Mon. Jul 8th, 2024
Spread the News

1989 කාල පරිච්ඡේදය වන විට බටහිර ජර්මනියත් නැගෙනහිර ජර්මනිය වගේම බංකලොත් කියා තිස්ස කළුබෝවිල කරන ප්‍රකාශය සාවද්‍ය යයි, පදනම් විරහිතයි.

1989 වන විට සෝවියට් දේශය ඇතුළු සමස්ත නැගෙනහිර යුරෝපයම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියා.

නැගෙනහිර ජර්මනියත් සෝවියට් දේශයට න්‍යායික හා ආර්ථික වශයෙන් ඈඳී සිටියේ චන්ද්‍රිකා පරිවාර රාජ්‍යයක් (Satellite State) හැටියටයි. රූස්ස ගස් කඩා වැටෙන විට අහල පහළ ඇති කුඩා ගස් ද ඊට යට වී කඩා වැටෙනවා.

ප්‍රසිද්ධ ලේඛක රිවිරැස පත්‍රයේ කර්තෘ ගුණදාස ලියනගේ මහතා 1974 වසරේ මාස 3 තුනක පාඨමාලාවක් හැදෑරීම සඳහා බටහිර බර්ලිනයට පැමිණ සිටි කාලයේ මා සමග කීප වතාවක්ම නැගෙනහිර බර්ලිනයට ගියා.

මම ඒ අවස්ථාවේ දී ඔහුට පැවසුවේ වසර 10-15 ටත් අතර කාලයේ නැගෙනහිර ජර්මනියෙ ජනතාව බර්ලින් තාප්පය කුඩු කරන බවයි. ඒ තුළින් ජර්මනිය නැවත එක්සත් වෙනබවත් පැවසුවා.

මා හට ඇල්බට් නමින් ආරූඪ නමක් දී 1975 දී ඔහු විසින් පලකළ ” සිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද” නම් ග්‍රන්ථයේ මා කළ ප්‍රකාශය සඳහන් කර තිබෙනවා.

1980 දී මා විසින් ජර්මනියේ ප්‍රසිද්ධ කළ මාගේ ආචාර්ය උපාධි නිබන්ධනයේත් සෝවියට් දේශය ඇතුළු නැගෙනහිර යුරෝපය රටවල් වලින් මාක්ස්වාදය තුරන් වන අන්දම සමාජ විද්‍යාත්මකව
පැහැදිලි කර තිබෙනවා.

බටහිර ජර්මනියේ ධනවාදය කඩා නොවැටීමට එක් ප්‍රබල හේතුවක් වූයේ, Friedrich Ebert වැනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කම්කරු පන්තිය තුළ සූරාකෑමට ලක් වීම නිසා ඇති වන අසහනය සහ ආතතිය අඩු කරගත හැකි වන සේ වෘත්තීය සමිති ව්‍යාපාරය ප්‍රබල තැනකට පත් කිරීම නිසයි.

පුරුෂයා හෝ කාන්තාව වඳ භාවයට පත් කිරීම තුළින් ගැබ් ගැනීම වළකාලිය හැකියි.

සමාජමය වශයෙන් ජනතාව අතර එම වඳභාවය සිදු කළ විට, කාර්ල් මා‍ර්ක්ස් බලාපොරොත්තුවූ ධනවාදය අවසන් කරන සමාජවාදයේ කළලය ධනවාදයේ කුස තුළ පිළිසිඳ ගන්නේ නැත.

බටහිර ජර්මනිය ගත් ඒ තීරණය ආර්ථික හා දේශපාලන වශයෙන් “හේතුවාදී”
(Rational) පියවරක් බව පිළිගත හැක්කේ පරිසර සුරැකීමේ සංවිධාන (Green Party) පවා ධනේශ්වර ක්‍රමය තුළම ජීවත් වෙමින් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය විසින් පරිසරයට කරන දැවැන්ත හානිය අවම කර ගැනීමට ධනේශ්වර සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රමය නැමැති බත් හැළිය පෙරළීම වළක්වන 3 වන ලිප්ගල වීම නිසයි.

ධනපති පන්තිය භංග වේවා කියමින් මැයි දිනයේදී වාමාංශික පක්ෂයකට එකතුවී පෙළපාලි යන ශ්‍රී ලාංකික කම්කරුවා
වසරේ ඉදිරි දින ටික ගතකරන්නේ ධනපතියා ළඟ රැකියාව කරන සුචච කීකරු සේවකයෙකු ලෙසයි.

වසරේ දවස් 363ක් ලිංගික අභිචාරයෙන් (incest taboo) වැළකී සිටින ඕස්ට්‍රේලියානු ඇබොරිජින් මිනිසුන්ට ආතතියෙන් මිදීම සඳහා එම තහංචිය උල්ලංඝනය කිරීමට එක් දිනක අවසරයක් ලබා දීමත්,
මැයි දිනයේදී තමන්ගේ ස්වාමියාට එරෙහිව පෙළපාලි යාමට කම්කරුවාට ලැබෙන “වරප්‍රසාදයත්” ඉටු කරන්නේ එකම මනෝවිද්‍යාත්මක කාර්ය භාරයයි.

මේ තුළින් අප පෙළපාලි යන ජාතියක් බවට පත්වී සිටිමු. සමාජය වෙනස් නොකළාට අපි ඒ ගැන කතා කළ බව පමණක් ඉතිහාසයට එක් කර ඇත්තෙමු.

-තෙවැනි ඇස-
15.10.2023