක ඵල දීමේදී මැනගත හැකි ක්‍රමයක් නැති නිසා නිව්ටන්ගේ සොයාගැනීමත් බුදුන්ගේ සොයාගැනීමත් සසඳා බැලීම නිශ්ඵල ව්‍යායාමයක්.

මැන ගැනීමේ ප්‍රශ්නය හැරුණුකොට විද්‍යාවේ දීත් දහමේදීත් ප්‍රතික්‍රියාව ස්වභාවික ක්‍රියාවලියක් ලෙසින් මිනිස් සත්වයා මිහිපිට ජීවත්වන තාක්කල් නොනැසී පවතිනු ඇත.

බුදුන්ට අභියෝග කිරීමේ දුෂ්ට මානසිකත්වයෙන් අභිප්‍රේරණය වූ ඇතැමුන් කර්ම වාදයට හා පුනරුත්පත්තිය ට අභියෝග කරමින් විද්‍යාඥයින්ටත් වඩා බලවත් විද්‍යාඥයින් ලෙස පෙනී සිටීමට වළිකති. මෙය දැනුම පිළිබඳ හීනමානයේ සෘජු ප්‍රතිඵලයකි.

බොහෝ කලක සිට පුනරුත්පත්තිය පිළිබඳ පර්යේෂණවල යෙදී සිටින්නේ බෞද්ධ යතිවරයින් නොව, ක්‍රිස්තියානි විද්‍යාඥයින්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මනෝවිද්‍යාඥයින් වෙති.

ජීවය පරිණාමයට ලක් වෙන්නා සේම, විද්‍යාවද ඉතාමත් වේගයෙන් වෙනස් වෙමින් අලුත් මත වාද සහ සොයාගැනීම් හරහා නොනවතින ගමනක නියැලී සිටී.

විද්‍යාවට වෙනස් වෙන්න බැරි නම් එය විද්‍යාවක් නොවේ.

එහෙත් දහමට වෙනස් විය නොහැක. බුදුදහමේ හතුරන් බුදුදහම ආගමක් බවට පත්කිරීමට ශතවර්ෂ ගණනක් තිස්සේ උත්සහ කරති. එය සාර්ථක වුවහොත් (ඊට ඇති ඉඩකඩ අවමය) සමාජයෙන් තුරන් වන්නේ බුදු දහම නොව “බුද්ධ ආගමයි”. බෞද්ධාගම ( බුද්ධ ආගම) යන සිංහල භාෂාවේ පද යෙදුම ද ග්‍රාම්‍යයි. අර්ථ ශූන්‍යයයි. බුදුන් වහන්සේ කිසි දිනෙක ආගමක් දේශනා නොකළ නිසා, ආගම කියන නාම පදයට බෞද්ධ කියන විශේෂණ පදය යෙදීම ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතුයි.

එහි අයිතිකරු හෝ අයිතිකරුවන් බුදුන් වහන්සේ හෝ බුදුන්ගේ අනුගාමිකයින් නොවන නිසා, දහමේ චිරස්ථිතිය සඳහා “බුද්ධාගම”
අහෝසි වන තරමටම ලොවට වන්නේ යහපතක්ම ය.

රිළා කටවල් වසාගෙන කලා රිටවල් සේ පෙනී සිටින ඇතැමුන් මෙන් නවීන විද්‍යාවේ මළ පොතේ අකුරක් නොදන්නා “අවිද්‍යාඥයින්” කර්ම විපාක පල දීම හෝ පුනරුත්පත්තිය විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකියි කියා
බුදුදහම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරති.

දියට වැටුණු ලේන් පැටියා බේරාගැනීමට ලේන් අම්මා වළිගයෙන් මුහුද ඉසීමට ගත් උත්සාහය, බුදු දහම විද්‍යාවට එකඟද කියා සොයන අමන මිනිසුන්ගේ දුබල උත්සාහයට වඩා අතිශයින්ම තාර්කිකයි.

අලුතින් උපදින තැනැත්තා මියගිය තැනැත්තාම නොවන බවත්, අලුත්ම පුද්ගලයෙක්ද නොවන බව (නච සො නච අඤ්ඤෝ”)
බුදුන් වහන්සේ කළ පැහැදිලි කිරීම බොරු බව ඔප්පු කළ හැකි විද්‍යාඥයෙක් අපරදිගින් බැරිනම් පෙරදිගින් හෝ එසේත් නැත්නම් පිටසක්වලින් හෝ සොයාගෙන මා හමුවට ඉදිරිපත් කළහොත්, ඒ මොහොතේ සිට මම එම උත්තමයා මාගේ බුදුන් ලෙස දොහොත් මුදුන් දී පිළිගනිමි.

-තෙවැනි ඇස-
20.10.2023