Mon. Jul 8th, 2024
Spread the News

Picture

Picture Courtesy Gampaha Wickramarachchi Ayurveda Institute (GWAI) of University of Kelaniya

සුද්දාගේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්නට කැපවී සිටින, සුද්දා වෙනුවෙන් සුද්දාටත් වඩා හොඳින් තීන්දු තීරණ ගන්නට කැපවී සිටින, සුද්දාගේ ක‍්‍රමය මිස වෙන කිසිදු විකල්ප ක‍්‍රමයක් මිහිපිට නැතැයි බලවත් සේ විශ්වාස කරන, පරම ලෙසින්ම පරගැතිවූ පරපුරකට මෙරට ජනගහණයෙන් අති බහුතරයක් අඩංගු වෙති. එවන් පරගැති මනසින් යුතු අති බහුතර පිරිසක් සහිත, කළු සුදු පරපුරක් සිටින මේ සිරි ලංකාවේ, දේශීය වටිනාකම් වෙනුවෙන් කථා කරන ඉතාම සුළුතරයකට ඉඩකඩක් හෝ අවස්ථාවක් හෝ නොලැබීම එතරම් අරුමයක් නොවේ. අපි ඒ ගැන එතරම් පුදුමයකට පත් නොවන්නෙමු.

ධර්මානන්ද විජේසිංහ
සභාපති – සියුම් මාන විද්වත් සංසදය

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා මාරාන්තික වසංගතය මුළු ලෝකයේම සියලූම රටවල් පාහේ දරුණු ලෙස බිලිගෙන ඇති නමුත්, කිසිම රටකට මේ සඳහා බෙහෙතක් තවමත් සොයාගත නොහැකිවී ඇත. මහා ලොකු හයිකාරකම් පෙන්නා ගෙන සිටි බටහිර බලවත් ජාතීන්ට හෝ ලෝකයේ ඉහළම සෞඛ්‍ය ප‍්‍රමිතීන් ඇතැයි පවසන යුරෝපයේ හෝ වෙනත් කවර සංවර්ධිත රටක හෝ සෞඛ්‍ය විශාරදයෝ කොවිඞ් 19 වසංගතයට පරාජය වී සිටිති.

තම රටවල ජනතාව දස දහස් ගණනින් මිය යද්දී, ලක්ෂ දස ලක්ෂ ගණනින් ආසාදිත වෙද්දී, තමන්ගේ ඉහළම ප‍්‍රමිතිගත සෞඛ්‍ය සේවය අන්ත අසරණව අසමත්වීම ඔවුන්ගේ ඇස් පනාපිට ම සිදුවෙයි. තත්ත්වය එසේ තිබියදී අපේ රටේ පාරම්පරික වෛද්‍යවරු, දේශීය ආයුර්වේද වෛද්‍යවරු තමන්ට කොවිඞ් ජයගත හැකි බවත්, ඒ සඳහා තමන්ට අවස්ථාව ලබා දෙන ලෙසත් වරින්වර ඉල්ලා දැන් මාස අටක්ම ඉක්මවා ගොස් ඇත.

බටහිර වෛද්‍ය විද්‍යාවට කළ හැකි දේ බොහොමයක් ඇති බව අපි පිළිගනිමු. එමෙන්ම, බටහිර වෛද්‍ය විද්‍යාවට කළ නොහැකි දේද බොහොමයක් ඇති බව, අපක්ෂපාතී ලෙස මෙන්ම යථාවත් ලෙස ලෝකය දකින්නෝ දනිති. එබැවින් කොවිඞ් මාරාන්තික වසංගතය මර්දනය කිරීම උදෙසා බටහිර වෛද්‍ය ක‍්‍රමය සහ දේශීය වෛද්‍ය ක‍්‍රමය යන ද්විධාරාවන් එකිනෙක අතිනත ගනිමින්, මිත‍්‍ර ධර්මතාවයෙන් යුක්තව කටයුතු කිරීම නිවැරදි පිළිවෙතයි.

තත්ත්වය එසේ වුවද, බටහිර වෛද්‍ය ක්ෂේත‍්‍රයේ අයිතිකරුවන් ලෙස සිටින අය, සමස්ත සෞඛ්‍ය ක්ෂේත‍්‍රයම තමන්ට සින්නක්කර අයිතියට ලබා දී ඇති දේපළක් ලෙස සලකා ගෙන කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. තම හිසට උඩින් කාක්කෙකුටවත් පියෑඹිය නොහැකිවන ආකාරයේ බලයක් ඇතිකර ගන්නට ඔවුන් උත්සාහ දරන්නේද, නැතහොත් මෙය එක්තරා ආකාරයක මාෆියාවක් දැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් ඔවුන් වර්තමානයේ සතු කරගෙන සිටින බලය අභිභවා යෑම සාමාන්‍ය පුරවැසියාට, ඔබට හෝ මට හෝ කිසිසේත්ම කළ නොහැකි වෙයි. කනගාටුවට කාරණය වන්නේ එය නොවේ. කිසිදු විකල්ප වෛද්‍ය ධාරාවකටවත් මෙම බලය අභිභවා යෑමට නොහැකි වීමයි. අභිභවා යෑම කෙසේ වෙතත්, විකල්ප වෛද්‍යවරුන්ට සිදු විය යුතු අවම සාධාරණය ඉටු කරගැනීමට හෝ මෙම බලය හමුවේ නොහැකිවීම ඛේදනීය තත්ත්වයකි.

පසුගියදා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංවිධානය ද ඒ මැසිවිල්ල මාධ්‍ය සාකච්ඡාවකදී නඟනු අපි දුටුවෙමු. කොවිඞ් මර්දනයට දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ට අවස්ථාව ලබාදෙන බවට මාධ්‍යවලින් වරින්වර ප‍්‍රචාරය කළ ද පසුගිය මාස ගණනක කාලය පුරාම සෞඛ්‍ය බලධාරීන් විසින් දේශීය වෛද්‍යවරුන් රවටා ඇති බව ඔවුහු කීහ. කොවිඞ් මර්දන ජාතික කමිටුවට ආයතන විශාල සංඛ්‍යාවක නියෝජිතයන් පත්කර සිටිය ද එකදු ආයුර්වේද වෛද්‍යවරයකු හෝ එම කමිටුවට පත්කර නැති බව ඔවුහු පැවසූහ.

ඔබම සිතා බලන්න. බටහිර වෛද්‍ය ධාරාවේ වසංගත රෝග පිළිබඳව කිසිම අදාළතාවක් නැති දොස්තරලා සහ දොස්තර නෝනලා, කොවිඞ් මර්දන ජාතික කමිටුව නියෝජනය කිරීමට පත්කර තිබියදී දේශීය වෛද්‍ය ධාරාවේ එකදු වෛද්‍යවරයකු හෝ එම කමිටුව නියෝජනය කිරීමට පත්කර නැති නම්, එයට සාධාරණ හේතුවක් ඔබට දිය හැකිද?

දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් මෙරට පවතිද්දීම මෙය මෙසේ සිදුවීම, දේශීය වටිනාකම්වලට ඇළුම් කරන අප සැමගේම කනගාටුවට කාරණයක් නොවන්නේද?

ආසියානු, අප‍්‍රිකානු කලාපවල කවර රටක වුවද දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රයන් විවිධ අංශවලින් බොහෝ දියුණුවට පත්වී ඇත. ඒ අතින් ආසියානු කලාපය සුවිශේෂී වන්නේය. එයිනුදු ඉන්දියාව හා ලංකාව ඉදිරියෙන්ම සිටින රටවල් දෙකකි. ඉන්දියාවේ ආයුර්වේදය අවුරුදු දහස් ගණනක් පැරණි ශාස්ත‍්‍රීය හා විද්‍යානුකූල ඉතිහාසයක් ඇති, රෝග සුව කිරීම පිළිබඳ ප‍්‍රත්‍යක්ෂ උදාහරණ අවුරුදු දහස් ගණනක් පුරා තහවුරු කර ඇති වෛද්‍ය ක‍්‍රමයකි.

ඉන්දියාවෙන් ලංකාවට ආගමනයවී දේශීය බවට පත්වී, දැනට දේශීය ආයුර්වේදය ලෙස හැඳින්වෙන ශාස්ත‍්‍රීය ඥානය ද ලංකාවේ සිංහල පාරම්පරික වෛද්‍යවරු සතු ශාස්ත‍්‍රීය ඥානය ද එලෙසින්ම මෙම භූමිය තුළ වසර සිය දහස් ගණනක ඉතිහාසයකට දිව යන අතර රෝග සුව කිරීම හා නිට්ඨාවට රෝග සුව කිරීම පිළිබඳ ප‍්‍රත්‍යක්ෂ උදාහරණ තහවුරු කරමින් ඉතා දිගු, අතිසාර්ථක ඉතිහාස ගමනකට හිමිකම් කියයි.

එහෙත් බටහිර ජාතීන් ලංකාව ආක‍්‍රමණය කළ දා පටන්ම, අපගේ දේශීය වටිනාකම්වලට කණකොකා හැඬූ බව අපි සහසුද්දෙන්ම දනිමු. සුද්දා අවසානයේ මේ රට හැර ගියද, පරගැති චින්තනයෙන් මේ රට මනා ලෙස වෙළා තබන්නට හැකි, පරගැති පරපුරක් මෙහි බිහිකරන්නට සුද්දා සමත් විය.

සුද්දාගේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්නට කැපවී සිටින, සුද්දා වෙනුවෙන් සුද්දාටත් වඩා හොඳින් තීන්දු තීරණ ගන්නට කැපවී සිටින, සුද්දාගේ ක‍්‍රමය මිස වෙන කිසිදු විකල්ප ක‍්‍රමයක් මිහිපිට නැතැයි බලවත් සේ විශ්වාස කරන, පරම ලෙසින්ම පරගැතිවූ පරපුරකට මෙරට ජනගහණයෙන් අති බහුතරයක් අඩංගු වෙති. එවන් පරගැති මනසින් යුතු අති බහුතර පිරිසක් සහිත, කළු සුදු පරපුරක් සිටින මේ සිරි ලංකාවේ, දේශීය වටිනාකම් වෙනුවෙන් කථා කරන ඉතාම සුළුතරයකට ඉඩකඩක් හෝ අවස්ථාවක් හෝ නොලැබීම එතරම් අරුමයක් නොවේ. අපි ඒ ගැන එතරම් පුදුමයකට පත් නොවන්නෙමු.

අවුරුදු දහස් ගණනක් තිස්සේ

වෛරස් හා අනෙකුත් රෝග නිවාරණය හා සුවපත්

කිරීම් පිළිබඳ ප‍්‍රත්‍යක්ෂ ඉතිහාසයක්

ඇති දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රධාරීන්

විසින්, කොවිඞ් වසංගතය පරදවන්නට අපට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලන විට, ඒ හඬ මාස අටක කාලයක් පුරා යටපත් කරන්නේ, පාගා දමන්නේ අර කළු සුදු පරපුර ද නැතහොත් වෙනත් පරපුරක් විසින් දැයි යන්න ඔබම තීරණය කරන්න.

මුළු ලෝකයේම කිසිදු රටකට කොවිඞ් සඳහා බෙහෙතක් සොයා ගැනීමට නොහැකිව තප්පුලද්දී, අපට මෙය කළ හැකි යැයි අපේ එවුන් කියන විට අපි කළ යුත්තේ කුමක්ද? සිහියක් හෝ මොළයක් ඇෙඟ් ගෑවුණු තැනක හෝ තිබේ නම් අපේ බලධාරින් විසින් කළ යුත්තේ කුමක්ද?

වහාම කරල බලපල්ලා. කියා අපේ එවුන්ට අවස්ථාව ලබා දීම නොවේද එලෙස අවස්ථාව ලබා දුන්නේ නම්, අපගේ පාරම්පරික හෝ දේශීය ආයුර්වේද හෝ වෛද්‍ය ශාස්ත‍්‍රවල වටිනාකම් ලොව පුරා ප‍්‍රචලිත කරන්නට එය හොඳම අවස්ථාවක් නොවන්නේද? ප‍්‍රත්‍යක්ෂ ලෙස කොවිඞ් වසංගතය සුව කළ හැකි ඖෂධයක් හෝ ඖෂධ හෝ සොයා ගත් පළමු රට ලංකාව වීමේ වටිනාකම අපට ලැබිය හැකි නොවන්නේද?

එමෙන්ම එම ඖෂධ මහා පරිමාණයෙන් නිපදවා අන් රටවලට අපනයනය කිරීමෙන් දැවැන්ත විදේශ විනිමයක් උපයා ගැනීමට මං පෑදෙනවා නොවේද? මේ සියල්ල සඳහා උත්සාහ කිරීමටවත් අපේ එවුන්ට අවස්ථාවක් ලබා නොදෙන්නේ කවුද? බටහිරට අවැසි දේ මේ රට තුළ ක‍්‍රියාත්මක කිරීම උදෙසා, දේශීය වටිනාකම් විනාශ කිරීමේ කුහක මනසින් පරිපීඩිතවූ පරදේශක්කාරයන් ම හැර, ඒ වෙන කවුද?

නැතහොත් බටහිරයා කොවිඞ් වසංගතයට හරියන බෙහෙත හොයා ගන්නා තුරු, අපගේ සියලූ දේශීය උත්සාහයන් යටපත් කිරීමේ විදේශීය කුමන්ත‍්‍රණයක්ද මේ?

ඒ කළු සුදු පරපුරේ අය හඳුනාගැනීමට හැකිවන ප‍්‍රකාශ කිහිපයක්, ඒ අය විසින් කරන ලදුව සමාජ ජාලා මාධ්‍යවල ද සංසරණය වන ප‍්‍රකාශ කිහිපයක් මෙහි ගෙන හැර දක්වමු. තවත් බොහෝ උදාහරණ ඔබට ද දිය හැකි වනු ඇත.

1. ධූමායනය කිසිදු සාර්ථක ප‍්‍රතිඵලයක් ගෙන නොදෙන ක‍්‍රියාවකි.

(ධූමායනය අපේ ජීවිත කාලය තුළ පමණක් වුවද, බොහෝ රෝගී අවස්ථාවලදී අපට ගෙන දී ඇති සහනයන් ගැන අපි පුද්ගලිකවම අත්විඳ ඇත්තෙමු.*

2. ධූමායනයෙන් කොවිඞ් රෝගය මැඬ පැවැත්වෙන බවට කිසිදු විද්‍යාත්මක සාධකයක් නැත. එය මිත්‍යා විශ්වාසයකි. (බටහිරයා හැමවිටම අපගේ වටිනාකම් වනසන්නේ ඒවා මිත්‍යා විශ්වාස යැයි කියමින්ය.*

3. විවිධ දේශීය ඖෂධ ගැන කථා කළද ඒවා මෙම වෛරසය මර්දනයට පරීක්ෂණාගාර ප‍්‍රතිඵල ලබා ඔප්පු වී නොමැත.

(වෛරස් රෝගවලට එරෙහිව අවුරුදු දහස් ගණනක් ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතඵල පෙන්වා ඇති අපගේ දේශීය ඖෂධ හා අත්දැකීම් පිළිබඳව, පරීක්ෂණාගාර ප‍්‍රතිඵල ජකසබසජ්ක චරදදෙ ි ගැන කථා කිරීම කවර විහිළුවක්ද? විහිළුවකටත් වඩා එයින් ඔප්පුවන්නේ දේශීය ඖෂධවල ප‍්‍රත්‍යක්ෂවූ වටිනාකම් පිළිබඳව බටහිරයාගේ ඇති ද්වේශයයි.*

4. කොවිඞ් සුව කළ හැකි බවට දේශීය වෛද්‍යවරුන් කියන කියමන් අධිතක්සේරුවක් මිස යථාර්ථයක් නොවේ.

(එය අධිතක්සේරුවක් යැයි තීරණය කරන්නට බටහිරයන්ට ඇති හැකියාව කුමක්ද? කොවිඞ් මර්දනයට තමන්ට බෙහෙතක් සොයාගන්නට බැරිකම පෙන්නද්දී අපේ එවුන්ගේ සමත්කම අධිතක්සේරුවක් යැයි පවසන්නට බටහිර ගැත්තන් කොතරම් කුහක මනසක් ඇති එවුන්දැයි ඔබම සිතා බලන්න.*

අපේ එවුන්ගේ සමත්කම අධිතක්සේරුවක් ද නැතහොත් යථාර්ථයක් ද යන්න සොයා බැලීමට අවස්ථාවක් දෙනවා වෙනුවට, බලාධිකාරය සතු බලය ඒකාධිපති ලෙස භාවිත කරමින් අපේ එවුන්ගේ සමත්කම් පාගා දැමීමට කටයුතු කිරීම, අද ඊයේ නොව අනාදිමත් කාලයක් මුළුල්ලේම, එනම් පැහැදිලිවම සියවස් දෙකකට අධික කාලයක් මුළුල්ලේම, එනම් අවම ලෙසින් වසර 205 ක් පුරාවට ම, දේශීයයන් ලෙස අපි අත්විඳිමින් සිටින්නෙමු.

මෙය නතරවන්නේ කවදා ද?