Fri. Jul 5th, 2024
Spread the News

බලය බෙදීම යනු බූරුවා ඉදිරියේ එල්ලන ලද කැරට් අලයක් ද?

අපගේ පෞද්ගලික මතය නම්, බලය බෙදීම කියන සංකල්පය ම
නැති ප්‍රශ්නයක් නිර්මාණය කරන දුබල තැතක් බවයි.

69 ලක්ෂයක ජනවරමකින් බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂට මේ තරම් බලයක් ලැබුණා කියා කරගත හැකි දෙයක් තිබුනාද?

පොහොට්ටු කාරයින්ට පළාත් සභාවල සහ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලැබුණා කියා ජනතාවගේ එකම ප්‍රශ්නයක් වත් විසඳුනේද?

රටක් අනික් පැත්තට පෙරළන්න තරම් බලයක් සහ හැකියාවක් ඇති වර්තමාන පාර්ලිමේන්තුව
“අරගල” සමයේ මුළුමනින්ම ප්‍රතික්ෂේප වුණු බව මුළු රටම දන්නවා.

1978 ව්‍යවස්ථාවේ සිට මේ දක්වා
(යහපාලන යුගයේ ජනාධිපති වරප්‍රසාද තරමකින් කප්පාදු වීම හැර) දිගින් දිගටම සිදුවුණේ එක පුද්ගලයෙක් වටා බලය ඒකරාශි වීමයි. එය ඒකාධිපතිත්වයක ට අත වනන පුද්ගල නිදහස සීමා කරන ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හඬන ව්‍යවස්ථා සංශෝධනයක්.

බලය කාටද, කුමක් සදහාද යන්න නිර්වචන කර නොගෙන පළාත් සභාවලට බලය බෙදා දීම 13 plus බලගැන්වීමක් ලෙස දැකීමේ ඇති වරදක් නෑ.
13 දැනටත් ව්‍යවස්ථා ගතවෙලා කියන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ තර්කයේ පදනමක් නැහැ. එය තමාව ජනවරමකින් තොරව බලයට ගෙන ඒමට කුමන්ත්‍රණය කළ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් සතුටු කිරීම සඳහා ගන්නා දුබල වෑයමක් බව මොනවට පැහැදිලියි.

ඔහු ඇතුළු සමස්ත පාර්ලිමේන්තුවම තේරුම්ගත යුතුව තිබෙනවා ජනතාව අරගල කරන්නේ බලය සඳහා නොවන බව. ඔවුන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන, බෙහෙත්, පොහොර වැනි මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමක්.
සීමාන්තික බලයක් ලබාගෙන වුවත් ගෝඨාභයට යාමට නොහැකි වූ ගමන ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රනිල් වික්‍රමසිංහට වත්, ඔහුගේ වලිගයේ එල්ලී ගොඩ ඒමට
දඟලන පොහොට්ටු කාරයින්ට වත්, වල් ඌරන් කැකුණ තැලුවහම හබන් කුකුළන්ට මඟුල් කීවා සේ අර්බුදය හා අහේනිය තුළින් බලයට ඒමට සිහින දකින ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට වත් බලය ලබා ගැනීම තුළින් පමණක් ප්‍රශ්න විසඳිය නොහැකි බව වහා තේරුම් ගත යුතුයි.

කිසිදාක කන්න නොලැබෙන එහෙත් තමන් ඉදිරියේ කරත්තයේ ගැටගසා තිබෙන කැරට් අලය කෑමට ඉදිරියට යන බූරුවා තමන් නොදැනම කරත්තයේ පැටවූ සියළුම බඩුත් ඇදගෙන සදාකාලයටම ඉදිරියට යයි.
අද කරත්තය අදින්නේ එදා බූරුවා නො වුණත් වර්තමාන සමස්ත සමාජ ක්‍රමයම කැරට් කෑමට ඉදිරියට ඇදෙන බූරුවන් බිහිකරන යාන්ත්‍රණයක් බවට පත්ව ඇත.

කළ යුත්තේ වර්ගවාදයට උඩගෙඩි දෙන රට බෙදන බලය බෙදීමක් නොව ව්‍යවස්ථා දායකට නියෝජිතයින් තෝරා පත්කර යවන ජනතාවගේ පරමාධිපත්‍යයට සැබෑ අරුතක් දෙන එක රටක් එක ජාතියක් එක නීතියක් කියන ධජය යටතේ රට පාලනය කළ හැකි බුද්ධිමත් පිරිසක් ඉදිරි හැම මැතිවරණයකදීම තෝරා පත් කර යැවීමට අවශ්‍ය ජන විඥානය ගොඩනැගීමයි.

-තෙවැනි ඇස-

02.08.2023